ශ‍්‍රී ලංකාවේ පාපන්දුව කුජිත වෙයි : ලෝකයේ 202 ස්ථානයට පත් වෙලා

මෙරට පාපන්දු පාලකයින්ගෙන් නිරන්තරයෙන් පා පහර කමින් සිටින පාපන්දුවට ජාත්‍යන්තරයෙන් ද පා පහරක් පසුගිය දා එල්ල වුණා. ඒ ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලින් ශ‍්‍රී ලංකාව මෙතෙක් වාර්තා කළ අවම අගය වාර්තා කරමින්.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පසුගිය දා නිකුත් කළ 2019 වසරේ නවතම ශ්‍රේණිගත කිරීම් අතර ශ‍්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 202 වැනි ස්ථානයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ලෝකයේ පාපන්දු ක‍්‍රීඩා කරන රටවල් 211ක් අතරින් ශ‍්‍රී ලංකාව 202 වැනි ස්ථානයට පත්වීමයි. 2018 වසරේදී 201 වැනි ස්ථානයේ පසු වූ ශ‍්‍රී ලංකාව තවත් වසරක් ඇවෑමෙන් තවත් අංකයකින් පසුපසට ගොස් තිබීම මෙහි ඇති විශේෂත්වයක්.

2019 දී මේ වාර්තා වුණේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතර පහළම ස්ථානය. ඒ කෙසේ වෙතත් පසුගිය 2013 සිට මේ බිඳ වැටීම දැකගත හැකි බවයි පාපන්දු පිළිබඳ විශේෂඥයින්ගේ අදහස වන්නේ. 2013 දී 170 වැනි ස්ථානයේ සිටි ශ‍්‍රී ලංකාව 2014 දී 171 දක්වාත් 2015 දී 195 වැනි ස්ථානය දක්වාත් පසු බැස්සා. එම ගමනේ අවසන් නැවතම ලෙසයි 2019 දී වාර්තා කළ 202 වැනි ස්ථානය හිමි වන්නේ.

ශ‍්‍රී ලංකාවේ පාපන්දු ක‍්‍රීඩාවේ ශ්‍රේණිගත කිරීම් ඉතිහාසය පරීක්ෂා කරන විට 1993දී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව 125 වැනි ස්ථානයේ පසු වුණා. 1994දී එය 140 දක්වා පසු බැස්ස අතර 1995දී යළි 135 දක්වාත් 1996දී 130 දක්වාත් වර්ධනය වුණා. ඒ සමග යළිත් වසරක පසු 1999 දී 151 වැන් ස්ථානය දක්වාත් පසු බැස්සා. ඒත් යළි 1999 සිට 2003 දක්වා වර්ධනයක් වාර්තා වුණා. 2003 දී ශ‍්‍රී ලංකාව 135 වැනි ස්ථානය දක්වා යළිත් ඉහළට ගියා. මේ ආකාරයෙන් වර්ෂ කිහිපයකදී හැර 1993 සිට 2019 දක්වා ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම් අතර ශ‍්‍රී ලංකාව වාර්තා කළේ අතිෂයින් දුර්වල තත්ත්වයක් බව පහසුවෙන් හඳුනා ගත හැකියි. 2013 වර්ෂයේ 170 වැනි ස්ථානයේ සිට තවත් වර්ෂ 6කින් 202 වැනි ස්ථානය දක්වා අඛණ්ඩව පසු බැසීම නම් වාර්තාවක් වශයෙන්ම සැලකිය හැකියි.

ශ‍්‍රී ලංකාවේ පාපන්දු ක‍්‍රීඩාව මුහුණ දී සිටින මේ අභාග්‍ය සම්පන්න තත්ත්වයට මෙරට පාපන්දු ක‍්‍රීඩාව භාරව සිටින ‘‘බහිරවයින්’’ සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි මේ ගැන අවධානය දක්වන පාපන්දු ක‍්‍රීඩකයින් සේම පාපන්දු ලෝලීන් ද ප‍්‍රකාශ කරන්නේ. ඔවුන්ට අනුව ශ‍්‍රී ලංකාවේ පාපන්දු ක‍්‍රීඩාව මේ ආකාරයෙන්ම පැවැතුණහොත් 2020 දී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අවසාන ස්ථනය නිතරගයෙන් ම ජයග‍්‍රහණය කරන බව ඉතාම පැහැදිලි කරුණක් බව ඔවුන් පෙන්වා දෙනවා.

ශ‍්‍රී ලංකාව පාපන්දු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව මේ ආකාරයෙන් දැඩි පසුබෑමක සිටියත් පාකිස්ථානය හැර (201* දකුණු ආසියාවේ සෙසු රටවල් සැලකිය යුතු ස්ථානයක සිටිනවා. ඒ අනුව බංග්ලාදේශය 194 වැනි ස්ථානය ද, භූතානය 188, නේපාලය 161, මාලදිවයින 151, ඉන්දියාව 97 ඒ ස්ථානයි.

ශ‍්‍රී ලංකාව 2019 දී මේ ආකාරයේ අපකීර්තිමත් තත්ත්වයක් වාර්තා කිරීමට 2018 වසරේ මුහුණ දුන් තරගාලි මගින් පැහැදිලි උත්තේජනයක් ලැබුණා. ඒ 2018 දී ශ‍්‍රී ලංකාව සහභාගී වූ අන්තර්ජාතික තරග 04කට සහභාගී වුවත් ඉන් ජයග‍්‍රහණය කළේ එක් තරගයක් පමණයි. එකක් ජයපැරදුමෙන් තොරව නිමාවට පත් වුණා. ඒ වගේම 2018 දී පැවැති දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව අතිෂයින් දුර්වල කණ්ඩායමක් බවට පත් වුණා.

2019 වර්ෂය ආරම්භ වී මාස 04කත් අධික කාලයක් ගත වුණත් ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ දක්වා කිසිම ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී නොවීම ද විශේෂත්වයක්.

සටහන – තුසිත ප‍්‍රියංකර

Recommended For You

About the Author: Editor