වයස අවුරුදු 12 ට කළින් ඔබේ දරුවාට මේ ගුණාංග පුරුදු කරන්න

දරුවෙක් කියන්නේ මවකට පියෙකුට ලොව ඇති වටිනාම සම්පත බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.නිරන්තරයෙන් ඔබ උත්සාහ කරන්නේ ඔබේ දරුවා සමාජයට අවශ්‍ය කරන සෑම අතින්ම පිරිපුන් පුද්ගලයෙකු ලෙස දායාද කිරීමටයි.ඒ වෙනුවෙන් ඔබ නොකරන දෙයක් නැනි බව ද අප හොදාකාරවම දනිමු.මේ ඒ සඳහා ඔබට අවශ්‍ය මගපෙන්වීමයි.

“මිනිසාගේ පියා දරුවා ” යන්නෙන් කියමනක් ඇතැම්විට ඔබ අසා ඇති. එයින් ප්‍රකාශ වන්නේ පුද්ගලයෙකුගේ ළදරු අවධිය හා වැඩිහිටි අවධිය අතර ඇති අනන්‍යෝන්‍ය සම්බන්ධයයි. උදාහරණ වශයෙන් ළමා අවධියේදී දරුවාට ඇතිවන බලපෑම් ඔවුන් පුරුදු පුහුණු වන චර්යා රටා,සිරිත් විරිත් අනාගතයේ වැඩිහිටියන් වූ පසුව ඔවුන්ගේ ‍ෙපෟරුෂය කෙරෙහි නොඅඩුවම බලපෑම් කරයි.ඒ නිසාවෙන්ම උපතෙන් වසර 12 සපිරීමට ප්‍රථමව ඔබේ දරුවාට යහපත් ගති පැවතුම් හුරුපුරුදු කිරීම ඇරඹිය යුතුයි.

විශේෂඥයන්ට අනුව දරුවෙකුගේ සංවර්ධන අවධිය කොටස් කීපයකට බෙදා දක්වයි. එනම්,

  • උපතේ සිට මුල් මාස 18 දක්වා කාලය ළදරුවිය
  • මාස 18ත් අවුරුදු 6ත් දක්වා කාලය මුල් ළමාවිය
  • අවුරුදු 6ත් 20ත් දක්වා කාලය පසු ළමාවිය

මෙම එක් එක් අවස්ථාවලදී මවක් හෝ පියෙක් වශයෙන් දරුවන්ගේ කායික මානසික හැකියාවන්,අවශ්‍යතාවන් පිළිබඳ මනා අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වේ.ඊට අමතරව ඒ ඒ වයසේ සිදුවන සංවර්ධන ක්‍රියාවලීන් පිළිබඳව ඔබ සතු දැනුම දරුවාගේ සංවර්ධන ක්‍රියාවලියට සෘජු ලෙසම බලපෑම් කරයි.උදාහරණ වශයෙන් දරුවා කතා කිරීම,ඇවිදීම ආරම්භ කරන්නේ කුමන වයසේදී ද භාෂා සංවර්ධනයේ රටාව සහ එම චර්යාවන් වැඩිදියුණු වීමට බලපාන සාධක මොනවාද යන වග ඔබ විසින් අධ්‍යනය කර තිබීම වැදගත්.ඉපදුණු පසු කායික සංවර්ධනය,භාෂා හැකියාවන් සහ බුද්ධිමය හැකියාවන් වර්ධනය වන්නේ කිසියම්වූ රටාවකට අනුකූලවයි.සෑම දරුවෙකුම සමාන සංවර්ධන රටා අනුගමනය කරන අතර ඔවුන් පසු කරන එක් එක් අවධින් ඊළගට එලඹෙන අවධියට පාදක වේ.උදාහරණ වශයෙන් ඔබේ දරැවා දෙපයින් ඇවිදීමට පෙර නැගිටින අතර වෘත්තයක් ඇදීමට පෙර රේඛා අදී.මෙකී රටාව ඔබ විසින් තේරුම් ගත යුතු වේ.කකුල් නිසි පරිදි ශක්තිමත් වීමට පෙර ඇවිදවීමට හෝ ඇගිලිවල පේශීන් නිසි ලෙස වැඩෙන්නට පෙර අකුරු ලියවීමට ඔබ උත්සාහ කිරීම නම් කිසිවිටක සිදු නොකල යුත්තකි.දරුවා කායිකව මෙන්ම මානසිකව එකී කාර්යන් සදහා අවතීර්ණ වන තුරු ඉවසීමෙන් බලා සිටීමට කටයුතු කරන්න.එසේ නොමැතිව එම ක්‍රියාවන් බලෙන් සිදුකිරීම මගින් ඔබ විසින් දරුවාට ලබා දෙන්නේ අනවශ්‍ය පීඩනයකි.

