‘‘නිපුණතාවාදයේ ජයග‍්‍රාහී වසරයි’’ ඇමති චම්පික රණවක

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර තිබුණේ එළඹෙන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් තම ෆේස් බුක් පිටුවට සුභ පැතුම් පණිවිඩයක් එක් කරමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ලබන අපේ‍්‍රල් 14 වන දාට එළඹෙන සිංහල, හින්දු, අලූත් අවුරුද්ද ඔබ සියළු දෙනාටම සුභ නව වසරක් වේවා කියලා අපි  ප‍්‍රාර්ථනා කරනවා. මේ අලූත් අවුරුද්ද රජෙක්, අධිරාජයෙක් බලෙන් මහජන සමාජය මත පටවන ලද අවුරුද්දක් නෙමෙයි. පාරිසරික, සමාජීයීය, සංස්කෘතික, ආර්ථික හේතු ගණනාවක්  නිසා මතුවන අවුරුද්දක්. අපි කවුරුත් දන්නවා මිනිස් වර්ගයාගේ පැවැත්මේ මේ මහ පොළවේ ජීවත්වන සියළුම ජීව විශේෂවල පැවැත්මේ පදනම සූර්යයා. සූර්යයා ශ‍්‍රී ලංකාවට මුදුන් වීම මේ කාල වකවානුවේදී සිදු වෙනවා. ඒ වගේම සූර්යාගේ මුදුන්වීමත් සමග අපේ රටේ පමණක් නෙමෙයි මේ කාල වකවානුවේ විවිධ තවත් රටවල, විශේෂයෙන්ම බෞද්ධ හා හින්දු රටවල අතීතයේත් මේ වකවානුව වසන්ත සමය හැටියට හඳුනාගෙන තිබෙනවා. ශ‍්‍රී ලංකාවට දෙවතාවක් හිරු මුදුන් වෙනවා. ඒ අපේ‍්‍රල් මාසයේ සහ ඔක්තෝම්බර් මාසයේ. අපේ‍්‍රල් මාසයේ හිරු මුදුන් වීම අපට වැදගත් වෙලා තිබෙන්නේ තවත් සංස්කෘතික කාරණා කිහිපයක් නිසයි. බොහෝ දුරට නිරිත දිග මෝසම් වැස්සේ පූර්ව මෝසම් වැසි මේ අපේ‍්‍රල් මාසයේ ආරම්භ වෙනවා. ඒ හරහා සමනල ගිරි මුදුනෙනුත් ඒ වගේම මැද කඳුකරයේ තිබෙන විවිධ කඳු ශිඛර හරහාත් ජලය, ගංගා 103 ක් හරහා රටපුරා විසිර යාම ආරම්භ වන්නේ මේ මාසයේ. ඒ හා සමගම සශ‍්‍රීකත්වයේ සළකුණ පෙන්වා දෙමින් අපගේ ගොවිතැන් බත් කිරීම සඳහා අවශ්‍ය කරන වැඩ ඇල්ලීම සිදුවන්නේ මේ මාසයේ.

ඒ අනුව බැලූවහම ආර්ථික නවෝදයක් ජලය සමග, තවත් පැත්තකින් සංස්කෘතික නවෝදයක් වසන්තය සමග සියළුම ගස්වල ඵල දරලා, අස්වනු ලැබිලා එයින් ලැබෙන පී‍්‍රතියත් සමග ගොඩනැගෙන වසන්ත සමය මේ අනුව ගොඩනැගෙනවා. මේ සියළු කාරණ, සැලකිල්ලට ගෙන තමයි සූර්යාගේ ගමන් මගත්, එය එක් රාශියකින් තව රාශියකට වසරකට පසු හුවමාරුවීමත් සලකලා බලලා මේ සිංහල අලූත් අවුරුද්ද අප විසින් සමරන්නේ. ඒ වගේම හින්දු ජනතාවත් වෙනත් රටවල බෞද්ධ ජනතාවත් මෙය අලූත් අවුරුද්ද ලෙස සලකන බව අප මතක තබා ගත යුතුයි.

