යල කන්නය ආරම්භ වන විට සේනා දළඹුවා යළි සටනට ?

මැයි මසයේ දී ආරම්භ වීමට ‘යල කන්නයේදී’ සේනා දළඹුවා යළිත් බඩඉරිඟු වගා භූමි තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධ ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයයේ මාධ්‍ය ප‍්‍රකාශක සනත් එම් බණ්ඩාර මහතා විසින් අනතුරු අඟවයි.


මේ හේතුව මත තම වගා භූමි වෙත යළිත් දැඩි අවධානයක් යොමු කරන ලෙස බණ්ඩාර මහතා බඩඉරිඟු ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙහිදී බණ්ඩාර මහතා කියා සිටියේ කෘෂි නිලධාරීන් හෝ 1920 දුරකථන අංකය හරහා අදාළ දැනුවත් කිරීම් කළ හැකි බවයි.

යල කන්නයේ ආරම්භයත් සමග යළි හිස එසවිය හැකි සේනා දළඹු ආක‍්‍රමණය සම්බන්ධයෙන් ලංකා ඊ ප්‍රෙස් වෙත අදහස් දක්වමින් සනත් එම් බණ්ඩාර මහතා මෙසේ ද ප‍්‍රකාශ කළේය.

‘‘2018-19 මහ කන්නය අපේ බඩඉරිඟු ගොවීන්ට අමතක නොවන නීරස අත්දැකීමක් ලබා දුන්නා. වසර දෙකක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ අප‍්‍රිකා සහ ආසියානු ඝර්ම කලාපය තුළ වේගයෙන් පැතිර ගිය සේනා දළඹු වසංගතය ලංකාවේ ද බඩඉරිඟූ වගාවට විශාල හානියක් කළා. ප‍්‍රචාරක යාන්ත‍්‍රණයේ ශක්තිමත්භාවය නිසා ගොවි ජනතාව දැනුවත් කිරීම ඉතා කාර්යක්ෂමව සිදු වූ අතර කෘෂි විද්වතුන් ද, ගොවීන් ද, එක කඳවුරකට පැමිණීම නිසා 2019 යල කන්නය ආරම්භ වන මේ මොහොතේ නම් අපිට (මැයි මාසයේ මුල යල කන්නය ආරම්භ වෙයි* සේනා දළඹුවා පේන්න නැහැ.

ඒත් ඇත්ත ම තත්ත්වය ඒක නොවෙයි. මේ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වාර්තා පරිශීලනය කරන විට පැහැදිලි වන්නේ මේ සලඹයාගේ (ඇත්තටම මොහු දළඹුවෙක් නොව සලඹයෙකි) ආක‍්‍රමණයට හසු වූ රටවල් මේ දක්වා ඔහුගෙන් නිදහස ලබා ගෙන නැහැ. ඒ නිසා අපිටත් හිතන්න වෙනවා මීට මාස කිහිපයකට පමණ පෙර අපේ රටේ බඩඉරිඟු වගාවට දැවැන්ත විනාශයක් කළ මේ සේනා දළඹුවා දැන් නැත්තට ම නැති වෙලා ද ? කියලා. ඔවුන් දැන් කඳවුරු බැදගෙන ඉන්නේ කොහෙද ? කියලා. මේ දළඹුවාට දින 10ක පමණ පියාසර ජීවිතයක් තිබෙන බව අපි අමතක නොකළ යුතුයි. එවැනි ජීවිත කාලයක් ඇති මේ සුහුඹුල් සලඹයා තම පැටවුන් පෝෂණය කර ගත නොහැකිව සහමුලින්ම වඳ වෙලා ගියාද ? එසේ නොමැති නම් නිශ්චිත වගාවක් දක්නට නොමැති, වගා කන්න දෙකක් අතරමැද ඇති මෙම මාස දෙක තුළ මිනිසාගේ ඇස නොගැටෙන සීමාවකට පියඹා ගොස් තම ජීවන චක‍්‍රය ක‍්‍රියාත්මක කරමින් රහසිගතව සිටිනවාද ?

පසුගිය මාස කිහිපය තුළ රටේ නිර්මාණය වූ නොයෙකුත් සමාජ, ආර්ථි හා දේශපාලන කරුණු නිසා සේනා ගැන සමාජ අවධානය ඈත් වුණා. ඒත් මේ සම්බන්ධයෙන්, ගන්නොරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය දැඩි අවධානයකින් පසු වුණා. අපි මේ ගැන විධිමත් පර්යේෂණ සිදු කළා. ඒ සඳහා මූලිකත්වය ගෙන ක‍්‍රියා කළේ කීට විද්‍යාඥ ප‍්‍රදීපා රණවීර සහ වල්පැළෑටි විශේෂඥ අනුරුද්ධිකා අබේසේකර යන නිලධාරිනියන් දෙදෙනායි.

