අවුරුදු සමයෙන් පසු බැංකු පොළී අනුපාතය 2% කින් පමණ පහතට

සිංහල හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු බැංකු පොළී අනුපාතය සියයට දෙකකින් පමණ පහත වැටෙනු ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ 07,  මලලසේකර මාවතේ පිහිටි සිය නිවසේදී (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී ණය පොළී අනුපාතිකය මෙන්ම ඉතිරිකිරීම්වලට හිමිවන පොළිය ද ඇතුළු සියලු පොළී අනුපාතිකයන් පහළ යනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය. විශේෂයෙන් රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගන්නා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මෙයින් පොළී සහනයක් හිමිවනු ඇතැයි කී අමාත්‍යවරයා අතීතයේ ලබාගත් ණයවලට අදාළව ද මෙම සහනය ලැබෙනු ඇතැයි කීවේය.

රජයේ ප‍්‍රතිපත්තිමය පොළී අනුපාතිකය හා භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතිකය අනුව ඉදිරියේදී  මාස තුනකට වරක් පොළී අනුපාත ව්‍යුහය සංශෝධනය කිරීමට නිර්දේශ කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

බැංකු පොළී අනුපාතය ඉහළයාම පිළිබදව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කර තිබූ බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගිය සතියේ සාකච්ඡා කර කරුණු සෙවීමට කමිටුවක් පත් කළ බවත් එම එම කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව කමිටුව විසින් අද (10) අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදුන් බව ද ඇමතිවරයා ප‍්‍රකාශ කළෙය.  කමිටු නිර්දේශ අනුව ඉදිරියේදී මෙලෙස බැංකු පොළිය පහත වැටෙනු ඇති බවත් ඇමතිවරයා කීවේය.

Recommended For You

About the Author: Editor