සංගීතවේදීය සමාජ විද්‍යාව – සංකල්පීය හා විචාරාත්මක අධ්‍යයනයක්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ධර්ම කීර්ති ශ‍්‍රී රංජන්
ශ‍්‍රී පාලි මණ්ඩලය, ජනමාධ්‍ය අංශය
කොළඹ විශ්වවිද්‍යාලය

මානව සංගීතයෙහි මූලිකාංග පුද්ගල සහ සමාජ ජීවිතය පදනම් කොට ගත්තකි. එය මිනිසාගේ සංවේදීතාවන්හි උද්භවය සහ ක‍්‍රියාකාරීත්වයෙහි ප‍්‍රතිඵලය තුළිින් ප‍්‍රායෝගික, අධ්‍යාත්මික, පුද්ගල සහ සමාජ ස්වරූපයන් සංකේතාත්මක භාවයන් තුළ අර්ථවත් කර ගැනීමකි.

‘‘කථන සංනිවේදනය’’ ලෝක ස්වභාවය පිළිබඳ බුද්ධිමය යථාර්ථයන් ගොඩ නගන්නේ යැයි සලකන ව්ට ‘‘සංගීත සංනිවේදනය’’ ලෝක දැක්ම පිළිබඳ යථාර්ථයෙහි විඳීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. : Seeger 1977. එනම් මේ තුළ ගොඩනැගෙන කෘත්‍යාත්මක සංනිවේදනයෙහි ඵලය සමාජ සංස්කෘතික දේහයෙහි මූලිකාංග පරම්පරානුගත ලෙසින් සම්පේ‍්‍රෂණය වීමයි. මෙම විෂය බහුමාන Multidimensional සහ බහු විෂයීය පදනමින් අධ්‍යයනය කළ යුත්තේ සෑම විෂය ක්ෂේත‍්‍රයකම අදාළත්වය එය කේන්ද්‍ර කොට ගෙන ඇති බැවිනි. නිදසුන් ලෙස සංගීතයෙහි ගණිතමය සූත‍්‍රාන්තික බව එම විෂයෙහි ගැඹුරු බව මිනිය හැකි එක් සාධකයක් පමණි. අනෙක් අතට බුද්ධිමය පරිපාකය සහ දර්ශන විෂයටත් වඩා පුද්ගල භාවයන් පිළිබඳ හෙළිදරව්ව සංගීතය තුළින් කළ හැකි බව බීතෝවන් ද පෙන්වා දෙයි. එ මෙන්ම චාර්ල්ස් ලේලෝ Charles Lalo ගේ පාරිභාෂාවේදයට Terminology අනුව සංගීතයට පුද්ගලයා අතිශය සංවේදී Anesthetic කළ හැකි සක්‍යතාවය පවතී. (Eduard, 1891) මේ අනුව සංගීතයෙහි ගැඹුරු බව තේරුම් ගැනීමට සංගීත විෂය පමණක් ඉගෙනුම ප‍්‍රමාණවත් නොවේ.

සංගීත සම්ප‍්‍ර‍්‍රදායන්, සංගීතය පිළිබඳ පුරුදු පුහුණු ක‍්‍රම, සංගීත පරිභෝජන රටාවන්, සංගීතය සහ ජනමාධ්‍ය ක‍්‍රියාවලිය ආදිය පිළිබඳ සංගීතවේදීන්ගේ, අධ්‍යාපනඥයින්ගේ සහ සංනිවේදන පර්යේෂකයන්ගේ, සමාජ විද්‍යාඥයන් ආදීන්ගේ විෂය පතයන් තුළ ප‍්‍රධාන මාතෘකා වී තිබේ. විසිවන සියවසෙහි තාක්ෂණෙවිදයෙහි සිදු වු වෙනස සංගීතයෙහි ප‍්‍රචාරණවාදය සඳහා පමණක් නොව එතෙක් පැවති සංගීත සම්ප‍්‍රදායන්ගේ වෙනස සඳහා සිදු වු බලපෑම මෙන්ම සංගීතය පිළිබඳ සමාජයෙහි මතය ද ප‍්‍රබල වෙනසකට ලක් කළේ ය. සංගීතය තුළින් ගොඩනැගෙන වින්දනය පමණක් නොව එහි පණිවුඩය ද සමාජ ගත කිරීමට ජනමාධ්‍ය හෘදයාංගම වී තිබේ. මෙ වැනි සාධක පදනම්ව සංගීතය සහ සමාජ සහවාසය අතර ප‍්‍රබලත්වයක් ගොඩනැංවී තිබේ.

