Voice of දියවන්නා: සතියේ දේශපාලනය- ශ‍්‍රීලපොපෙ

ඊළඟ අවුරුද්ද සමරන්නේ ආණ්ඩුවේ සිට – මහින්ද

පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබුණේ ගෝඨාභය සම්බන්ධයෙනි.

පුද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාව බලා ගිය ගෝඨා සංචාරය අතරතුර දී සිය ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමේ කටයුතුවල ද නියැ‍ළුණේය. ඒ අතරතුර මෙරට දේශපාලන ක්ෂේත්‍රය ඇවිලී ගියේ ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ දී නඩු දෙකක් පැවරීමත් සමඟය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය සහ දෙමළ ඩයස්පෝරා සාමාජිකයකු විසින් මෙම නඩු දෙක පවරා තිබුණු අතර ඊට ඇමෙරිකාවේ මෙරට කොන්සල් කාර්යාලයේ සහාය ද ලැබී තිබුණු බවට ආරංචි පැතිරුණු අතර ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බියෙන් ආණ්ඩුව මෙවැනි කටයුතුවල නියැලෙන බවටය.

කෙසේ වෙතත් මෙම නඩු සහ ගෝඨාගේ පුරවැසිභාවය අහෝසි කිරීමේ කටයුතු අතර සම්බන්ධයක් නොමැති බවට නීති විශාරදයන් පෙන්වා දී තිබුණි. මේ සියලු අලකංචි අතර සිය කටයුතු සාර්ථකව නිම කළ ගෝඨාභය අප්‍රේල් 12 වැනි දා මෙරටට යළි පැමිණීමට නියමිතව තිබුණි.

ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයක්ව සිටින ගෝඨාභය මෙරටට පැමිණෙන අවස්ථාවේදී ඔහු පිළිගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීන්දුවකට එළඹ තිබුණි. සමාජ මාධ්‍ය ජාලා හරහා ද ගෝඨාභය පිළිගැන්මට ගුවන්තොටට පැමිණෙන ලෙසට ආරාධනා හුවමාරු වෙමින් තිබුණේය.

ඒකාබද්ධ විපක්ෂය එසේ සූදානම් වෙමින් සිටිය ද ආණ්ඩුව සැරසෙමින් සිටියේ ඊට වඩා වෙනස් වැඩපිළිවෙළකටය. ඒ අනුව ගෝඨාභය පිළිගැනීමේ උත්සවය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් විවිධ ක්‍රියාමාර්ග ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ගැනෙමින් තිබුණේ කාටත් හොර රහසේය. එම ගැටලු සියල්ල විපක්ෂ නායක කාර්යාලයේ මාර්ගයෙන් විසඳා ගැනීමට 11 වැනි දා වන විට හැකි විය.

12 වැනි දා උදෑසනම ප්‍රසන්නට මහින්දගෙන් දුරකථන ඇමතුමක් ආවේය.

“ප්‍රසන්න කොහෙද ඉන්නේ? මහින්ද ඇසුවේය.

“සර් මං එයාපෝර්ට් එකට යන්නයි හදන්නේ” ප්‍රසන්න උත්තර දුන්නේය.

“ඒක හොඳයි ප්‍රසන්න. ඔයා ගිහින් එතන වැඩ ටික බලලා කරන්න. විශේෂයෙන් ආරක්ෂාව ගැනත් බලන්න ඕනේ. ‍ගෝඨාභය කොළඹට එනකම් ඔයාට බාරයි” මහින්ද උපදෙස් දුන්නේය.

“හරි සර්. මං ඒවා බලාගන්නම්. ඔය හැමතැනම ඉන්නේ අපේ කොල්ලෝ. ඒ හින්දා සර් බයවෙන්න එපා” කී ප්‍රසන්න ගුවන්තොට බලා පිටත්ව ගියේය.