ඒ වගේම අපේ අමාත්‍යාංශය හැටියට අපි ආපසු හැරී බලන විට පසුගිය වසර අභියෝගාත්මක වසරක්. නමුත් අපි බොහෝ අභියෝග ජයගැනීමට සමත් උනා. එක පැත්තකින් අපට තිබූ ප‍්‍රභල අභියෝගයක් තමයි වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය කරන බිම සකස් කිරීමේ අභියෝගය. පරිසර වාර්තාවලට එකඟව යමින්, රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින්, ඒ වගේම සමාජීයීය ප‍්‍රශ්න විසඳා ගනිමින් ඒ අභියෝගය ජය ගැනීමට අපේ අමාත්‍යාංශය සමත් උනා. දැන් එහි ඉදිකිරීම් කටයුතු සඳහා සූදානම්. ඒ වගේම බේරේ වැව වටේ ජීවත් වූ අවවරප‍්‍රසාදිත ජනතාවට ව්‍යාජ පොරොන්දු ලබාදී පොඩි ඉඩම් කට්ටි ලබාදී ඔවුන්ගේ පරම්පරාවන්ට එහි ජලාශ‍්‍රිත ප‍්‍රදේශය වසාගෙන ජීවත් වූ යුගය වෙනුවට, නව නිවාස ලබාදීමක් කරලා, බේරේ වැව ප‍්‍රදේශය මුදාගෙන පාරිසරික පැත්තෙන්, ආර්ථික පැත්තෙන් ඉතාම වැදගත් ප‍්‍රදේශයක් බවට පත් කිරීමේ මුල් කටයුතු කරන්නත් අපට හැකියාව ලැබුණා.

කොළඹ නගරය පැල්පත්වාසීන්ගෙන් තොර නගරයක් බවට පරිවර්තනය කිරීම සඳහා වූ දැවැන්ත ව්‍යාපෘතියට විශාල සවියක් පසුගිය වසරේදී අපි ලබාගත්තා. ඒ ආසියානු යටිතල පහසුකම් බැංකුවෙන් නිවාස 5,500 ක් ලබාගැනීමත් මේ කි‍්‍රයාවලියට සහයක් ලෙස තවත් නිවාස 2,000 ක් චීන රජයේ පරිත්‍යාගයක් හැටියට අපේ රජයට ලබාගැනීමට හැකිවීමත් සමග. ඒ අනුව අපගේ නිවාස 40,000 ඉලක්කය සපුරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සීඝ‍්‍ර ගමනක නියැලී සිටිනවා. මේවා තැන් තැන්වල ඉදිවන කුකුල් කූඩුවත්, තැන් තැන්වල ජනතාවට දේශපාලන වශයෙන් බෙදාදෙන නිවාසත් නෙමෙයි මිලියන 5ක්, ලක්ෂ 50 ක් පමණ වටිනා මේ ජනතාවගේ ජීවිතවලට අලූත් බලයක් ලැබෙන, ඔවුන්ගේ ජීවිත ගොඩනගාගැනීම සඳහා අධ්‍යාපනික, සංස්කෘතික වැඩපිළිවෙලක් සහිත නිවසක් සමග ජීවිතයක් එක්ක ගොඩනැගෙන නව ක‍්‍රියාවලියක්. එය මේ පසුගිය වසරේ තිරසර වැඩපිළිවෙලක් බවට තැනින් තැනින් පටන් ගෙන විවිධ අත්හදා බලන ලද වැඩපිළිවෙලක් නෙමෙයි තිරසර වැඩපිළිවෙලක් බවට පරිවර්තනය කිරීම අපට හැකියාව ලැබුණා.

ඒ වගේම තාක්ෂණ නගරය විවිධ විරෝධතා මධ්‍යයේ තාක්ෂණ නගරයේ කටයුතු දැන් ආයතන 11 ක් සඳහා ආරම්භ කරන්න එහි යටිතල පහසුකම් නැංවීමේ වැඩකටයුතු, ජලය, මාර්ග, විදුලිය පිළිබඳ කටයුතු නැංවීමට අපට හැකියාව ලැබුණා. ඒ වගේම ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ විප්ලවීය පරිවර්තනය වෙච්ච බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානවල පළවෙනි ප‍්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කලා. තව ප‍්‍රවාහන මධ්‍යස්ථාන 4 ක් කඩවත, 18 කණුව, බත්තරමුල්ල සහ පිටකොටුවේ ඉදිකිරීම් කටයුතු  ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව අනාගතයේ මහනුවර හා අනුරාධපුරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමටත් අපි දැන් කටයුතු යොදා තිබෙනවා. 