සංගීතය පිළිබඳ සමාජ විද්‍යාව Sociology of Music ලෝකයේ අනෙකුත් බොහෝ සමාජීය විද්‍යාවන්ට වඩා සාපේක්‍ෂව තවමත් යෞවනයේ පසුවන විෂය කොටසකි. සංගීතවේදය මානව සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ අතිශය සංවේදී සංයුක්ත කොටසක් ලෙසින් ක‍්‍රියාත්මක වේ. එය ජාතික සහ ලෝක සංස්කෘතික රාමු තුළ නිර්මාණාත්මක මෙන්ම විවරණාත්මක කැඩපතකි. එහි ගැඹුරු කියවීම් මානව සමාජ හැසිරීම්, ගුණ සහ රටා පිළිබඳ නිරූපණය ප‍්‍රබල කරයි. මෙලෙස සංගීතය දිගු මානව ඉතිහාසයක මානව සංරචකයන් සමග ව්‍යුහගත වූවත් එක්තරා ක‍්‍රම විද්‍යාත්මක ප‍්‍රවේශයකට අනුගත වන්නේ කෙටි ඉතිහාසයක සිටය. සංගීතයේ ක‍්‍රියාකාරීත්වයේ අධ්‍යාත්මික, සදාචාරාත්මක සහ, සහවාසී පදනම සමාජ සංස්කෘතියේ සෞන්දර්යාත්මක දෘෂ්ටිවර්ධනය සඳහා තීරණාත්මක බලපෑමක් සිදු කළේය.

පුළුල් පරාසයන්, ව්‍යුහයන් හා සාමාජීය කාර්යභාරයන් හේතුඵල සබඳතාවයන් තුළ විශ්ලේෂණය කිරීම සමාජ විද්‍යාත්මක චින්තනයේ මූලික ගති ලක්‍ෂණයයි. සංගීතය පෞද්ගලිකවත්, පොදු සහ ප‍්‍රායෝගිකවත්, බුද්ධි විෂයීයව, සංඥා සංකේත භාවයන් තුළ සෞන්දර්යාත්මකව පරිභෝජනය වන ප‍්‍රධාන සංවේදනාත්මක ව්‍යවහාරයකි. එහි සමාජීය ගුණය විෂය මූලික නියාමයන් අනාවරණය කරයි. සංගීත කලාවෙහි තාර්කික සහ දාර්ශනික පදනම සෞන්දර්යාත්මකව ව්‍යාඛ්‍යාන කරමින් ඉතා ප‍්‍රබල ලෙස සමාජීය ක‍්‍රියාකාරිත්වය නිරූපනය කරයි. ගීතය ඉතා සියුම් ලෙස සද්භාවීය ප‍්‍රකාශනයක් ලෙස පුද්ගලයා ග‍්‍රහනය කරගනී. ග‍්‍රාහකයා සංගීත අවකාශය (Musical Space) පුළුල් කර ගන්නා අතර ඒ තුළ වැය වන කාලය ගැන එතරම් තක්සේරුවක් නො කරන්නේ සවිඥානික හෝ අවිඥානික ලෙසින් වින්දනය මූලික කර ගන්නා බැවිනි. එය සමාජ සම්ප‍්‍රදායන් තුළ නිෂ්පාදනය වන, සක‍්‍රීයව කි‍්‍රයාවට මග හෙළි කරන පොදු භාෂාවකි. ගීතය පුද්ගල සංවේදනයන් තුළින් (Sensation ආරම්භ වී ක‍්‍රියාකාරී ස්වරූපය හා බද්ධ වුණු ඵලය යි.

