කෙටි කාලයකට හෝ හදිසි නීතිය ඕනෑ – යුධ හමුදාපති

කෙටි කාලයකට හෝ හදිසි නීතිය පනවනවා නම් තමා කැමැති බව යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

අද මැල්කම් රංජිත් කාදිනල්තුමා බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී ජනමාධ්‍ය හමුවේ කරුණු දක්වමින් යුධ හමුදාපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ යුධ හමුදාපතිවරයා මෙසේ ද ප‍්‍රකාශ කළේය.

‘‘තවමත් ශ‍්‍රී ලංකා යුධ හමුදාවට මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීමට අවශ්‍ය නීති නැහැ. උදාහරණයක් ලෙස පොලිස් නිලධාරියෙක් නොමැතිව අත්අඩංගුවට ගැනීමක් කිරීම, සෝදිසි කිරීමක් කිරීම, ප‍්‍රශ්න කිරීමක් කිරීම ආදිය කරන්න යුධ හමුදාවට බලය අවශ්‍යයි. ඒ වගේම මේ සිදුවීම් පිටුපස ඇති ජාලය අපි හඳුනා ගෙන තිබෙනවා. එය මර්ධනය කිරීම සඳහා පියවර ගත යුතු’’ යැයි ද යුධ හමුදාපතිවරයා කීවේය.

මෙහිදී ජනමාධ්‍යවේදියෙකු ප‍්‍රශ්න කළේ මෙම ප‍්‍රහාර සම්බන්ධ බුද්ධිමය තොරතුරු යුධ හමුදාවට ද ලැබී තිබේද යන්නයි. එයට පිළිතුරු දෙමින් යුධ හමුදාපතිවරයා කියා සිටියේ බුද්ධිමය තොරතුරුවල සැලකිය යුතු අඩුපාඩුවක් සිදුව ඇති බවයි.

‘‘බුද්ධිමය තොරතුරුවල පැහැදිලි අඩුපාඩුවක් මෙහිදී සිදුව තිබෙනවා. සාකච්ඡ කළ දේ ප‍්‍රායෝගිකව භූමියේදී සිදුවෙලා නැහැ. මෙවැනි දේ ඒකාබද්ධව කළ යුතුයි. තනි තනිව බුද්ධි අංශ මෙහෙයවනවාට වඩා ඒකාබද්ධව මෙය කළ යුතුයි. මම කැමතියි කෙටි කාලයකට හරි හදිසි නීතිය යොදවනවා නම්. එකකොට තමයි බලතල තිබෙන්නේ ’’ යැයි ද යුධ හමුදාපතිවරයා ප‍්‍රකාශ කළේය.

මෙහිදී යළිත් ජනමාධ්‍යවේදියෙක් ශ‍්‍රී ලංකා පොලීසියට ලැබුණාය කියන බුද්ධි අංශ තොරතුරු ගැන යුධ හමුදාපතිවරයාගෙන් විමසුවේය.

‘‘මේ සිදුවීම පිළිබඳව ශ‍්‍රී ලංකා යුධ හමුදාව දැනුවත් වෙලා නැහැ. නමුත් ශ‍්‍රී ලංකා පොලිසිය දැනුවත් වෙලා තිබෙන බව වාර්තා වෙනවා. එකට එක් වී කටයුතු නොකළ නිසා ඇති වූ යම් යම් අඩුපාඩු තිබෙනවා’’ යැයි ද මහේෂ් සේනානායක මහතා කියා සිටියේය.

Recommended For You

About the Author: Editor