සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රැක ගැනීමට බැංකු පොළිය අඩු කරනවා – අගමැති

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකින් ආරක්ෂා කිරීම සහ ඔවුන් ණය බරින් මුදවා ගැනීම සඳහා ලබන සතියේදී බැංකු පොළී අනුපාතිකය පහළ දැමීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.


අද අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීය. ‘‘මුදල් මණ්ඩලය විසින් පසුගිය දා මේ රටේ බැංකු පොළිය අඩු කිරීමට ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කළා. ඒ වාර්තා මේ වන විට අපට ලැබී තිබෙනවා. ඒ අනුව බැංකු පොළිය අඩු කිරීම සඳහා අපි විශේෂ පියවර ගැනීමට සූදානමින් සිටිනවා. ඒ වගේම දැනට තැන්පතුකරුවන්ට දෙන පොළියටත් සීමා දැමීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ම මේ වැඩපිළිවෙළ සකස් කරලා තියෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසු වන ආකාරයටයි. ඒ සඳහා නියෝග සියල්ලම මූල්‍ය මණ්ඩලය විසින් ලබන සතියේ නිකුත් කිරීමට නියමිතයි. මේ මගින් ව්‍යාපාරිකයින්ගේ ණයබර අඩුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ රටේ ණය වැඩි වෙලා තිබෙන නිසා ව්‍යාපාර කිරීම අසීරු වෙලා තිබෙනවා. අපි මේ ආකාරයෙන් බැංකු පොළිය අඩු කිරීමට බලාපොරොත්තු වුණේ පසුගිය වසරේදීයි. ඒත් දින 51 අර්බුදය නිසා ඒක ඉටු කළ නොහැකි වුණා. දින 51 අර්බුදය නිසා මේ රටට ඩොලර් මිලියන 1000ක් නැති වුණා. ඒ මුදල අහිමි වුණ නිසා ගිය වසරේ අපිට මේක ඉටුකර ගන්න නොහැකි වුණා. ඒත් අපිට මේ වසරේදී එය කළ හැකි ශක්තියක් තිබෙන නිසා මේ පියවර ගන්නවා. විශේෂයෙන්ම ආර්ථිකයේ ස්ථාවරභාවය ආරක්ෂා කරමින් මේ පියවර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩපිළිවෙළ ගැන අපි තව සති හයකින් පමණ මුණ ගැසී සාකච්ඡුා කරලා තව දුරටත් අවශ්‍ය සංශෝධන කිරීමට බලාපොරොත්තු වෙනවා.

Recommended For You

About the Author: Editor