ගීතය ක‍්‍රමිකව විශ්ලේෂණයට භාජනය වන්නකි. එය හුදු අර්ථ සන්නිවේදනය තුළ හා තොරතුරු ආවේදනය මත හිරවූවක් නොවේ. අන්තර්ගතය සහ ආකෘතිය, තොරතුරු සහ එහි ගලායාම, සංකේත සහ පණිවුඩ, හැසිරීම සහ සංස්කෘතිය, නිෂ්පාදනය සහ ප‍්‍රතිග‍්‍රහණය, ගොඩනැගීම සහ ව්‍යාඛ්‍යානය අතර පවතින අන්තර්ක‍්‍රියාව පමණක් නොව එය සමාජ ක‍්‍රියාවලියෙහි එක්තරා යෙදීමක් මෙන්ම අන්තර් විෂයීය ප‍්‍රකාශනයක් ද වේ. රචකයා අධ්‍යාත්මිකව සහ භෞතිකව වඩාත් ස්පර්ෂ කළ සාධකයන් ගීතය ආත්ම කොට ගැනීම නො වැළැක්විය හැක්කකි. ඒ අනුව ගීතය යනු අන්‍යන්ගේ චේතනාවන් හා හැසිරීම් රටා විෂයීයගත ලෙස ප‍්‍රදර්ශනයක් මෙන්ම, පුද්ගලයාගේ උරුමයකට වඩා සමාජය බෙදා හදාගත් සැබෑ වුවමනාවන්ගේ ඵලයක් ලෙසින් ගොඩ නැගෙන නිර්මාණයකි. සිද්ධියෙහි උරුමය සමාජය හෝ පරිසරය සතුවන අතර එය නිර්මාණකරුවාගේ සංවේදීභාවයේ අවසාන ඵලයෙහි බෙදා ගැනීමකි. එකම සමාජ සංසිද්ධිය පිළිබඳ වුව නිර්මාණ කරුවන් විසින් අන්තර් සංවේදීභාවයක් ගොඩ නගා ගනු ලබන්නේ ඒකීය ලෙස නොවේ. එය අතික‍්‍රමණය කරමින් ඒ පිළිබඳ පූර්ණ චිත‍්‍රයක් නිර්මාණය කර ගැනීමේ නියමානුකූලතාවන් පිළිබඳ දැනුම නිර්මාණකරුවන්ට නො මැති වීමේ ගැටලූව පොදු නියමයකි.

සංගීතයෙහි අන්තර්ගත ස්වරූපය සමාජීය ගුණය වන අතර එය සමාජ හා සංස්කෘතික පද්ධති තුළ ගොඩනගන සබදතාවල ප‍්‍රමාණයන් මත පුද්ගල සහ සමාජයේ නිශ්චිත ආකල්ප, වටිනාකම්, පුරුෂාර්ථ හා අභිමතාර්ථ ගොඩ නැංවිය හැකිය. එහි එක්තරා සමාජ පංතියක, කොටසක, කණ්ඩායමක වුවමනාවන් නියෝජනය කිරීමේ නිශ්චිත ස්වරූපයන් හා ව්‍යුහයන් තිබෙන බව ද පැහැදිලි වේ. එය සමාජය තුළින් ගොඩනැගී සමාජය නැවත විවරණය කරන අතර (Steven, 1984) පොදු ජන වින්දන ක‍්‍රියාවලිය ප‍්‍රායෝගිකව භාවිතයට නගන්නකි. සංගීතයේ ක‍්‍රියාකාරිත්වය ග‍්‍රාහකයා තුළ නිශ්චිත සමාජ තත්වාරෝපිත ස්වභාවයක් ඇති කරන අතර මානව ප‍්‍රජානනයේ විවිධ ක්‍ෂේත‍්‍ර ස්පර්ෂ කරයි. සංගීතයේ භූමිකාව වේගයෙන් වර්ධනය වන නිසාත්, එය තුළ සමාජ පරිවර්තන සක්‍යතාවය ප‍්‍රබල වන නිසාත් සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයක අවශ්‍යතාවය ද ඉස්මතු වේ.