ඔවුන් කළ අධ්‍යනයේ මූලික අරමුණ වුණේ සේනා දළඹුවාට ආහාර වශයෙන් ගත හැකි හා ජීවන චක‍්‍රය සම්පූර්ණ කිරීමට අවශ්‍යතා සපයන ධාරකයක් විය හැකි ශාක මොනවා දැයි දැන හඳුනා ගැනීමයි. දළමුවා මෙරටට ඒමට පෙර සිටම ආක‍්‍රමණිකයා බෝග 100කට වඩා වැඩි ප‍්‍රමාණයකට හානි පමුණුවන බව වාර්තා වී තිබුණත් ලංකාවේ දී නම් ප‍්‍රධාන වශයෙන් හානි කළේ බඩඉරිඟු වගාවට පමණයි. වෙනත් බෝගවල සේනා සිටින බව විටින් විට වාර්තා වුණත් එය වසංගතයක් තත්ත්වයට පත් වුණේ නැහැ. ඊට අමතර සේනා දළඹුවා යැයි වාර්තා වුණේ ද වගාවල සිටි වෙනත් දළඹුවෙක් බවට කරුණු සනාථ වුණා.

ප‍්‍රදීපා සහ අනුරුද්ධිකා යන පර්යේෂිකාවන් විසින් මෙම අධ්‍යනයේදී භාවිත කර තිබුණේ මීටර් 3-2-1 ප‍්‍රමාණයෙන් සෑදූ කෘමි ප‍්‍රතිවිරෝධී දැල්වලින් ආවරණය කළ කූඩු කිහිපයක්. එළිමහනේ තබා ඇති ඒවා තුළට සුලභ වල් පැලෑටි වර්ගත්, ඇතැම් ඒවා තුළට දළඹුවාගේ ආහාර විය හැකි යැයි සිතෙන එළවළු වර්ගත් එකතු කර ඒවා කෙරෙහි දළඹුවාගේ අති ප‍්‍රතිචාරය අධ්‍යයනය කළා. තම්පලා, වල්රබර්, වල්අබ, කුප්පමේනියා, තෙල් එඬෙරු, කලඳුරු වැනි පැළෑටි වෙත දළඹුවාගේ ආකර්ෂණයක් ඇති නොවූ බව ඔවුන් විසින් සොයා ගත්තා. ඒ නිසා පළමු පියවරෙන්ම ඒ ශාක ප‍්‍රභේද ඉවත් කළා.

ඊළඟ පියවර වුණේ දළඹුවා ආහාරයට ගන්නා ලද ශාක ප‍්‍රභේදයන්හි පත‍්‍ර කැබලි පාරදෘශ්‍ය ප්ලාස්ටික් බඳුන් තුළ තබා, ඒවා තුළට සතුන් එකතු කර ජීවන චක‍්‍රය සම්පූර්ණ කිරීමට තරම් හැකියාවක් අදාළ ආහාර මගින් දළඹුවාට ලැබෙනවාද යන්න පරීක්ෂා කිරීමයි. පර්යේෂිකාවන් එයින් අදහස් කළේ ඇතැම් විට ශාකයක් දළඹුවාට ආහාරයක් වුව ද එය ධාරක ශාකයක් (ජීවන චක‍්‍රය සම්පූර්ණ කිරීමට හැකි ශාකයක්* නොවිය හැකි නිසයි. දළඹුවා සැඟවී හෝ පැවතෙනවා යයි නිගමනය කළ හැකි වන්නේ අප අවට පරිසරයෙ එවන් ධාරක ශාක පවතින්නේ නම් පමණයි.
මෙම පර්යේෂණය මගින් ලැබී ඇති නිරීක්ෂණයන් අනුව පෙනෙන්නේ ‘බැලතණ’ ‘‘දියතණ’’ ‘‘කුකුල් ඇටවරා’’ ‘‘වීදුරුවල්’’ නොහොත් ‘‘ගුරුතණ’’ වැනි ශාක ප‍්‍රභේදයන් සේනා දළඹුවාට ආහාරයක් සේ ක‍්‍රියාකරනවාට අමතරව ධාරක ශාක ද වන බවයි. එනම් ප්ලාස්ටික් බඳුන් තුළ හොඳින් ආහාර ගෙන වැඩුණු සතුන් එතුළදීම පිළා අවස්ථාවටත් පැමිණ තිබූ බවයි. ආක‍්‍රමණශීලී සහ ආගන්තුක ශාකයක් ලෙස රට පුරා ව්‍යාප්ත වී ඇති ‘‘ගිනිතණ’’ පත‍්‍ර සේනා දළඹුවාට ආහාරයක් ලෙස පෙණුන නිසා, පර්යේෂණයේ ඊළඟ පියවර වන ප්ලාස්ටික් බඳුන් වෙත යොමු කළ ද, එහිදී නිරීක්ෂණය වී ඇත්තේ ආහාර ලෙස මුලදී ගිනිතණ අනුභව කළ ද, ජීවන චක‍්‍රය සපුරාලීමට අවශ්‍ය, සුදුසු ආහාර නොමැතිව පසුව සේනා දළඹුවා මිය ගොස් සිටි බවයි. එසේ නම් රට පුරා පිහිටියත් ගිනිතණ යනු සේනා දළඹුවාගේ ආහාරයක් නොවෙයි.

