ඔබට සරුසාර කුඹුරක් අවශ්‍යද ? පොදු පෝෂණ ඌනතා ලක්ෂණ හඳුනා ගනිමු – 02 කොටස

ගොයම් ගසට නිසි පරිදි පෝෂණය නොලැබුණහොත් (මූල්‍යද්‍රව්‍යයන්ගේ ඌනතා* දැකිය හැකි පොදු පෝෂණ ඌනතා ලක්ෂණ කිහිපයක් පහත දැක්වෙනවා.

1 පත‍්‍ර කහ වීම, තැඹිලි පාට වීම හෝ තද කොළ පාට වීම.
2 පත‍්‍ර නාරටි අතර හරිතක්ෂය ඇති වීම (කොළ පාට අඩුවීම*
3 පත‍්‍රවල දුඹුරු පුල්ලි ඇති වීම.
4 පත‍්‍ර අග හා දාරය දුඹුරු පාට වී වියළි යාම.
ඉහත සඳහන් කවර හෝ ඌනතාවකදී භාවිතයට ගත හැකි පෝෂණ ප‍්‍රතිකාර කිහිපයක් තිබේ. මෙහිදී ඉතාමත් වැදගත් කරුණ වන්නේ ගොවිබිමට හැකි තරම් කාබනික පොහොර සැපයීමයි. ඒ සඳහා ක‍්‍රම දෙකක් අනුගමනය කළ හැකියි.

  1. ගොවියා ගොවිබිමේදීම තම ගොවිබිමට අවශ්‍ය පොහොර සකසා ගැනීම.
  2. සකස් කරන ලද කාබනික පොහොර වෙළෙඳපොළෙන් මිලදී ගැනීම

සාරවත් ගොයමක ලක්ෂණ හඳුනා ගනිමු

ගොයම් ගසට අවශ්‍ය පෝෂක නොඅඩුව ලැබෙන සාරවත් කුඹුරක පහත සඳහන් ලක්ෂණ ඔබට දැකගත හැකියි.

  1. ගස නීරෝගීයි.
  2. මූල මණ්ඩලය හොඳින් පැතිර තිබෙනවා.
  3. පිරිණු ඇට සහිත වී කරල් තිබෙනවා.
  4. ගොයම් ගස සුළඟට ඇඳ වැටෙන්නේ නැහැ. (මේ තත්ත්වය වී වර්ගයන් අනුව වෙනස් විය හැකියි.
  5. රෝග හා කෘමි හානිවලට ගොදුරු වන්නේ නැහැ.

වී වගාවේ රෝග පළිබෝධකයෝ සහ ඔවුන් පාලනය කරන ආකාරය

හොඳ පෝෂණයක් ලබන, නිතර නිතර ගොවියාගේ ඇල්ම බැල්ම ලබන කුඹුරක් සරුසාර වෙන කොට නිසි පෝෂණය නොලබන, ගොවියාගේ ඇල්මෙන් බැල්මෙන් තොර වූ කුඹුරක් නිරන්තරයෙන් රෝග හා පළිබෝධ හානිවලට ලක් වෙනවා.

ගොවිතැනේදී ‘පළිබෝධ’ කියලා හඳුන්වන්නේ ගොවිතැනට හානි කරන, ගොවිබිමේ සිටින වෙනත් ජීවීන් සහ ශාක විශේෂයන්ටයි. ඒවා ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්ත වෙනවා.

  1. වල් පැළ : වී පැළය සමග තරග කරන වෙනත් පැළ වර්ග.
  2. කෘමීන් : වී පැළයට හා බීජවලට හානි කරන කුඹුරෙහි සිටින කෘමි වර්ග.
  3. වී ශාකයට හානිකර දිලීර, බැක්ටීරියා, වෛරස් සහ වටපණු ආසාදන ආදිය

වී වගාවට අහිතකර සතුන් හඳුනා ගනිමු

ප‍්‍රධාන වශයෙන් ගොවිබිමට හානි කරන සතුන් හත් දෙනෙක් සිටිනවා. පැළ මැක්කා, දුඹුරු පැළ කීඩෑවා, කොළ හකුළන දළඹුවා, බිම් ඌරා, පැළගැටියා, පිටි මකුණා, කුරුල්ලෝ, කුහුඹුවෝ, මීයෝ

