ජුලියන් අසන්ජේ අත්අඩංගුවට

ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු අතිෂය රහස්‍ය තොරතුරු හෙළිදරව් කරමින් මහත් ආන්දෝලනයක් ඇති කළ විකිලීස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසන්ජේ ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දී පසුගිය 11 වැනිදා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.


ඇමෙරිකා එක්සත් ජනපදය සතු ආරක්ෂක තොරතුරු විකලීක්ස් වෙබ් අඩවිය හරහා පළ කිරීමට එරෙහිව පියවර ගැනීම සඳහා එවකට ලන්ඩන් නුවර ජීවත් වූ ජුලියන් අසන්ජේ තම රටට පිටිවහල් කරන මෙන් එක්සත් ජනපදය මහා බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලා සිටි අතර තුර අසන්ජේ ඉක්වදෝර් තානාපති කාර්යාලයට පළා විත් එහි දේශපාලන රැකවරණය ලබා ගත්තේය. ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිදුවීම හරහා ඇමෙරිකාව තම මිත‍්‍ර රාජ්‍ය සමග ද ගැටලු ඇතිකර ගත්තේය.

අසන්ජේ වසර හතකට ආසන්න කාලයක් ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය යටතේ ජීවත් විය.

වසර හතකට ආසන්න කාලයක් ඉක්වදෝර් තානාපති කාර්යාලයේ ජීවත් වූ අසන්ජේට තව දුරටත් එහි රැඳී සිටීමට නොහැකි වූයේ ඉක්වදෝර් ජනාධිපතිවරයා ගත් තීන්දුවක් හේතුවෙනි. තම තානාපති කාර්යාලයේ දේශපාලන රැුකවරණය ලබමින් සිටින අතර තුර අසන්ජේ ජාත්‍යන්තර සම්මුතීන් උල්ලඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කළ ඉක්වදෝර් ජනපතිවරයා අසන්ජේට ලබාදී තිබූ දේශපාලන රැකවරණය ඉවත් කිරීමට පියවර පසුගිය දා පියවර ගත්තේය. ඒ සමග වසර කිහිපයක් පුරා අසන්ජේ අත්අඩංගුවට ගැනීම සඳහා ඉක්වදෝර් තානාපති කාර්යාලය අසල මුරකාවල් දමා ගෙන සිටින ලන්ඩන් පොලිස් නිලධාරීන්ගේ අතඅඩංගුවට අසන්ජේ පත් විය.

මේ අතර ජාත්‍යන්තර අසන්ජේට එරෙහිව ස්වීඩනයේ කාන්තාවක් විසින් ද ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු පවරා ඇත. මෙම චෝදනාව විභාග කිරීම සඳහා ස්වීඩන් පොලීසියට යටත් වන ලෙස එරට අධිකරණය මීට කලකට පෙර අසන්ජේට දැනුම් දී තිබුණි. එහෙත් එහිදී ඇමෙරිකානු අත්අඩංගුවට පත්වීමට ඇති අවදානම නිසා අසන්ජේ ස්වීඩනයට භාර වීම ප‍්‍රතික්ෂේප කරමින් පසුගිය වසර හත පුරාම ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැුඳී සිටියේය.

ලන්ඩන් නුවර මෙට්‍රොපොලිටන් පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම ගැන කරුණු පැහැදිලි කරමින් කියා ඇත්තේ ස්වීඩන් නඩු විභාගය සම්බන්ධයෙන් අසන්ජේ අත්අඩංගුවට ගත් බවයි.
මහා බි‍්‍රතාන්‍යයේ නීතියට අනුව අසන්ජේ සම්බන්ධ ඉදිරි නීතිමය පියවර ගන්නා බව ද ලන්ඩන් පොලිසිය වැඩි දුරටත් සඳහන් කර ඇත.

Recommended For You

About the Author: Editor