ඒ වගේම සැහැල්ලූ දුම්රිය සේවාවට අවශ්‍ය කරන පළවෙනි සැහැල්ලූ ණයකරය, .01% පොළියට ලැබෙන ඩොලර් බිලියන 1.8 ක ණය මුදල ලබාගැනීමටත් එහි වැඩකටයුතු ආරම්භ කිරීමටත් අපට ගිය වසරේදී මුල්පියවර තැබීමට අපට හැකියාව ලැබුණා. මේ වසරේ අපි එහි ඉදිකිරීම් කටයුතුවල පියවර 7 ක් තිබෙනවා. ඒ පියවර 7 න් පියවර කිහිපයක වැඩකටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එය මේ රටේ පොදු ප‍්‍රවාහනයේ විශාල පරිවර්තනයක් සිදු කරනවා ඇති. ඒ වගේම පරිපාලන නගරය ඒ සම්බන්ධ වූ ගොඩනැගිලි ඉදිකිරීම්වල කොන්ත‍්‍රාත් ආදිය ලබාදීම අපි මේ පසුගිය වසරේ සිදු කළා. එයත් දැන් පියවරෙන් පියවර ඉදිරියට යනවා. කෙළින්ම නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් රුපියල් මිලියන 23,000 ක් ඒ වෙනුවෙන් වැයකර තිබෙනවා.

ඒ වගේම බොහෝ රාජ්‍ය ආයතන බිඳ වැටෙද්දි තමන්ට අවශ්‍ය කරන පළවෙනි සේවාවත් ලබාදීමට රාජ්‍ය ආයතන අසමත් වෙද්දි, අපි අපේ රාජ්‍ය ආයතන ලාබ උපයමින්, ආදායම් ඇති කරමින් ඒ වගේම ඒ ලාභ ආයෝජනය කරමින් ජනතාවට ශක්තිය ලබාදෙන ආයතනබවට පසුගිය වසරේ අපි පත් කළා. නාගරික සංවර්ධන අධිකාරියේ ආදායම දෙගුණ කළා. ඒ වගේම පසුගිය කාලවලට සාපේක්‍ෂව නාගරික සංවර්ධන අධිකාරිය තුන් හතර ගුණයකින් තමන්ගේ ආයෝජනය ශක්තිය වැඩිදියුණු කළා. රටේ සංවර්ධන ශක්තියට දායක උනා. රටපුරා සුඛිත පුරවර නමින් ව්‍යාපෘති දෙසියකට ආසන්න ප‍්‍රමාණයක් අපි ආරම්භ කරලා අසූ ගණනක් විවෘත කරන්න කටයුතු කලා. කුඩා සුඛිත පුරවර ව්‍යාපෘති 1,500 ක් පමණ මේ වසරේ අපි ආරම්භ කරලා කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලම ඉතා කුඩා කාර්යමණ්ඩලයක් සමග, කුඩා අමාත්‍යාංශයක් හැටියට නිකං ගැසට් නිවේදනයක කොල කෑල්ලක තිබූ අමාත්‍යාංශයක් රටේ බලගතුම සංවර්ධනයේ දායකත්වය ලබාදෙන බලගතුම කි‍්‍රයාවලිය බවට පරිවර්තනය කිරීමට අපට හැකිවීම පසුගිය වසරේ අප ලබාගත්ත ජයග‍්‍රහණයක්.