විශේෂයෙන්ම ඔබ කල යුත්තේ බලෙන් යම් යම් දේ උගන්වනවා වෙනුවට ඊට අවශ්‍යය පරිසරය සකසා දරුවාටම වයසින් වැඩෙත්ම අන්තර් ක්‍රියාකාරකම් සමගින් ස්වං අධනයක නිරතවීම ඉඩකඩ ලබා දීමයි.එවිට බුද්ධි වර්ධනය වඩාත් ඉහළ ප්‍රතිශතයකින් ඉහළ යන බව විශේෂඥ මතයයි.

ඇතැම් විටක පවුලේ සිටින දරුවන් ප්‍රමාණය වැඩි වන විට එකිනෙකාට ලැබෙන සැළකිල්ල අඩුවන අවස්ථා පවතී.නමුත් එහි බලපෑම දරුවාගේ ඉදිරි අනාගත දිවියට සෘජු බලපෑමක් සිදු කරන බව ඔබ දන්නවාද?මේ නිසා සියලු දරුවන්ට සමාන සැළකිල්ලක් දැක්වීම ඔබේ වගකීමයි.විශේෂයෙන් කුඩාම දරුවාට වඩා හොදින් වැටහෙන වයසේ පසුවන දරුවා පිළිබද ඔබේ අවධානය දෙන්න.කාර්යබහුල ජීවන රටාවත් සමග මවුපියන් දරුවන් අතර පවතින කතාබහ අඩු වීම,සුරතල් නොකිරීම,සෙල්ලම් කිරීමට ඇවිදීමට ඉඩ නොදීම,සම වයස් දරුවන් ඇසුරු කිරීමට ඉඩ නොදීම ආදිය නිසා පසුගාමී ලක්ෂණ පෙන්නුම් කිරීමට ඉඩ කඩ පවතී.මේ නිසා හැකි සෑම විටම දරුවා සමග ආදරෙන් කතාබහ කිරීමට ඔහු ප්‍රශංසාවට ලක් කිරීමට,හොද දේ ඔහුට දැනෙන ලෙස අන් අය ඉදිරියේ අගය කිරීමට යොමු වන්න.

වසර 5 අවසන්ව 6 එලබෙත්ම දෙමාපියන්ගෙන් පරිභාහිර පුද්ගලයන් සමග සබදතා ඇති කර ගැනීමට පෙළබේ.එවිට ඔබ කල යුත්තේ දරුවා අන් අයගෙන් දුරසු කර තැබීම නොවේ.ඔබ කල යුත්තේ දරුවාට වැටහෙන ආකාරයට ප්‍රෙව්සම් වන ආකාරය තේරුම් කර දීමයි.වයස අවුරුදු 6 – 12 කාලය ප්‍රාථමික පාසල් අවධියයි.මෙම කාලය දරුවෙකුගේ වර්ධනයේ කැපී පෙනෙන වෙනස්කම් දැක ගත හැකි කාල පරාසයකි.විශේෂයෙන්ම මව පියා වශයෙන් ඔබ දරුවා තේරුම් ගැනීම අතිශය වැදගත් අවධියකි.ඔහු හෝ ඇය සම වයස් කණ්ඩායම් සමග කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි.එමෙන්ම කැපී පෙනීමට,තමා සතු දක්ෂතා පෙන්වීමට එතුළින් ප්‍රශංසාවට බදුන්වීමට කැමැත්තක් දක්වයි.මෙම කාලය තුළදී ඒ සඳහා අවස්ථා සලසා දීම,උදාහරණ වශයෙන් තරග සදහා යොමු කිරීම මෙන්ම ජය පරාජය විද දරා ගැනීමට හුරු කල යුතු ය.ජයග්‍රහණ නොලද විට දරුවා පීඩනයට පත් නොකර තව තවත් දිරි ගැන්වීම තරම් ඔබ බුද්ධිමත් විය යුතු ය.අනෙකා සමග සංසන්දනය කිරීම සිදු කිරීම නොකරන්න.බෙදා හදා ගැනීම වැඩිහිටියන්ට ගරු කිරීම,පරිසරයට ආදරේ කිරීම ආදිය ඔබේ ක්‍රියාවෙන්ම දරුවාට ඒත්තු ගන්වන්න.

 හෙට දවසේ ලෝකය බාරගන්නා වැඩිහිටියා නිර්මාණය ආරම්භ වන්නේ මෙකී අවධියේ නිසා දෙමාපියන් වශයෙන් ඔබ ඔබේ වගකීම නොපිරිහෙලා ඉටු කිරීම වැදගත් වේ.මන්ද ඔබ ඔබේ වගකීම නිසි ආකාරයෙන් ඉටු නොකර අනාගත පරපුරෙන් ඉටුවිය යුතු යුතුකම් අපේක්ෂා කිරීම හෝ ඒවා නොලැබුනු තැන දොස් පැවරීම අරුත් සුන් බව යළි යළිත් සිහි තබා ගන්නේ නම් හෙට බිහිවන ලොව සුන්දර මිනිසුන්ගෙන් පිරි ලොවක් වනු නොඅනුමාන ය.

සටහන- මධුභාෂිණී උරේෂා කුමාරි

Recommended For You

About the Author: Editor