සැවොම එකට එක්වී මෙම අභියෝගය ද ජයගනිමු – ඇමති චම්පික රණවක

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, රටතුළ ඇතිවී තිබෙන වත්මන් තත්වය පිළිබඳව සිය අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කවුරුත් දන්නවා අපි බොහොම අමාරු කාලයක්, දශක ගණනාවක් තිබුණු ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක්, බොහොම අමාරුවෙන් විසදාගෙන, අවුරුදු 10 ක් විතර කිසිම ගැටුමකින් තොරව පිපිරීම් වලින් තොරව අපි ගමන් කළා. අද කතෝලික ජනතාවගේ ඉතාමත් වැදගත් ආගමික දිනයක්. එනම් පාස්කු ඉරිදා. විශේෂයෙන්ම ඔවුන් විශ්වාස කරන පරිදි ජෙසුස් වහන්සේ මරණයෙන් උත්තාපනය වෙච්ච දවස. මේ රටේ විවිද ආගම්, විවිද ඇදහිලි විවිද දර්ශන, මෙන්ම ආගම් එපා කියන අයත් ඉන්නවා. ඉතින් මේවා ගැන සංවාද ඇතිකර ගැනීම බොහොම හොඳයි. අපි දන්නවා මේ රටේ තිබුණා පංච මහා වාදයක්. අපේ බෞද්ධ උගත් ස්වාමින් වහන්සේලා, ඒ වගේම කිතුනු පුජකතුමන්ලාත් අතර. ඒ පංච මහා වාදයට දහස් ගණනක් සහභාගී වුණා. හැබැයි ඒ ආගම් ගැන කතා කරපු වාද වල කවුරුත් ගුටි ගහ ගත්තේ නෑ. මරාගත්තේ නෑ, ගැටුම් ඇති වුණේ නෑ. දහස් ගණන් මිනිස්සු සම්භන්ද වෙලා මෙවැනි ආගමික විවාදයක් පවත්වලා ඒ ඒ ආගම් වල උත්තරීතරභාවය ගැන ගැටුමකින් තොරව මේක අවසන් වෙච්ච එක ගැන දැනගෙන තමා ඕල්කට්තුමා ඇතුළු පිරිස ලංකාවට ආවේ මේ අරුමය පැහැදිළි කර ගන්න.

නමුත් අද අපිට පේනවා ලෝකයේ හුගාක් රටවල් විශේෂයෙන්ම බටහිර රටවල් දේවස්ථාන වලට පහර දෙනවා, තුවක්කු අරගෙන ගිහිල්ලා පල්ලිවල විවිද ඝාතන කරනවා නොයෙක් දේවල් වෙනවා. දැන් ඒ සංස්කෘතිය ලංකාවටත් පැමිණිලාද කියලා අපිට සැකයක් එනවා. කෙසේ නමුත් අපි එකක් මතක තියා ගන්න ඕනේ ආගම් ගැන අපිට දාර්ශනික කතා බහ, අපි අදහන්නේ නැති ආගම් පිළිබඳව තිබෙන අදහස් අපිට වාද විවාද කරන්න පුළුවන්. ඒ වාද විවාද වලට නවතින තැනක් තියෙනවා. ඒක තමා වෛරය, ද්වේශය පළ කරන අයුරින් ආගම් කර්තෘවරුන්ට නිගා කිරීම, ආගමික වෛරය පැතිරවීම. අනික් ආගම් හෙළා දැකලා කටයුතු කිරීම. ඒක තමා පළවෙනි සීමාව. දෙවැනි එක බොහොම භයානක එකක් ඒක තමා ලේ වැගිරීම. ආගමික නාමයෙන් කරන ලේ වැගිරීම්.

ඒ නිසා අපි මේවා දුටු තැනම පරාජය කරන්න ඕනේ. මේ රටේ අපේ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න 26,000 වැඩිය අපේ දරුවෝ ජිවිත පූජා කළා. තවත් දහස් ගණනක් අතපය අහිමි කර ගත්තා. නැවත අපිට ඒ යුගයට යන්න බෑ. ඒ නිසා අපි මේවා මුලිනුපුටා දමන්න ඕනේ මුල් තැනදීම. විශේෂයෙන්ම අපි මේ ගැන අපේ කතෝලික ජනතාවට ඒ දේවස්ථාන වල කටයුතු කරපු පිරිස් වලට අපගේ ශෝකය පළ කිරීමට මේක අවස්ථාවක් කර ගන්නවා.

ඒ වගේම මේ රටේ ඇතිවෙලා තිබුණු සහජීවනය නැති කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවා නම් ඒක සහමුලින්ම නැතිකර දමන්න රජය කැපවෙලා ඉන්නවා. ඒ සඳහා රජය දැඩිව, සෘජුව ඒ නීතිය හා සාමය ක‍්‍රියාත්මක කරන්නට, සාමය නැවත ළඟා කර ගන්නට කටයුතු කරනවා. මේවායේ අක්මුල් කොහෙද තියෙන්නේ, කවුද මේවා පිටිපස්සේ ඉන්නේ, මොනවද ඒ අයගේ අරමුණු, ඒ සෑම ක‍්‍රියාවලියක්ම පරාජය කරන්න අපි සියලූ දෙනාම කැපවිය යුතු යැයි පැවසිය.

Recommended For You

About the Author: Editor