පර්යේෂිකාවන් විසින් දැමූ එළවළු අතරින් තක්කාලි ගෙඩිවල නටුව සවිවෙන ස්ථානයෙන් සිදුරක් සාදා දළඹුවා විසින් එය අනුභව කර තිබුණා. එනම්, එළවළු වගාවට ඇති සැඟවුණු තර්ජනය එකහෙළා බැහැර කළ නොහැකියි.

කරුණු මෙසේ වුණත් ගිනිතණ ගැන තරමක් වෙනස් ප‍්‍රවෘත්තියක් ද මෙම අධ්‍යනය තුළින් සොයා ගෙන තිබෙනවා. බඩඉරිඟු හා අනෙකුත් වල්පැළ සහිත කුටීර තුළට සලඹයින් මුදාහැරි විටදී ඔවුන් විසින් වැඩි වශයෙන්ම බිත්තර කැඳලි තැන්පත් කර තිබුණේ බඩඉරිඟු පත‍්‍ර මත වුවත්, ගිනිතණ පත‍්‍ර මත ද බිත්තර කැඳලි කීපයක් දක්නට ලැබී තිබෙනවා.

මේ හරහා ගත හැකි වැදගත් හා සාධාරණ නිගමනය නම් බඩඉරිඟු අවාරයේ දී, බිඩුලෑමේ විකල්ප ස්ථානයක් ලෙස සේනා සලඹයා විසින් ගිනිතණ ශාඛය යොදා ගැනීමට හොඳටම ඉඩ ඇති බවයි. එසේ නමුත් ඉන් බිහිවන දළඹුවන්ට තම ජීවන චක‍්‍රය සම්පූර්ණ කර ගැනීමට එම ශාකය ප‍්‍රමාණවත් නොවීම භාග්‍යයක් වශයෙන් සැලකිය හැකියි. වල් බහුල පරිසරයක නම් දළඹුවා ඉහත සඳහන් කළ වෙනත් ශාකයකට පර්යටනය වී තම ජීවන ගමන ඉදිරියට ගෙන යනු ඇතැයි අපට සිතිය හැකියි.

මේ අනුව පර්යේෂිකාවන් විසින් පෙන්වා දෙන්නේ බඩඉරිඟු ශාකය නොමැති විටදී වුව ද, එනම් වසර පුරාම මර්දන පිළිවෙත් අනුගමනය කළ යුතු බවයි. ‘‘ෆෙරමෝන් උගුල්’’ යොදමින් වසර පුරාම සුහුඹුල් සලඹ පාලනය මෙහි එක පියවරක් ලෙස ඔවුන් යෝජනා කරනවා. ගිනිතණ වෙතට ඇදී ගොස් සලඹයා බිත්තර හෙළීම ද අපට වාසියක් වන පරිදි මෙහෙයවා ගත හැකියි.

වෙනත් පර්යේෂණයන්ගෙන් පෙනෙන පරිදි මෙම බිත්තර තුළ බිත්තර හෙළමින් තම වර්ගයා බෝ කර ගන්නා කෘමීන් ද මෙරට සිටිනවා. ඒ හරහා සේනා දළඹුවාගේ බිත්තර වැනසී එම කෘමීන් බෝවීම සිදු වෙනවා. ඔවුන් සැලකෙන්නේ සේනාගේ ස්වභාවික සතුරන් ලෙසයි. එම ගහනය වැඩි වෙනවා යනු සේනා මර්දනයට රැුකුලක් වීමයි.

මේ අනුව ගොවියාගේ වගාවට හෝ පරිසරයට හානියක් නොමැති නම්, වගාව ආසන්නයේ ඉඩම්වල ගිනිතණ පඳුරු බිවීම හරහා සේනා දළඹුවාගේ ස්වභාවික සතුරන් බෝවීම ඉහළ යන බැවින්, ඒ හරහා තව දුරටත් අධ්‍යනයක් සිදු විය යුතු බව ද මෙම විද්වතුන් දෙපොළ විසින් පෙන්වා දී තිබෙනවා.

සටහන – රුවන් ලොකුවිතානගේ

Recommended For You

About the Author: Editor