ඒ සියල්ලටම වඩා පසුගිය වසරේ සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි පවුල්වාදී ජුන්ටාවේ කුමන්ත‍්‍රණය පරාජය කිරීමට නායකත්වය ගෙන කටයුතු කිරීමට අපට හැකිවුණා. අපි ඒ අවස්ථාවේදී බොහෝ දෙනෙක් බියෙන් සැඟවී සිටියා. සමහර පක්ෂවල නායකයන් යැයි කියා ගන්නා අය ගිහින් යම් යම් අයගේ නිවෙස්වල හිඳගෙන ජනතාව පත් කළ අපේම රජයට එරෙහිව කුමන්ත‍්‍රණ කරමින් සිටියා. ඒ කුමන්ත‍්‍රණ කරුවන් අද නොයෙක් වෙස් අරගෙන ජනතාව ගැන කතා කළත් මේ රටේ ජනතාව මතක තබා ගත යුතුයි.  ඒ රාජපක්ෂ පවුලේ ජුන්ටාවේ කුමන්ත‍්‍රණය පරාජය කිරීමට ඔවුන් කිසිම දායකත්වයක් දැරුවේ නැහැ. මේ රටේ ජනතාවට ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට ලබාදීමට අපට හැකිවීම ගැන අපි ඇත්ත වශයෙන්ම ආඩම්බර වෙනවා. ඊ ළ`ග මැතිවරණවලදී මොවුන්ව හෙළිදරව් කිරීමට අපි කටයුතු කරන බවත් ප‍්‍රකාශ කරනවා.

ඒ වගේම මේ රටේ කසළ කළමනාකරණයේ විප්ලවීය පරිවර්තනයක් ඇතිකර ගනිමින් විද්‍යාත්මක කසළ රඳවනයක් ඉදිකරන්න අපට හැකිවුණා. රටටම ගැලපෙන කසළ රඳවනයක්. නොයෙක් ආගමික උම්මත්තවාදීන් තමන්ගේ ඒ අන්තවාදී අදහස් හරහා මේ කසළ රඳවනය නතර කිරීමට තමන්ගේ දේශපාලන බල පරාක‍්‍රමය පාවිච්චි කිරීමට උත්සාහ කළත් අක්කර දහස් ගණනක පරිසර විනාශයන් කරමින් කෙළින්ම ජාතිවාදි ආගමික කඳවුරු ලෙස යම් යම් දේවල් ගොඩනැගීමට උත්සාහ කරන අය මෙයට එරෙහි උනත් මේ රටේ රාජ්‍ය නායකත්වයට කොන්දක් තියෙන්න  ඕනේ දැන් මේ කසළ රඳවනය මේ රටතුළ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය මත කි‍්‍රයාත්මක කරන්න. මොකද අපි ඒකේ කරන්න පුළුවන් බැරැරුම්ම කොටස අපි ඉෂ්ඨ කර තිබෙනවා. ඒක නිර්මාණය කර තිබෙනවා. මම හිතනවා ඒක ලොකු ආදර්ශයක් මේ රටට අපි ලබාදීපු. කොළඹ නගර සභාවේ, බස්නාහිර පළාත් සභාවේ, පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ  ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු සියළු දෙනාගේ ජාතික වගකීම එම විද්‍යාත්මක කසළ රඳනය කි‍්‍රයාත්මක කිරීම අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට යට නොවී.