සංගීතය පිළිබඳ සමාජ විද්‍යාත්මක දෘෂ්ටිය තුලනාත්මක සමාජයේ තවදුරටත් ගොඩ නැගෙන්නේ බටහිර සමාජ සන්දර්භය මූලිකවය. සමාජ විද්‍යාවේ ඓතිහාසාත්මක න්‍යායාත්මක සහ ක‍්‍රම විද්‍යාත්මක උපකරණ තුළ සංගීතය පිළිබඳ සමාජ විද්‍යාවේ ශික්‍ෂණය හැඩ ගැසෙමින් තිබෙන බව පෙනේ. බටහිර ලෝකයේ තාර්කීකරණය (Rationalization) ආවේණික ගුණයකට වඩා ධනවාදයේ වර්ධනයත් සමග සිදු වූ බව මැක්ස් පෙන්වා දෙයි. තාර්කීකරණය, නිලබල ව්‍යුහය, සමාජ ව්‍යුහීය සංවිධානයෙහි සෑම අංශයකම ක‍්‍රියාකාරිත්වය හැඩ ගැස්වීමේ තීරණාත්මක සාධක විය Weber 1921).

පැරණි පල්ලිය තාර්කීකරණයට සහ නිලබල ව්‍යුහයට අනුගත වීමත් සමගින් එය යුරෝපීය සංගීත සම්ප‍්‍රදායට පුළුල් බලපෑමක් සිදු කළේය. නිදසුන් ලෙස සමූහ ගායන්යන්හි, සංගීත භාණ්ඩ නිෂ්පාදනයෙහි, ස්වර ප‍්‍රස්ථාරකරණය යනාදී වශයෙනි. මෙම ධනවාදී සමාජ ආර්ථික ප‍්‍රබෝධය තුළ යුරෝපයේ විශේෂී සංගීත සංස්කෘතික පරිසරයක් ගොඩ නැගිමේ යාන්ත‍්‍රණය සැකසුණි. මෙම නියාමානුකූලතාවන් මැක්ස් වේබර්ගේ සංගීතය පිළිබඳ සමාජ විද්‍යාත්මක සංකල්පයන් ව්‍යුහගත වීමට බලපෑවේය Eisentadt, 1992). මෙම තාර්කීකරණය සංගීත සම්ප‍්‍රදායට කරන ලද බලපෑම පිළිබඳ අතීත රෝමානු කතෝලික පල්ලියේ පැවති සංගීත ස්වර ප‍්‍රස්ථාර වාස්තවිකව පර්යේෂණ කිරීමෙන් පසු ඔහු හේතුඵල සම්බන්ධතාවයකින් කරුණු විශ්ලේෂණය කළේය. මෙම පසුබිම හේතුවාදී සංගීත ආකෘතියක් Rational form of Music ගොඩනැංවූ බව ඔහු පවසයි. මෙම යුරෝපීය Eurocentric සංගීතවේදය එක් අතකින් ප‍්‍රායෝගික සහ විෂය මූලික වාදයෙන් ග‍්‍රාහක මණ්ඩලය පමණක් නොව සමාජ විද්‍යාඥයන්ගේ පවා මතවාදීමය අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ අවකාශය පුළුල් කළේය. මේ අනුව වේබර් තර්ක කරන්නේ යුරෝපීය ක‍්‍රමවේදය සංගීතවේදයෙහි හේතුවාදී මූලිකාංගයන් (Rational Elements) නිර්මාණය කළ බවයි.