පෙරදා සවස් වන විට ගැටලු විසැදී තිබුණත් ගුවන්තොටට ගිය මන්ත්‍රීවරුන්ට මුහුණ දීමට සිදුව තිබුණේ විවිධාකාර අකරතැබ්බයන්ටය. ගෝඨාභයට වී. අයි. පී පහසුකම් ලබා දිය නොහැකි බව ගුවන්තොට බලධාරීන් පවසා තිබුණු නිසා තීන්දු කර තිබුණේ සී. අයි. පී දොරටුවෙන් (commercial important person) පිටවීමටය.

එදින උදෑසන වී. අයි. පී දොරටුවෙන් ඇතුළු වූ මන්ත්‍රීවරුන්ට සී. අයි. පී දොරටුව වෙත යාම අවහිර කර තිබුණේය. එසේම පැමිණ සිටි ආධාරකරුවන්ට ද සිටගෙන සිටින්නටවත් තැනක් නොතිබීම නිසා ගැටලු රැසක් උද්ගතව තිබුණේය. ප්‍රසන්න ද සිටියේ ගුවන්තොටට පැමිණෙන අතරමඟ නිසා ඩලස් වහාම දුරකථන ඇමතුමක් ගත්තේය.

“මල්ලි කොහෙද ඉන්නේ? මෙතැන අවුල් ගොඩක්” ඩලස් පැවසීය.

“මම මේ ළඟ ඉන්නේ” කී ප්‍රසන්න දුරකථනය විසන්ධි කර වහාම ගුවන්තොටට ගියේය. ගුවන්තොටේ සේවයේ නියුතු සිය ආධාරකරුවන් සම්බන්ධ කර ගත් ප්‍රසන්න සියලු ගැටලු ක්ෂණයකින් විසඳා දැමුවේය. ඒ අනුව මන්ත්‍රීවරුන්ට සහ ආධාරකරුවන්ට බාධාවකින් තොරව ගමන් කිරීමටත් උත්සවයේ ආගමික කටයුතු සඳහා වැඩම කළ මහා සංඝරත්නයට එම කටයුතු ඉටු කරගැනීමටත් අවස්ථාව සැලසිණි.

මේ අතර ඩලස් තවත් යෝජනාවක් කළේය. ඔහු කීවේ ගෝඨාභය පිළිගන්නට නෙළුම් පොහොට්ටු තිබුණොත් හොඳයි කියාය. ඒ වන විට ගෝඨාභය එන්නට තිබුණේ පැය භාගයකටත් අඩු කාලයකි. වහාම ප්‍රසන්න සිය ආධාරකරුවන් දෙදෙනකු මෝටර් බයිසිකලයකින් ගලේ දේවාලය වෙත පිටත් කර යවා නෙළුම් පොහොට්ටු ගෙන්වා දුන්නේය.

සියලු ඉල්ලීම් ඉටු කරමින් මනාව උත්සවය සංවිධාන කළ ප්‍රසන්නට ඩලස් පැවසුවේ “අපේ ආණ්ඩුවක් ආපු කාලයක මෙයා තමයි ගු‍වන්තොටුපළ ඇමැති. අපි අද කොළඹ ගිය ගමන් මහින්ද මහත්තයාට ඒ ඉල්ලීම කරනවා” කියාය. ඒ අසළ සිටි ගුවන්තොටුපලේ සේවයේ නියතු ප්‍රසන්නගේ ආධාරකරුවකු ඩලස්ට කීවේ “මොන ආණ්ඩුව ආවත් මොන ඇමැති හිටියත් අපේ ඇමැති ප්‍රසන්න මහත්තයාම තමයි” යනුවෙනි.

ඩලස්, නාමල්, පියංකර, ප්‍රසන්න, රමේෂ් ඇතුළු පිරිස නියමිත වේලාවට ගුවන්තොටුපොළින් ඇතුළු වී ගුවන් යානයටම ගොස් ගෝඨාභය පිළිගත්හ. අනතුරුව ගෝඨාභය ආධාරකරුවන් වෙත ඇවිදගෙන එන අතරතුරේ ප්‍රසන්නට කීවේ “ඔයා මං ළඟින්ම ඉන්න” කියාය. ඒ අනුව ප්‍රසන්න දස මහා යෝධයකු මෙන් ගෝඨාභය අසළටම වී සිටියේය.