ඒ වගේම අනාගතය සඳහා අපි ගත්තොත් මේ එළඹෙන වසර ඉතා තීරණාත්මකයි. ඒ වසරේදී රටේ බලගතු මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතයි. පළමුවෙන්ම එන මැතිවරණය ජනාධිපතිවරණයයි. ඒ ජනාධිපතිවරණය අහෝසි කිරීමට නොයෙක් දෙනා නොයෙක් කුමන්ත‍්‍රණ කළත් ඒවා සාර්ථක වන්නේ නැහැ. ඔක්තෝම්බර් 6 වෙනිදායින් පසුව මේ රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට තරඟයක් පැවැත්වෙනවා. ඒ ජනාධිපතිධූරය 2015 පවපත්වපු ජනාධිපතිවරණය වගේ එකක් නෙමෙයි ජනතාවට වගකියන, පාර්ලිමේන්තුවට වග කියන අධිකරණයට යටත් ජනාධිපතිධූරයක් සඳහා තමයි ඒ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ. ඒ ජනාධිපතිවරණය කෙසේ වෙතත් රටේ හැරවුම් ලක්‍ෂයක්. ඉන් පසුව මහ මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් පැවැත්වෙනවා. ඒ අනුව ජනාධිපතිවරණය ජය ගන්නා පාර්ශවයට රටේ සියළුම ක්‍ෂෙත‍්‍රවල දේශපාලන බලය ලැබීමට නියමිතයි.  ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුර පවුල්වාදයෙන් මේ රට මුදා ගැනීම සඳහා අවසාන සටන මේ ජනාධිපතිවරණයේදී සිදු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි. අපි ඒ අධිෂ්ඨානයේ ඉන්නවා. මේ රටේ ඉවතට දමන ලද, පවුල්වාදයට යටත් වෙච්ච, ගජමිතුරුවාදයට යටත් වෙලා කුසලතාවයට, නිපුණතාවයට තැනක් නොදුන් දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ කුසලතාවයට, නිපුණතාවයට තැනක් තිබෙන රටක්    බවට, ඒ වගේම මේ රට හැරයන ජනතාවට ඉන්න හිතෙන රටක් තැනීම සඳහා වූ පළවෙනි පියවර ඒ මගින් තබන්න අපි උත්සාහ කරනවා.

ඒ වගේම උතුරේ නෙල්ලඅඩි මධ්‍ය විද්‍යාලයේ සිට දකුණේ දික්වැල්ල විජිත විද්‍යාලය දක්වා මේ රටේ උසස් අධ්‍යාපනය හරහා ඉදිරියට ආපු දැන උගතුන්ට වෘත්තීයවේදීන්ට මේ රට භාර කිරීමට අපි මේක වැඩපිළිවෙලක් බවට පත් කරනවා. පසුගියදා අවසන් කළ අපගේ මෙගා මයින්ඞ්ස් වැඩපිළිවෙලට දායක උනා විසි දහසකට අධික වෘත්තීයවේදීන් මේ රට පුරාම. ඒ හැම කෙනාගේම ප‍්‍රාර්ථනාව අලූත් රටක්, අලූත් බිමක් මේ රට තුළ ඇති කිරීමයි.  ඒ නිසා අපි මේ වසරේ අධිෂ්ඨානය රට හැර යන වෘත්තීයවේදීන්ට, මේ රටට සේවය කරන්න, රටයන දැන උගතුන්ට මෙරටට සේවය කරන්න පමණක් නෙමෙයි මේ රටට නායකත්වය දෙන්න, පවුල්වාදයත්, ගජමිතුරුවාදයත්  පරාජය කර, රටක් මේ එළඹෙන වසරෙදී, ඒ අනුව 2019 අපේ‍්‍රල් සිට 2020 අපේ‍්‍රල් දක්වා වූ තීරණාත්මක වසරේදී ඉටු කරන්න. ඒ සඳහා රාජපක්ෂ ජුන්ටාවේ කුමන්ත‍්‍රණය පරාජය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට ජයග‍්‍රහණ ලබාදීම සඳහා අපි කැපවෙන බව 2015 දී අපට දුන් ජනවරම සමහරුන් පාවා දෙමින්, ඒ ජනවරමට මුවා වෙලා රටේ ජාතික ධනය මංකොල්ල කෑමට හොරුන් ආරක්‍ෂා කිරීමට ආර්ථිකය ඉදිරියට ගෙනයෑම වැලැක්වීමට නොයෙක් කි‍්‍රයා මාර්ග ගත්තත්, ජනතාවට අපි යුතුකම් ඉටු කරමු. ඒ ජනතාවගේ ප‍්‍රාර්ථනා ඉදිරියට ගෙන යමින් වඩාත් ශක්තිමත් ජනවරමක් එළඹෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට ලබාගැනීමට අපි කටයුතු කරන බව ප‍්‍රකාශ කරමින් අපිත් එක්ක මේ සඳහා අත්වැල් බැඳ ගන්න, එකතු වෙන්න, නායකත්වය ගන්න කියලා මේ රටේ ප‍්‍රබුද්ධ මහජනතාවට අපි ආරාධනා කරනවා.

Recommended For You

About the Author: Editor