පැළ මැක්කා ; පැළ මැක්කා හඳුන්වන විද්‍යාත්මක නාමය වන්නේ ‘‘ස්ටෙන්කීටොත‍්‍රීප්ස් බයිෆෝම්ස්’’

හානියේ ස්වභාවය
1 වී වැපිරූ දා සිට සති තුන දක්වා කාලය තුළ පැළ මැක්කා වී වගාවට හානි කරනවා.
2 පැළ මැක්කාගේ සුහුඹුලා සහ කීටයා පත‍්‍ර මධ්‍යයේ ඇති ෙසෙලවල යුෂ උරා බොනවා. එවිට පත‍්‍ර හැකිළී දුඹුරු පැහැයට හැරී වියළී යනවා.
3 හානියේ ප‍්‍රමාණය අනුව පඳුරු දැමීම අඩු වෙනවා. ඒ නිසා ගොයම් ගස පරිණත වීම පමා වෙනවා.
4 වියළි කාලගුණ තත්ත්වය යටතේ මේ තත්ත්වය බරපතළ වෙනවා. පැළ වියළි වගාව විනාශ වී යාමට පවා පුළුවන්.
5 කෙටි කාලීන වී ප‍්‍රභේදවලට හානි කිරීම නිසා අස්වැන්න අඩු වෙනවා.

පාලනය

පැළ මැක්කාගෙන් සිදුවන හානිය පාලනය කිරීම සඳහා පහත සඳහන් දේ කළ යුතුයි.

1 කන්නයට අනුව වගා කිරීම.
2 වල් මර්දනය.
3 නිසි වගා ක‍්‍රම අනුගමනය කිරීම.

2. දුඹුරු පැළ කීඩෑවා

දුඹුරු පැළ කීඩෑවා හඳුන්වන විද්‍යාත්මක නාමය වන්නේ ‘‘ නීලපාවාටා ලූජන්ස් වේ.
හානියේ ස්වභාවය
1 කීඩෑවා ගොයම් පැළයේ කඳ මත වසා යුෂ උරා බොනවා. එනිසා කීඩෑ හානියට ලක් වූ පැළ කහ පැහැයක් ගනී.
2 කීඩෑවන්ගේ ගහනය වැඩි වූ විට වගාව වියළී මැරී යයි.
3 දුඹුරු පැළ කීඩෑවා වෛරස් රෝග බෝ කරන වාහකයෙකු ලෙස ද ක‍්‍රියා කරනවා.

පාලනය
1 ප‍්‍රතිවිරෝධී වී ප‍්‍රභේද වගා කිරීම.
2 වගාව නොකඩවා පරීක්ෂාවට ලක් කිරීම.
3 ක්ෂේත‍්‍රයේ ජලය කපා හැරීම ආදිය මගින් දුඹුරු පැළ කීඩෑවාගේ හානිය පාලනය කළ හැකියි.

4. ගොක් මැස්සා
ගොක් මැස්සා හඳුන්වන විද්‍යාත්මක නාමය වන්නේ ‘‘ඔර්සිලියා ඔරයිසේ’’ යන්නයි. ශ‍්‍රී ලංකාවේ ගොක් මැසි වර්ග දෙකක් දකින්නට පුළුවන්.

හානියේ ස්වභාවය
1 තෙත් කලාපයේ වී වගාවට යල් කන්නයේ ද වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ වී වගාවට මහ කන්නයේදී ද ගොක් මැස්සාගෙන් හානි සිදු වෙනවා.
2 ගොක් මැස්සාගෙන් හානි සිදු වූ විට ගොයම් කොළය ලූනු කොළයක හැඩය ගන්නවා.
3 පත‍්‍ර ලා කොළ පැහැයෙන් හෝ සුදු පැහැයෙන් හෝ බටයක් ලෙස උඩට ඇදී එනවා. මේවා ‘රිදී ගොබ’’ / ‘‘සුදු ගොබ’ වශයෙන් හඳුන්වනවා.
4 හානියට පත් පත‍්‍ර ඇතැම් විට හඳුනා ගැනීම පවා අපහසු වෙනවා.

