වී අලෙවි මණ්ඩලය හෙට සිට වී මිලට ගනී : ඉහළ මිලක් ඕනෑ – ගොවි සංවිධාන

2018/19 මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා හෙට (17) සිට දිවයින පුරා වී ගබඩා විවෘතව තැබෙන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එම කාලය තුළ අවශ්‍ය වුවහොත් වී මිලදී ගැනීමේ ජංගම මධ්‍යස්ථාන ද ඇරඹීමට පියවර ගන්නා බව වී අලෙවි මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරනවා.


හෙට සිට මිලදී ගන්නා වී සහල් බවට පත් කිරීමේ ක‍්‍රියාවලිය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ද මේ වන විට සකස් කොට ඇති බව සඳහන් කරන වී අලෙවි මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරන්නේ එමගින් පාරිභෝගික ජනතාවට වැඩි සහනයක් ලබා දීමට හැකියාව ලැබෙන බවයි.

2015 දී දුන් මිල යළි ඕනෑ – නාමල් කරුණාරත්න

වී අලෙවි මණ්ඩලය දිවයින පුරා වී මිලදී ගැනීමට පියවර ගනිද්දී වී සඳහා ඉහළ මිලක් ඉල්ලා අපේ‍්‍රල් මාසයෙන් පසු දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීමට තීරණය කර ඇතැයි ලංකා ජාතික ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ‘ලංකා ඊ ප්‍රෙස්’ සමග පැවසුවේය.

‘‘2012 වසරේදී රුපියල් 32 -35 ගණන්වල තිබූ වී කිලෝවක මිල 2013 දී රුපියල් 38-41 අතර වුණා. 2015 දී බලයට පත් වූ වත්මන් ආණ්ඩුව වී මිල රුපියල් 50-55 දක්වා වැඩි කළා. ඒත් ඒ මිල 2016දී රුපියල් 38-41 දක්වා පහත හෙළුවා. ඒ අනුව මේ වන විට වී මිල තිබෙන්නේ කිලෝවක් සඳහා රුපියල් 38-41ක් වැනි මිලක්. මේ තත්ත්වය තුළ 2015 දී ලබා දුන් රුපියල් 50ක මිල නැවත දිනා ගැනීම සඳහා කරන අරගලවලදී අපි ගොවි සංවිධානවලට සහාය ලබා දෙනවා.

මේ සම්බන්ධයෙන් ‘ලංකා ඊ ප්‍රෙස්’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ රාජාංගන ශාඛාවේ උප සභාපතිවරයා වන ටෙරන්ස් ගාමිණි මහතා සඳහන් කළේ, නාඩු කිලෝවක් සඳහා රුපියල් 50ක් ද සම්බා කිලෝවක් සඳහා රුපියල් 55ක් ද ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා ගොවි සංවිධාන එක්රැුස් කරගෙන දැවැන්ත උද්ඝෝෂණයක් මැයි මස ආරම්භ වීමට පෙර රට පුරා සංවිධානය කරන බවයි.

Recommended For You

About the Author: Editor