මැක්ස් වේබර් නව සංගීතය Modern Music ප‍්‍රධාන විචල්‍යයන් දෙකක් ඔස්සේ විශ්ලේෂණය කරයි. බටහිර ලෝකයේ ඓතිහාසික ධනවාදී සහ සමාජ තාර්කීකරණ ක‍්‍රියාවලිය ද ඉස්මතු වන ප‍්‍රධාන මානව කෘතියක් (Artifact) ලෙස එක් අතකින් ඔහු හඳුනාගත්තේය. සංගීතය යන්න ජීවිතය සංස්කෘතික සන්දර්භය තුළ අරුත් සරව ගැඹුරින් විවරණය වන සෞන්දර්යවේදයක් බව අනෙක් අතින් ඔහු විශ්ලේෂණය කළේය. සමාජයේ ජීවත් වන සාමාජිකයන්ගේ ක‍්‍රියාකාරිත්වය ප‍්‍රතිනිෂ්පාදනය කරන ව්‍යංගාර්ථවත්, ශිල්පාත්මක ගීත කලාව තුලනාත්මක සමාජ ස්වරූපයන් රැුගත් සංස්කෘතික සමාජ විද්‍යා ක්‍ෂේත‍්‍රයකි. Cultural Sociology මෙම මානව සෞන්දර්යාත්මක කෘතිය ලොව මහා න්‍යායන් හා සම්ප‍්‍රදායයන් නිර්මාණය කළේය.

සංස්කෘතික ලෙස ජාතික මතයන් Cultural Nationalism ගොඩනැංවීමේ හැකියාව ලොව සෑම සංගීත කලාවකම දර්ශනවේදය බවට පත්ව තිබීම විවරණයට භාජනය විය යුත්තකි. මෙම සමාජ සංස්කෘතික නිෂ්පාදනය ආරෝපිත ලෙස සමාජයටත් එම සමාජීය හැසිරීම් නැවත සංස්කෘතියටත් සමාභිජනනය වනු ලබයි. සංගීතය සහ එය සංස්කෘතියට කරනු ලබන බලපෑම මෙන්ම සංගීතයේ සමාජ බලපෑම ඉතා ප‍්‍රබල වන අතර (Adorno, 1945 a.b, 1962) එය සංගීතය පිළිබඳ සමාජ විද්‍යාවේ කේන්ද්‍රික ප‍්‍රවේෂයකි. උස් පහත් ස්වර මානයන් මූලිකව සංගීතයෙහි ගොඩනැගෙන නාට්‍යමය නිර්මාණය හුදු මනෝ භාවයන් අවධිකරමින් නිර්මාණාත්මක ලෝකයක කාලීනව පුද්ගලයා ජීවත් කරවයි. මේ අනුව අධ්‍යාත්මික අංශයේ ප‍්‍රමුඛත්වය සහ නායකත්වය සංගීතවේදියාට හිමිවිය යුතු අතර එය ජාතික හා ලෝක සංස්කෘතියේ කේන්ද්‍රීය කොටසක් බවට පත්විය යුතුය.

බටහිර පමණක් නොව ලොව ඕනෑම සංගීත සම්ප‍්‍රදායයක ආරම්භය සහ වර්ධනය සඳහා එහි ආර්ථික, පරිසරාත්මක, සමාජ ව්‍යුහීය සහ සමාජ ධූරානුක‍්‍රමික රටා, සමාජ ආයතනයන්හි හර හා ඇගයුම් බලපාන අතර එය සංගීතයෙහි සමාජීය නිෂ්පාදනය සඳහා ද හේතු වේ. සංගීතය පිළිබඳ සමාජ විද්‍යාත්මක ලෙසින් දැනුම ලබා ගැනීමේදී වඩාත් අධිනිශ්චය වන්නේ එහි ප‍්‍රජානනාත්මක හා ආවේදන කාර්යයන්ය. එදිනෙදා ගොඩනැගෙන සමාජීය ක‍්‍රියාදාමයන් කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටීම තුළින් සංගීතවේදියා අද්විතීය අත්දැකීම් තම සෞන්දර්යාත්මක නිර්මාණ වෙත ගොනු කර ගන්නා බැවින් ඔහු ද අනෙකුත් සමාජ ආර්ථික විද්‍යාඥයන්ගේ තත්වයට සමීප වන්නේය. සංගීතවේදියාගේ සෞන්දර්යාත්මක සහ සහේතුක ප‍්‍රයත්නය ඔහුගේ ක‍්‍රියාකාරිත්වයේ පොදු මූලධර්මය වේ. ඒ අනුව ඔහු නිල, පිළිගත් ප‍්‍රමිති ගත ක‍්‍රමවලට පමණක් සීමා නොවේ. ඉන් ඔබ්බට ගොස් විවිධාකාර ක‍්‍රම හා විධි අනුගමනය කරමින් නව නිර්මාණාත්මක ක්‍ෂේත‍්‍ර හඳුනා ගැනීම, පුළුල් පරාසයක් තුළ නව ක්‍ෂේත‍්‍ර ව්‍යුහගත කිරීමකි.

