
මීට පෙර ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුම් දුන් පරිදි අද සවස 6.00 සිට හෙට පෙ.ව 6.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ මොහොතේ (ප.ව 3.30ට පමණ) දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
මේ සමග රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ සියලූම සමාජ මාධ්‍ය ජාලා ද අවහිර කිරීමට රජය පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේ සැකකරුවන් සොයා ආරක්ෂක අංශ දියත් කර ඇති මෙහෙයුමට ගුවන් හමුදාවේ සහාය ද ලැබී ඇති අතර ගුවන් හමුදා හෙළිකොප්පටර් යානා ද ප්‍රදේශයට පැමිණෙමින් තිබේ.
ආරක්ෂක අංශ පවසන්නේ යුද හමුදාව, විශේෂ කාර්ය බළකාය, ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියේ ඒකාබද්ධ පූර්ණ මෙහෙයුමක් මේ වන විට දෙමටගොඩ ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන බවයි.
මේ වන විට සැකරුවන් 04 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සිටින බවට සැකකරන තෙමහල් ගොඩනැගිල්ල වටා දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇත.
මේ වන විට බෝම්බ නිෂ්ක්‍රීය අංශය ද අදාළ ස්ථානය වෙත පැමිණ ඇතැයි ආරක්ෂක අංශ වාර්තා කරයි.
මේ අතර දෙමටගොඩ පාළමෙන් එහා ප්‍රදේශයට කිසිදු සිවිල් පුරවැසියෙකුට ඇතුළු වීමට අවස්ථාව ලබාදී නැත.
ප්‍රදේශයේ සිවිල් ජනතාවට සහ දේපොළවලට කිසිදු හානියක් සිදු නොවන පරිදි මෙම මෙහෙයුම දියත් කරන බව ආරක්ෂක අංශ වැඩි දුරටත් සඳහන් කරයි.