ගෝඨාභය පිළිගැනීමේ උත්සවය අති සාර්ථකව පැවැත්වුණු අතර ගුවන්තොටුපලේදී ගෝඨාභයට ඉහළ පිළිගැනීමක් ලැබෙන අතරතුරම පූර්ණ ආරක්ෂාවකුත් ලැබෙන අන්දමට සියලු වැඩසටහන මෙහෙයවීමේ වගකීම ප්‍රසන්න විසින් මැනවින් ඉටු කරන ලදී.

ගෝඨාභය ඇතුළු පිරිස ඔහුගේ කොළඹ නිවසට පැමිණි අතර ඒ වන විට ප්‍රසන්න සිය නිවස බලා පිටත්ව ගොස් තිබුණි. ගෝඨාභය ඩලස්ගෙන් ඇසුවේ කෝ ප්‍රසන්න කියාය. වැඩේ තිතට කරලා මිනිහා ගෙදර ගිහින් ඩලස් කීවේ සිනාසෙමිනි.

“ප්‍රසන්න නොහිටින්න අද අපිට ඔබතුමා පිළිගන්න වෙන්නේ පාරේ ඉඳන්. ප්‍රසන්න එනකම් අපි හිටියේ අසරණ වෙලා. ප්‍රසන්න ආවා විතරයි එහෙට ගියා මෙහෙට ගියා සේරම සෙට්ල් ඩවුන් කරලා උත්සවය ලැහැස්ති කළා. අපි මැච් එක ප්ලෑන් කළාට ඒකේ මෑන් ඔෆ් ද මැච් වුණේ ප්‍රසන්න” ඩලස් පැවසීය.

“ඒක ඇත්ත. ප්‍රසන්න ළඟ ඉන්න කොට මටත් ‍ලොකු හයියක් ආවා” ගෝඨාභය ද පැවසීය. අනතුරුව මන්ත්‍රීවරුන්ගේ කතාබහට ලක් වුණේ ගෝඨාභය පිළිගැනීමේ මෙහෙයුම සහ එහි වීරයා වූ ප්‍රසන්න ගැනය. ඩලස් දුරකථනයෙන් අමතා ප්‍රසන්නට ස්තුති කරන්නට ද අමතක කළේ නැත.

සිකුරාදා ප්‍රසන්නට හිතවත් මාධ්‍යවේදියකු දුරකථන ඇමතුමක් දුන්නේ ඒ වන විට සමාජයේ පැතිර යමින් තිබුණු ආරංචියක් සම්බන්ධයෙනි. ආරංචිය වූයේ මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් සමාගමට 14 වැනි දා රාත්‍රියේ සුවිශේෂී පුවතක් පළ කරන්නට සූදානමින් සිටින ලෙසට ඉහළ තැනකින් උපදෙස් ලැබී ඇති බවය.

මාධ්‍යවේදියා කීවේ එදින පළාත් සභා මැතිවරණයට දින නියම කිරීම හෝ අගමැතිවරයා වෙනස් කර නැවතත් ජාතික ආණ්ඩුවකට යාමේ සූදානම් ඇති බවය. එසේ වුවත් වැඩි ඉඩක් ඇත්තේ පළාත් සභා මැතිවරනය පැවැත්වීම සම්බන්ධයෙන් බවත් මාධ්‍යවේදියා ප්‍රසන්නට පැවසීය. එදින ගම්පහ අවමඟුල් උළෙලක දී මුණගැසුණු නාමල්ට ප්‍රසන්න මෙම ආරංචිය දුන්නේය.