සම්භාව්‍ය සංගීතය මෙන්ම ඍ්ච සංගීතය හෝ ජනප‍්‍රිය සංගීත සම්ප‍්‍රදායන් අද්‍යතන සමාජයේ හේතුඵල සබඳතා මත විශ්ලේෂණය වන අතර ඒවා උස් හෝ පහත් ලෙසින් අර්ථ නිරූපණය කළ හැකි ද යන්න ගැටලූවකි. ඒවා එක් එක් සමාජ අගයන් හා සම්ප‍්‍රදායයන් නියෝජනය කරන අතර පේ‍්‍රක්‍ෂක ප‍්‍රමාණයක අයිතිය ද රැුක ගනී. නිදසුන් ලෙස අප‍්‍රිකානු ගෝත‍්‍රික ජන කණ්ඩායම් වෙස් මුහුණු පැළඳ සිදු කරන ජෑස් සංගීත සංයෝජනයන් එම සමාජයේ සංයුක්ත කොටස් වන සමාජ පංතිය, සංස්කෘතිය, සමාජ ස්ථරයන්, ඇගයුම් හා සමාජ ව්‍යුහීය රටාවන් නියෝජනය කරයි. එම බල අධිකාරි සමාජ සංස්කෘතික ව්‍යුහය තුළ එම සංගීත සම්ප‍්‍රදායට ලැබෙන ඇගයුම හා ප‍්‍රමාණය වෙනත් සමාජ සංස්කෘතික ප‍්‍රවේශයෙහි සන්තුලනයට සමපාත නොවේ. සංගීතය සාර්ව සහ ශුක්‍ෂම ලෙසින් ක‍්‍රියාත්මක වන සමාජීය බල කේන්ද්‍රණයක් ලෙස ද අධ්‍යයනය කළ හැකි බැව් පෙනේ. (Firth, 1989) ඒ අනුව සමාජ විද්‍යාඥයාගේ සංගීතය පිළිබඳ දෘෂ්ටිය හුදු වින්දනය මත පදනම් වූවක් ම නොවේ. සංස්කෘතිය සහ සමාජ ව්‍යුහීය බලපෑම් කෙතෙක් නිෂ්පාදන ක‍්‍රියාවලියට බලපා ඇත්ද යන්න වෙනසකින් තොරව ආවේදනය කර ගැනීම ද වේ. සමාජ සංස්කෘතිය තුළ සාහිත්‍යයෙහි බලය සහ වටිනාකම ඉතා ප‍්‍රබලය (Shepherd, 1993).

ප‍්‍රධාන නළුවා ලෙස සංගීතඥයාගේ සහ නිෂ්පාදකයාගේ ක‍්‍රම විද්‍යාත්මක සුසංයෝගය (Methodological Incorporation) ගීතය තුළ ප‍්‍රතිනාදය වේ. සංගීතය නැමති සමාජ ලෝකයේ සමාජ සාධක ලෙස ගොඩනැගෙන සමාජ ක‍්‍රියාව (Social Action) පිළිබඳ සංකල්පය නිර්මාණය කරන්නට එය වැදගත්ය. ඒ අනුව සමාජ විද්‍යාඥයා සමාජ නිෂ්පාදනයක් (Social Production) ලෙස ගීතය පිළිබඳව ක‍්‍රම විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට පසු බට නොවෙයි. ආර්ථික වාතාවරණය ද (Economic Climate) නව ගීත සම්ප‍්‍රදාය තුළ ප්‍රෙක්‍ෂකයාගේ කියවීමට හසුවන ප‍්‍රධාන සංකල්පයකි. සංගීතය පිළිබඳ සමාජ විද්‍යාවෙහි ආරම්භය, ව්‍යාප්තිය, ආර්ථික සහ සංගීතය ආදිය පිළිබඳ විද්වත් සාකච්ඡුාවන් ගොඩ නැගෙන්නේ මැක්ස් වේබර්ගේ සිටය.

ඉතිහාසයෙහි සිට සංගීතය ගොඩනැගෙන්නේ නො වෙනස් නො වන ගුණය මතය. ප‍්‍රාථමික ජන සමාජයෙහි සරල ලෙස ගොඩ නැගුණ සංගීත මූලයන් ක‍්‍රමික විකාශනයෙහි ප‍්‍රතිඵල ලෙස ප‍්‍රමිති ගත වීම සහ තාර්කීකරණයට අනුගත වීම දක්නට ලැබේ. සංගීතයෙහි වර්ධනය සඳහා එකිනෙකට සමපාත නො වන්නාවූ සමාජ සංවර්ධන අවධි සහ ආකෘති බලපා ඇති බැව් පැහැදිලිය. බටහිර රෝමානු කතෝලික පල්ලියෙහි ශ‍්‍රමණ සම්ප‍්‍රදාය, මධ්‍යකාලීන සමාජ අවධිවල වැඩවසම් සමාජ ආකෘති, සමූහ ගායනා ක‍්‍රම, භාෂාව යනාදී වශයෙනි (Kasler,1988). වේබර්ට අනුව සංගීතයේ සහේතුක වර්ධනයක් ගොඩනැගෙන්නේ නව සංගීත මෙවලම් හා ගීත ප‍්‍රස්ථාර පාදකවය. භාණ්ඩ නිෂ්පාදන ශිල්පියා සහ ස්ථාවර වෙළඳ පොළ නිර්මාණය කර දෙනු ලබන භාණ්ඩ වාදන ශිල්පියා අතර ගොඩ නැගෙන සහවී සබඳතාවය අතිශය වැදගත් වේ. සංගීතඥයා සහ රචකයා අතර ගුණවාච බව සංගීත භාණ්ඩ සඳහා වෙළඳ පොළ ශ‍්‍රාවකයා තුළ නිර්මාණය වීමට හේතු විය.

සංගීතයෙහි විධිමත් බව සහ ක‍්‍රමවේදී බව සඳහා සංගීත භාණ්ඩ හේතු වූවා සේ ගීතයෙහි ස්වර ප‍්‍රස්ථාර නිර්මාණය කර ගැනීම සඳහා ප‍්‍රධාන මූලාශ‍්‍රය බවට සංගීත භාණ්ඩය උපකාරී විය. බටහිර කතෝලික පල්ලිය මෙය යොදා ගත් ආකාරය වේබර් ඉතා සියුම් ලෙස පරීක්‍ෂණයට හසුකර ගත්තේය. ස්වර ප‍්‍රස්ථාරයන්ගේ නිර්මාණය සංගීත න්‍යාය ගොඩනැංවීම සඳහා උපස්ථම්භක වූ බැව් පැහැදිලිය. සංගීත ශිල්පියාගේ පරිචය ගොඩනගා ගැනීමේදී මෙන්ම සංගීත අනුයුංජන ක‍්‍රියාවලියේදී ද සංගීත ස්වර ප‍්‍රස්ථාර සහේතුක විය. මෙහි සංවිධිත බව සංගීත ප‍්‍රකාශන (Music Publication) ගොඩනැගීම සඳහා මෙන්ම, සංගීත වෙළඳ පොළ නිර්මාණකරණය සඳහා ද හේතු විය.

සමාජ හා සංස්කෘතික සාධකයන්හි දී ආර්ථික ප‍්‍රපංචයන් පරමාදර්ශී ක‍්‍රියාවලීන් බවට පත් නො විය යුතුය. ගීත නිර්මාණකරණය සහ එහි ක‍්‍රියාකාරිත්වය මූලික ලෙසින් පුද්ගල භාව ප‍්‍රකාශන වන අතර පසුව එහි සංකීර්ණ වටිනාකම් (Complex Value) අභ්‍යන්තරීකරණය කර ගනී (Btau, 1989, Shank, 1991). සංගීතවේදීන්ගේ ගොඩනැගීම සඳහා මෙන් ම නිර්මාණකරණයන් සඳහා සමාජ, ආර්ථික, සංස්කෘතික සහ අවකාශීය පරිසරය ද බලපෑම් කරයි. නමුත් සංගීත නිර්මාණ සඳහා මේවා ඒකීය සාධක ලෙසම නිර්වචනය කළ නො හැකිය(Finnegan, 1989; Firth, 1989; Salman, 1983).

අද්‍යතනයේදී සංගීතවේදය පිළිබඳ සමාජ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා ඊටම ආවේණික බහුවිධ විධි ක‍්‍රම සහ බහු ක‍්‍රමවේදී ප‍්‍රවේෂයන් යොදා ගැනීමේ වරදක් නැත. ඒවා අතර ව්‍යූහකෘත්‍යවාදය (Structural Functionalism) මනෝ විශ්ලේෂණවාදය (Psycho Analysis) මානව වංශ ක‍්‍රම විද්‍යාව (Ethno Methodology) සංඥර්ථවේදය (Semiology) ආනුභවික ප‍්‍රවේෂ (Empirical) යනාදිය මූලිකව සංගීතයෙහි කේන්ද්‍රිය භූමිකාව විශ්ලේෂණය කිරීම හේතුවාදීය.

පසුගිය දශක කිහිපය තුළ අමෙරිකන් සමාජ විද්‍යා සම්ප‍්‍රදාය ජනප‍්‍රිය සංගීතයේ වාග් සම්ප‍්‍රදායයන් පිළිබඳ අධ්‍යයනය කළ හැකිව තිබුණත් ගීත නිෂ්පාදනය සහ එහි ආර්ථික සාධක පිළිබඳ අවධානය ප‍්‍රබල කොට තිබේ. මේ අනුව සංගීතය පිළිබඳ සමාජ විද්‍යාත්මකව ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් අදාළ ක්‍ෂේත‍්‍රය පිළිබඳ නව දැනුමක් හා අවබෝධයක් ගොඩ නගා ගත හැකිය. නව සමාජ විද්‍යාවේ (Modern Sociology)   සංගීතය පිළිබඳ සමාජ කියවීම ඉතා සංවේදීව ගොඩ නැංවිය යුතු කාලය එළඹ ඇත.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

Adorno, Theodor, (1945). What National Socialism has done to the Arts, Frankfurt, Germany, University of Frankfurt.

Adorno, Theodor, (1945). The Climate for Fascism in Germany, Frankfurt, Germany, University of Frankfurt.

Adorno, Theodor, (1962). Introduction to the Sociology of Music, New York, Seabury press.

Blau, Judith, (1989). The Shape of Culture, New York, Cambridge University press.

Eduard, Hanslick, (1891). The Beautiful in Music, London, Novello, Ewer and Col.

Eisenstadt, Schmuel, (1992). Culture, Religions and Development in North American and Latin American Civilizations, International Social Science Journal 44: 593.

Finnegan, Ruth, (1989). The Hidden Musicians, Cambridge, England, Cambridge University press.

Firth, Simon, (1989). Art into pop. London, Rutledge Press.

Kasler, Dirk. (1988). Max Weber: An Introduction to its Life and Work, New York, Polity press.

Salmen, Walter, (1983). The Social Status of the Professional Musician from the middle Ages to the 19th Century, New York, Pendragon.

Seeger, Charles, (1977). Studies of Musicology1935 – 1975, Berkeley, University of California Press.

Shepherd, John, (1993). “Value and Power in Music, An English Canadian Perspective” In v. Blundell, J. Shepherd (I. Tayloreds), Relocating Cultural Studies, London, Rutledge.

Shank, Barry, (1991). Identity, Community and Post – Modernity, The Rock-N-Roll, Scene in Austin, Tx, Ann, MI, UMI, Dissertation services.

Sterven field, (1984). Communication, Music and Speech about Music, Year Book for Traditional Music, Vol. 1b. pp. 1-18.

Weber Max. (1904). The Protestant Ethics and Sprit of Capitalism, New York, Scribner and Sons.

Recommended For You

About the Author: Editor