පාලනය ; ප‍්‍රති විරෝධී වී වගා කිරීමෙන් හෝ සංස්ථානික කෘමිනාශක යෙදීමෙන් හානිය අවම කරගත හැකියි.

5. කොළ හකුළන දළඹුවා
‘‘කැෆලෝක්‍රෝසිස් මෙඞ්නාලිස් ’’ යන විද්‍යාත්මක නාමයෙන් ‘කොළ හකුළන දළඹුවා’ හඳුන්වනු ලබනවා.

හානියේ ස්වභාවය
1 පත‍්‍ර දාර එකට බැඳ නාළාකාර ව්‍යුහයක් සදා ඒ තුළ සිට පත‍්‍ර මැද ඇති පටක සිරස් තීරු වශයෙන් සූරා කනවා.
2 දුර්වර්ණ වූ හැකිළුණු පත‍්‍ර නිසා ගොයම නිසරු බවක් දැකිය හැකියි.

පාලනය;
1 වගාවට සෙවණ ලැබෙන ශාක ඉවත් කොට හිරු එළිය ලැබීමට සැලැස්වීම.
2 නයිට‍්‍රජන් පොහොර අවශ්‍ය ප‍්‍රමාණයට යෙදීම.
3 දියර කෘමිනාශක යෙදීමෙන් සලබයන් ද කීටයන් ද පහසුවෙන් පාලනය කළ හැකියි.

6. බිම් ඌරා
‘ග‍්‍රිලෝල්පා අෆි‍්‍රකානා’ යන විද්‍යාත්මක නාමයෙන් ‘බිම් ඌරා’’ හඳුන්වනවා.

හානියේ ස්වභාවය
1 පස ආශ‍්‍රිතව ජීවත් වන මෙම කෘමීන් ගොයම් පැළවල පස යට ඇති ළපටි මුල් හා කඳන් කපා ආහාරයට ගැනීම හේතුවෙන් ගොයම් ගස මැරී යනවා.
2 රාත‍්‍රි කාලයේදී ආහාර සොයා යන නිසා හානිය සිදුවන්නේ රාත‍්‍රි කාලයේදීයි.
3 බිම් ඌරාට ජලය තුළ ජීවත් විය නොහැකියි. ඒ නිසා තෙතමනය සහිත ජලය රැුඳී ඇති කුඹුරුවල ජීවත් වෙනවා.
4 ජලය බැඳ තිබූ වගා භූමිවල, ජලය කපා හැරි විට හෝ පස් මතු වූ අවස්ථාවල පැළෑටිවලට පමණක් හානි කරනවා.
5 මෙම පළිබෝධ හානිය සිදුවන්නේ ළපටි ගොයම් පැළවලටයි. හානිය ඇති වූ විට වගා බිම අක‍්‍රමවත් වගාවක් බවට පත්වෙනවා.

පාලනය ; වී වගාවේ මුල් අවධියේදී ජලය බැඳ තැබීමෙන් බිම් ඌරාගෙන් සිදුවන හානිය වළක්වා ගත හැකියි.

7. පිටි මකුණා
‘බි‍්‍රවේනියා රෙනි යන විද්‍යාත්මක නාමයෙන් ‘පිටි මකුණා’ හඳුන්වනවා. පියාපත් සහිත පිටි මකුණන් සහ පියාපත් රහිත පිටි මකුණන් යනුවෙන් වර්ග දෙකක් දැකිය හැකියි.

පියාපත් රහිත පිටි මකුණන් ශ‍්‍රාවය කරන සුදු ඉටි වැනි කෙඳිමය ද්‍රව්‍යයකින් දේහය ආවරණය කරගෙන සිටිනවා. මොවුන් ජීවත් වන්නේ පත‍්‍ර කොපුවල සහ කඳෙහියි. වර්ෂා ජලයෙන් වගා කරන, හොඳින් ජලය බැස යන කුඹුරුවල බහුලව පිටි මකුණන්ව දැකිය හැකියි.

හානියේ ස්වභාවය;
1 පැළ වුණු ගොයමේ යුෂ උරා බීම නිසා ශාකයේ වර්ධනය බාල වෙනවා.

2 ආසාදනය අධික වූ විට කරල් පීදීම පමා වෙනවා. එවිට අක‍්‍රමවත් වගාවක් දැකිය හැකියි.

8. කුරුල්ලෝ
වී වගාවට විශේෂයෙන්ම හානි කරන කුරුළු වර්ග කිහිපයක් දැකිය හැකියි. ඒ අතර ‘ගිරවා’ සහ ‘වී කුරුල්ලා’ ඉදිරියෙන්ම සිටිනවා.

හානියේ ස්වභාවය;
1 කුරුල්ලෝ ධාන්‍ය අස්වැන්නට විශාල වශයෙන් හානි පමුණනවා

2 ගොයම කිරිවදින අවස්ථාවේදී ධාන්‍ය මිරිකා යුෂ උරා බීම නිසා බොල් ඇට හට ගන්නවා.

3 පැසී ගෙන එන අවස්ථාවේදී සම්පූර්ණ කරල හෝ ඇට හෝ ඉවත් කර දමනවා.

9. කුහුඹුවෝ
කුහුඹුවෝ වී වගාවට විශාල වශයෙන් හානි පමුණුවන සත්ව කොට්ඨාසයක් වශයෙන් සැලකිය හැකියි. කුහුඹුවන් පොළොවේ ගුල් හාරා ගෙන ජීවත් වෙමින් වපුරන ලද පැළ වී ආහාරයට ගන්නවා. මේ හේතුව නිසා අඩු පැළ ගහනයක් සහිත අක‍්‍රමවත් වගාවක් ඇති වෙනවා.

පාලනය
කුහුුුඹුවන් පාලනය සඳහා වැඩි බීජ ප‍්‍රමාණයක් වැපිරීම මෙන්ම කෘමිනාශක මිශ‍්‍ර කරන ලද බීජ භාවිතය ද සුදුසුයි.

10. මීයෝ
වී වගාවට හානිකරන තවත් සත්ව කොට්ඨාසයක් ලෙස මීයන් සැලකිය හැකියි. මී වර්ග කිහිපයක්ම වගාවට හානි කරනවා. ඒ අතර ලංකාවේ ගොවීන් ‘වෙල් මීයා’ යනුවෙන් හඳුන්වන මී විශේෂය ප‍්‍රධානයි.

හානියේ ස්වභාවය;
1. ළපටි ගොයම් පැළ සහ ධාන්‍ය කොටස් ආහාරයට ගන්නා නිසා වගාව ආරම්භයේදීම පැළ සංඛ්‍යාව අඩු වෙනවා.

2. අවට ප‍්‍රදේශවලින් කුඹුරට සංක‍්‍රමණය වන මීයෝ වැඩෙන පැළ ආහාරයට ගන්නවා.

3. මීයන් කපා දැමූ රිකිලි නැවත වැඩෙන නිසා උන් කපා දැමූ ගොයම නෙළන අවස්ථාව වන විට හානි වූ ප‍්‍රදේශ කොළ පාටින් දිස්වෙනවා.

පාලනය
1. ක‍්‍රමානුකූල වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතුයි.

2. වගා කිරීමෙන් පසු කුඹුරේ සිටින මී ගහනය ගැන සැලකිලිමත් විය යුතුයි.

3. වාසස්ථාන ආශ‍්‍රිත නියරවල් කුඩාවට සෑදීමත්, වගාව අවට වල් මර්දනය කිරීමත්, එළි කිරීමත් මගින් මීයන් ගහනය පාලනය කළ හැකියි.

4. මීයන් මර්ධනය සඳහා රසායනික ක‍්‍රමවේද භාවිත කළ හැකියි.

සැකසුම – තුෂාල් විතානගේ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පත‍්‍රිකා සහ ‘වස විස නැති ධාර්මික වී ගොවිතැන- අත්පොත ඇසුරිණි.

Recommended For You

About the Author: Editor