මේ අතර පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැති අවසන් දිනයේ මෛත්‍රි සහ සජිත් අතර විශේෂ හමුවක් පැයක කාලයක් තිස්සේ පැවැති බවටද අරංචි පැතිර යමින් තිබිණි.

ඒ පිළිබදවද නාමල් හා ප්‍රසන්න අතර කථාබහක් සිදුවුයේ අවට සිටි අයට නොඇසෙන්නටය.

“අද ජනාධිපති කාර්යාලයෙන් කෝල් එකක් ආවද? නාමල් කථාබහ අතරතුර ඇසුවේය.

“ඔව් ඔව් මොකක්ද අවුරුදු උත්සවයක් ගැන කිව්වේ” ප්‍රසන්න පැවසීය.

“මටත් කෝල් කළා. ජනාධිපතිවරයා විශේෂයෙන් මට මතක් කරන්න කිව්වලු. මම කතා කරපු එක්කෙනාට කිව්වා එතුමටත් කියන්න මගේ උපන් දිනෙත් දවස් කීපයකට ඉස්සර තිබුණා කියලා. අවුරුදු උත්සවයට විශේෂයෙන් මාව ගෙන්නගන්න හදන කෙනාට ඒකත් මතක තියෙන්න එපැයිනේ” නාමල් කීවේය.

“මේ අවුරුදු නැකත් අස්සේ මොන අවුරුදු උත්සවද? ” ප්‍රසන්න සිනාසුණේය.

“ඒක නම් ඇත්ත. අවුරුද්දට ඉතින් අපි ඉන්නේ ගමේනෙ” නාමල් ද පැවසීය.

“ආණ්ඩුව මොනවාද කරන්න හදන්නේ කියලා අපිට හිතෙන හිතෙන දේවල් කොළයක ලියලා තියන්න ඕනේ. එතකොටවත් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්නේ” ප්‍රසන්න පැවසීය.

“මම නම් ලියනවා. හැබැයි හවසට තාත්තිත් එක්ක කතා කළාම මම ලියපු  සේරම විසිකරන්න වෙනවා. මොකද අපි හිතනවට වඩා වෙනස් විදියටයි තාත්ති හිතන්නේ එයා හිතන විදිය ටික දවසක් යනකොට හරියනවා. ” නාමල් පැවසීය.

මේ අතර සිංහල අවුරුද්ද නිමිත්තෙන් මහින්ද මෙවර ගමට ගියේ අලුතෙන් විවෘත කරන ලද බෙලිඅත්ත දුම්රියේ නැගීය. මාතරින් දුම්රියට නැගුණු මහින්ද පිළිගැන්මට සෑම දුම්රිය ස්ථානයකම විශාල පිරිසක් එක්ව සිටියහ. ආගිය කතා කියමින් ගිය මහින්ද ජනතාව සමඟ සුහදව විස්තර ක‍තා කළේය.

15 වැනි දා ප්‍රසන්න අළුයම 4.30ට උඩුගම්පොළ නිවසින් පිටත්ව ගියේ මහින්දට සුබපැතීමටය. අවුරුදු දා කාල්ටන් නිවසේ සිට මැදමුලන බලා ගිය මහින්ද එදින රාත්‍රිය ගත කර තිබුණේ වීරකැටිය වත්තේය. ඒ අනුව ප්‍රසන්න කෙළින්ම ගියේ වීරකැටිය වත්තටය. අනතුරුව මහින්ද ප්‍රසන්නත් කැටුව කාල්ටන් නිවසට ගියේ එදින උදෑසන සිටම ජනතාව එහි පැමිණෙන්නට පටන් ගෙන තිබුණු බැවිනි. උදෑසන අහාරයෙන් පසු ප්‍රසන්න සහ මහින්ද කාල්ටන් නිවසේ වෙනම ස්ථානයක පැයකට ආසන්න කාලයක් කථා බහ කරමින් සිටියේ ඉදිරි දේශපාලන වැඩ පිළිවෙල පිලිබදවය.

පළාත් පාලන මන්ත්‍රී සංසදය සහ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සාමාජිකයෝ පසුගිය සෙනසුරාදා (13) කැවුම්, කොකිස්, කිරිබත් කදමලු බැඳගෙන මහින්දගේ කාල්ටන් නිවසට ගියහ. ඔවුන් එකතු වී අවුරුදු උත්සවයක් ද පැවැත්වූයේ මහින්ද ප්‍රධාන ආරාධිතයා කරගනිමිනි. එදින පැවැත්වුණු සියලු තරග මෙන්ම පිරිනැමුණු ත්‍යාග ද ආණ්ඩුවේ වැඩවලට සම්බන්ධ ඒවා වීම සුවිශේෂී කරුණකි.

එක් තරගයක් වූයේ මහ බැංකුව බිඳීමේ තරගයය. බැලුන් පුපුරවමින් මහ බැංකුව බිඳීමේ තරගය ජයග්‍රහණය කළ ජයග්‍රාහකයාට හිමිවූයේ ‍ලැම්බෝගිනියකි. ලැම්බෝගිනිය මහින්ද අතට පත් කෙරුණේ ආණ්ඩුවට සොයා ගත නොහැකි වූ නාමල්ගේ ලැම්බෝගිනිය හමු වූ බව කියමිනි. රත්තරන් අස්සයාට ඇහැ තැබීමේ තරගයක් ද තිබුණු අතර එහි ජයග්‍රාහකයාට හෙලිකොප්ටරයක් හිමි විය. මහින්ද ජයග්‍රහකයාට සෙල්ලම් හෙලිකොප්ටරට දෙද්දී වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරාල කීවේ මේතමයි මහින්ද මහත්තයගේ ආණ්ඩුව කාලේ නුවර එළියේ රේස් පදින්න නාමල් මහත්තයලා උදේ හවහ ගියායි කියන මේ ආණ්ඩුව හොයාගත්ත හෙලිකොප්ටරය කියාය. මහින්ද ඇතුළු සියල්ලෝ ඊට මහ හඩින් සිනා සුනහ.

තරග අවසානයේ මහින්ද මන්ත්‍රීවරුන්ට කීවේ විපක්ෂයේ සිට සමරන අවසන් අලුත් අවුරුද්ද මෙය බවය. ඊළඟ අවුරුද්ද සමරන්නේ ආණ්ඩුවේ සිට බව කී මහින්ද මෙතෙක් කල් වැඩ කළ ආකාරයටම ඉදිරියටත් වෙහෙස වී වැඩ කරන්නැයි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

මහින්ද පසුගිය අගහරුවාද (16) සවස කතරගම බලා ගියේය. කිරිවෙහෙර හා කතරගම දේවාලය ද වැදපුදා ගත් මහින්ද කෙලින්ම කොළඹ අවේ පසුදින බෙල්ලන්විල රජමහා විහාරයේ පැවැත්වෙන හිසතෙල් ගෑමේ උලෙලට සහභාගීවීමට තිබූ නිසාය.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ නැකත යෙදී තිබුනේ බදාදා පෙ.ව 7.40 ටය. මහින්ද සමග මෙම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

හිසතෙල් ගෑමේ උත්සවයෙන් පසුව හිටපු මහින්ද හා ගෝඨාභය බෙලිඅත්ත රජ මහ විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියන් කීවේ තමන්ට නුවරට සිට කොළඹට එන්නට පැය හතර හමාරක් ගිය බවයි.

” අපි පටන්ගත්ත වැඩ මේ ආණ්ඩුව නැවත්තුවනේ.. අපේ හාමුදුරුවනේ… රට අවුරුදු කිහිපයක් ආපස්සට ගියා…” මහින්ද ඊට උත්තර දෙමින් කීවේය.

” ඒ අවුරුදු කීපය ආපස්සට ඇදීම ආපහු අල්ලගන්න බෑනේ…” ධම්මරතන හිමියන් කීවේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor