දයාසිරි ජයසේකරගේ ප‍්‍රකාශය ජනපතිටත් එම ධූරයටත් විශාල අවමානයක් – මහාචාර්ය ජී.එල්.පීරිස්

ජනාධිපතිවරණය කල් දැමීමේ කූඨ උත්සාහයට කිසිසේත් ඉඩ නොදෙන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන තර්කයට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. පීරිස් මහතා පවසන්නේ මෙම පදනම් විරහිත කූඨ උත්සාහයට එරෙහිව අනිවාර්යයෙන්ම පෙනී සිටින බවයි.

පුළුල් සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ඊයේ (10) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් ජී.එල්. පීරිස් මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී ජී.එල්. පීරිස් මහතා මෙසේ ද පැවසුවේය. දැන් අලූත්ම තත්ත්වය ජනාධිපතිවරණයත් කල් දැමීමේ උත්සාහයක යෙදීමයි. ශ‍්‍රීලනිපයේ මහ ලේකම්වරයා ඊයේ (9) ප‍්‍රකාශ කළා ජනාධිපතිවරයාට 2020 ජූනි 21 වැනිදා දක්වා ජනාධිපතිධූරයේ රැඳී සිටීමට පුළුවන් ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම සම්බන්ධයෙන් අවධනය යොමු කර තිබෙන බව. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීට පෙරත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129 වැනි වගන්තිය යටතේ පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසුවා. එදා ඉදිරිපත් වුණෙත් අද ඉදිරිපත් කරන තර්කයම තමයි. එම තර්කය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනකු විසින් ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළා. මෙවැනි තත්ත්වයක් තිබියදීත් යළිත් එවැනිම උත්සාහයක යෙදෙන්නේ අවුරුදු හයක් සිටිය නොහැකි නම් අවුරුදු පහමාරක් හෝ බලයේ රැඳී සිටිය හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටයි. මෙය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වුවමනාවට කෙරෙන්නක් බව අපි මොහොතකටවත් විශ්වාස කරන්නේ නැහැ. ජනාධිපතිවරයා වටේ සිටින, තම පැවැත්ම සඳහා කටයුතු කරන සුළු පිරිසකගේ අවශ්‍යතා අනුව මේවා කෙරෙනවා ඇති කියලයි අපි හිතන්නේ’’ යැයි සඳහන් කළේය.

මෙහිදී ජී.එල්. පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේ, 2020 ජූනි තෙක් බලයේ රැඳී සිටීමට ජනාධිපතිවරයාට කිසිසේත් පුළුවන්කමක් නෑ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ මේ නීතිමය තත්ත්වය සක්සුදක් සේ පැහැදිලි බවයි.

‘‘මෙවැනි ප‍්‍රශ්නයක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් එම ධූරයටත් කරන විශාල නිග‍්‍රහයක් වශයෙන් සැලකිය හැකියි. ඒ වගේම ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා තව දුරටත් කියා තිබෙනවා නව අගවිනිසුරුවරයා පත් වූ පසු, එනම් අපේ‍්‍රල් 22වැනිදාට පසු මේ කාරණය යොමු කිරීමට බලාපොරොත්තු වන බව. මේ සම්බන්ධයෙන් අපට යම් කතුහලයක් තිබෙනවා. ඒ කොහොම වුණත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි වගන්තිය අනුව ඉතාම පැහැදිලිව අගවිනිසුරුවරයාට පමණක් තනි තීරණයක් ගත හැකි ප‍්‍රශ්නයක් නොවෙයි මෙය. එම වගන්තියට අනුව අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත් කළ යුතුයි’’

මෙහිදී ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ, මෙවැනි ප‍්‍රශ්නයක් ජනපතිවරයාට හැර වෙන කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ නොහැකි බවත්, යළිත් වරක් ජනපතිවරයාගේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට යාම නුවණට හුරු නොවන බවයි.

‘‘ මෙවැනි පියවර ගන්නේ වැරදි නීති උපදෙස් මත යැයි විශ්වාස කළ හැකියි. මැතිවරණ තිබ්බොත් අන්ත පරාජයට ලක්වන බව දන්න නිසා මැතිවරණ කල් දැමීමට සූදානම් වීමට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. මෙයට අපි මුළු මනින්ම විරුද්ධ’’ යැයි ද පීරිස් මහතා අවධාරණය කළේය.


මැතිවරණ කල් දැම්ම ආණ්ඩුවලට ජනතාව හොඳට උත්තර දුන්නා – ඩලස්


මේ අවස්ථාවේ ජනමාධ්‍යයට අදහස් දැක් වූ ඩලස් අලහප්පෙරුම මහතා, ‘‘හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ජනාධිපති ධූරය දැරීමට තවත් වසරක් තිබෙන බව කියා ඒ කාලයේ දිරච්ච ලණුවක් දුන්නා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය එය ප‍්‍රතික්ෂේප කළා. ඒ වගේම තමයි මැතිවරණ කල්දැමීමට ආණ්ඩු පියවර ගත් සෑම අවස්ථාවකදීම ජනතාව ඊට දඬුවම් දී තිබෙනවා. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් පසු 1975 දී විසිරීමට තිබූ ආණ්ඩුව තවත් වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට එදා ආණ්ඩුව පියවර ගත්තා. ඒත් 1977 මහ මැතිවරණයෙන් ශ‍්‍රීලනිපයට ආසන 08ක් පමණයි දිනා ගන්න පුළුවන් වුණේ. මැතිවරණ කල් දැමීමට තැත් කරන පාලකයින් මේ මේ ඉතිහාසය ගැනත් දැනගත යුතු’ යැයි සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor