දැවී ගිය ප‍්‍රංශයේ හදවතට යළි පණ දෙන්න මුළු ලෝකයම එක් වෙයි

පසුගිය දා ගිනිගෙන විනාශ වූ ප‍්‍රංශයේ හදවත ලෙස සැලකෙන නෝත‍්‍ර දාම් ආසන දෙව් මැදුර 2024 දී ප‍්‍රංශයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට පෙර පෙර තිබූ පෞරාණික ස්වරූපයටම ප‍්‍රතිසංස්කරණය කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රොන් අවධාරණය කළත් මෙවැනි ප‍්‍රතිංස්කරණ කටයුතු සම්බන්ධයෙන් ප‍්‍රවීන බි‍්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයෙකු පවසන්නේ පුහුණු ශිල්පීන් සහ සම්පත් නොමැති නිසා එය යළි ප‍්‍රතිසංස්කරණය කිරීම සැබෑ අභියෝගයක් වනු ඇති බවයි.

ගින්නෙන් විනාශයට පත් නෝත‍්‍ර දාම් ආසන දෙව් මැඳුරේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ප‍්‍රංශ ජනාධිපතිවරයා සිදු ව ඇති දැවැන්ත විනාශය දැක අතිෂයින් කම්පාවට පත්ව ජනතාව අමතා මෙසේ ප‍්‍රකාශ කළා.

‘‘අපි මේ ආසන දෙව් මැදුර තිබුණාටත් වඩා අලංකාරවත්ව ඉදිකරනවා. මට වුවමනායි එය වසර පහක් තුළ ඉටු කරන්න. ඒ වගේම අපිට ඒ දේ කරන්න පුළුවන්. මෙය ජාතික වගකීමක් වශයෙන් සලකා අපි සියලූ දෙනාම එකට එක්ව එයට උර දෙමු’’ ජනපතිවරයා ජනතාවට ආයාචනා කරමින් කිව්වා.

ජනපති එමානුවල්ට සේම මුළු ලෝකයම බලාසිටින්නේ මේ අසිරිමත් ලෝක උරුමය යළි තිබූ ආකාරයෙන්ම නැවත දැක ගන්නයි. වාර්ෂිකව එය නැරඹීමට පැමිණෙන මිලියන 20කට ආසන්න බැතිමතුන්ගේ පමණක් නොව මුළු ලෝකයේම කැමැත්ත, බලාපොරොත්තුව වන්නේ එයයි.

එහෙත් ඒ සිහිනය ඒ ආකාරයෙන්ම සැබෑ වේදැයි ජනතාව අතර කෙසේ වෙතත් මෙවැනි පෞරාණික ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණය සඳහා නම් දැරූ විශේෂඥයින් අතර කුකුසක් තිබෙනවා.

මේ ගැන අදහස් දැක් වූ, 1992දී ගින්නෙන් විනාශයට පත් බි‍්‍රතාන්‍යයේ වින්ඞ්සර් මන්දිරය ප‍්‍රතිසංස්කරණය එක් වූ කණ්ඩායමේ සිටි, බි‍්‍රතාන්‍ය ජාතික ප‍්‍රවීන ගෘහ නිර්මාණ ශිල්පයෙක් විදෙස් මාධ්‍ය හමුවේ මෙසේ කියා තිබුණා.

‘‘ප‍්‍රංශ ජනපතිවරයා කියන ආකාරයට මේ දෙව් මැදුර වසර පහක් වැනි කෙටි කාලයක් තුළ යළි තිබූ ආකාරයෙන්ම ප‍්‍රතිසංස්කරණය කළ හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. ඒ සඳහා ජයගත යුතු අභියෝග වගේම මුහුණ දිය යුතු දුෂ්කරතා රැුසක් තිබෙනවා. මේ තරම් ගල්, මේ තරම් ලී ගොඩක් එක්ක වැඩ කරන්න පුළුවන් තරම් දක්ෂ පුහුණු ශිල්පීන් අද ඉන්නවාද ? යන්න ප‍්‍රශ්නයක්. ඒ වගේම තමයි මේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය දැවැන්ත වීදුරු වගේම වසර 100කටත් වඩා පැරණි ඕක් ලී තොගය සොයා ගැනීමත් දැවැන්ත අභියෝගයක්. අද එතරම් පැරණි ඕක් ගස් මුළු යුරෝපයේ තියා මුළු ලෝකයේම නැහැ’’ ඔහු හැඟුම්බරව පවසනවා.

මේ අතර ගිනි ගැනීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ඒ පිළිබඳ විශේෂඥයින් 50 දෙනකුගෙන් යුත් කමිටුවක් මේ වන විට පත්කර තිබෙනවා. ඔවුන් විසින් නොබෝ දිනකින් අදාළ ගින්නට හේතුව සොයා ගනු ඇතැයි ප‍්‍රංශ බලධාරීන් විශ්වාස කරනවා.

මේ සමග ප‍්‍රංශ ජනමාධ්‍ය තුළ කිසියම් ගැටලලුවක් ද තිබෙනවා. ඒ ගින්න ඇතිවන අවස්ථාව වන විටත් එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් තිබුණා. ඒ සඳහා ඉදිකළ අට්ටාල පවා තිබුණා.

ගින්න ඇති වූ බවට මුල්ම අනතුරු ඇඟයීමේ සංඥාව නිකුත් වී තිබෙන්නේ පස්වරු 6.20කට පමණ බව මේ වන විට හෙළිකර ගෙන තිබෙනවා. එහෙත් එම සංඥාව නිකුත් වී විනාඩි 23ක් ගත වුවත් ගින්න සිදු වූ ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වී ඇතැයි සඳහන්.

මේ අතර සේවකයින් සහ ආරක්ෂක අංශ ගින්න සිදු වූ ස්ථානය සොයා ගැනීමට නොහැකිව සිටිද්දී දෙවැනි අනතුරු ඇඟයීමේ සංඥාව නිකුත් වී තිබෙනවා. ඒ පස්වරු 6.43ට. ඒ වන විට වහළයේ අට්ටාලය ගිනි ගනිමින් තිබූ බවයි මේ පිළිබඳ නිකුත් වූ අලුත්ම වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් අවසානයේ ගින්න වේගයෙන් පැතිරී ගිය අතර ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන භටයින් 400ක් එක්ව තිබෙනවා. එයින් එක් ගිනි නිවන භටයෙක් අනතුරට පත්ව තිබෙන අතර ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට පැය 10කට ආස්නන කාලයක් ගත වී තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වන බලධාරීන් සඳහන් කරන්නේ තවත් විනාඩි 30ක් පමා වුණා නම් මුළු දේවස්ථානයම විනාශයට පත්ව සුන්බුන් ගොඩක් පමණක් වනු ඇති බවයි.

නෝත‍්‍ර දාම් දේවස්ථානයට ගින්නෙන් සිදු වූ හානියෙන් කම්පනයට පත් ජනතාව සේම ලොව පුරා සිටින ධන කුවේරයින් මේ වන විටත් දේවස්ථානය යළි ගොඩනැගීම සඳහා අවශ්‍ය ධනය පරිත්‍යාග කර තිබෙනවා. ප‍්‍රංශ මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඊයේ දිනය වන විට ඒ සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 700ක් එක් වී තිබුණා. එයින් මිලියන 300ක්ම ප‍්‍රංශ ධනකුවේරයින් දෙදෙනකු විසින් ලබා දී තිබුණා.

නෝත‍්‍ර දාම් දෙව් මැදුර ගැන ඉතිහායෙන්…

වසර 850කට වඩා පැරණි නෝත‍්‍ර දාම් දේවස්ථානය ප‍්‍රංශයේ ජාතික උරුමයක් වන අතර යුනෙස්කෝ සංවිධානය විසින් එය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

මෙම දේවස්ථානය ඉදිකිරීම් ආරම්භ කර තිබෙන්නේ 7 වන ලූවිස් රජුගේ කාලයේ, එනම් ක‍්‍රි.ව 1163දීයි. එය නිම කිරීම සඳහා වසර 200කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. ප‍්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයේ අති උත්කෘෂ්ඨ නිර්මාණයක් වන මෙහි ‘‘ගොතික්’’ ගෘහ නිර්මාණය කලාව දැකිය හැකියි.

නෝත‍්‍ර දාම් දේවස්ථානය කතෝලික බැතිමතුන් අතර සුවිශේෂ ස්ථානයක් බවට පත්ව තිබෙන්නේ එහි ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට රැුගෙන යන විට හිස ලා සිටි ‘කටු ඔටුන්න’’ තැන්පත් කර ඇති නිසයි. ක‍්‍රි.ව 1238දී 9 වන ලූවිස් රජු විසින් එය රැුගෙන විත් නෝත‍්‍ර දාම් දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා. මේ සමග ඒ අවස්ථාවේ රජු පැළඳ සිටි රාජකීය කබාය ද එහි තැන්පත් කර තිබෙනවා. ඒ වගේම ජේසුස් වහන්සේට කුරුසියේ ඇණ ගැසූ එක් ඇණයක් ද එහි සුරක්ෂිතව තැන්පත් කර ඇති බවට මතයක් ජනතාව අතර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය දා ඇති වූ ගින්නෙන් එහි තැන්පත් කර තිබූ මිල කළ නොහැකි පුරාවස්තුවලට කිසිදු හානියක් සිදුව නැති බව ප‍්‍රංශ බලධාරීන් අවධාරණය කරනවා. ඔවුන් එය සලකන්නේ දේවාශිර්වාදයෙන් සිදු වූ දෙයක් ලෙසයි.

ප‍්‍රංශයේ හදවත ලෙස සැලකෙන මේ ප්‍රෞඩ ලෝක උරුමය ගින්නෙන් දැවී යන ආකාරය සේන් නදියේ පාළම මතට වී ප‍්‍රංශ ජනතාව දැවෙන හදවතින් යුතුව බලා සිටි ආකාරය අතිෂයින් සංවේදී දර්ශනයක් වුණා. ඔවුන් පසුගිය දින කිහිපයම ගීතිකා ගයමින් සිදු වූ විනාශය ගැන කම්පා වුණා.

සටහන
රුවන් ලොකුවිතානගේ

Recommended For You

About the Author: Editor