පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන කල් තියා දැනුම්දී තිබුණත් ජාතික ආරක්ෂාව භාර ප‍්‍රබලයින් එය නොතකා හැරලා

ඊය් (21) රට පුරා ස්ථාන 07ක සිදු වූ අන්තවාදී ප‍්‍රහාර ගැන බුද්ධි අංශ විසින් කල් තියා දැනුම් දී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවීම ගැටලූකාරී බවත් දේශපාලන අංශ සහ පුරවැසියන් සඳහන් කරයි.

2019 ජනවාරි 19 වැනිදා වනාතවිල්ලූව ප‍්‍රදේශයෙන් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අවස්ථාව

ඔවුන් සඳහන් කරන්නේ අදාළ බුද්ධි අංශ වාර්තා අනුව කටයුතු කළා නම් ඊයේ සිදු වූ දැවැන්ත ප‍්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආරක්ෂක අංශ කියා සිටියේ, පසුගිය 2019 ජනවාරි 19 වැනිදා ආරක්ෂක අංශ විසින් වනාතවිල්ලූව ප‍්‍රදේශයෙන් කිලෝ සිය ගණනක අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් නමුත් අදාළ අංශ එයින් පසුව එකී සිදුවීම පිළිබඳව කිසිඳු සොයා බැලීමක් නොකළ බවයි. මාවනැල්ල බුදු පිළිම කඩා බිඳ දැමීමේ සිදුවීමට සැකකළ පුද්ගයින් රැඳී සිටියේ ද මෙම ප‍්‍රදේශයේ බව අමතක නොකළ යුතු බව ද ඔවුහු වැඩි දුරටත් සඳහන් කරති.

මේ සමග පසුගිය අපේ‍්‍රල් මස 16 වැනිදා කාත්තන්කුඩි ප‍්‍රදේශයේ දී සිදු ව මෝටර් බයිසිකල් පිපිරීම ගැන ද අදාළ අංශ මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබූ නමුත් එම පිපිරීම ‘‘අකුණක් ගසා සිදු වූ පිපිරීමක් ’’ ලෙස ලඝු කළ බවත්, ඇත්ත වශයෙන් ම එහිදී සිදු වූයේ මෙම මෝටර් බයිසිකලය තුළ පුපුරණ ද්‍රව්‍ය අටවා තිබීම නිසා සිදු වූ පිපිරීමක් බවට පැහැදිලි සැකයක් ඇති බවත් ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ අන්තවාදීන් ඉතාම පැහැදිලි සූදානමක් පිළිබඳ පූර්ව අනතුරු ඇගයීම් සේම හඳුනා ගැනීම් රැුසක් ද පසුගිය කාලය තුළ අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ආරක්ෂක අංශවල ඇසට ලක් වූ බවයි.

ඊයේ ජනමාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේ, රාජ්‍ය බුද්ධි අංශ විසින් යම් සිදුවීමක් විය හැකි බවට වාර්තා ලබාදී තිබූ බවයි. එම වාර්තාවලට අනුව අවශ්‍ය කටයුතු සහ යම් පියවරක් ගනිමින් සිටි බව ද ආරක්ෂක ලේකම්වරයා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී චෝදනා කළේ, මෙවැනි ප‍්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් ලැබුණු බව කියන බුද්ධි අංශ වාර්තා ගැන අදාළ අංශ විසින් තමාව දැනුවත් නොකළ බවයි. මෙහිදී අගමැතිවරයා කියා සිටියේ මෙවැනි ප‍්‍රහාරයක් ගැන කල් තියා දැනුම්දීමක් කර තිබුණා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බවයි.

මේ අතර ඇමැති මනෝ ගනේෂන් ද මෙවැනි ප‍්‍රහාරයක් ගැන කලින් දැනුම් දීමක් කර තිබූ බව ඊයේ තම ට්වීටර් ගිනුමේ සටහන් කර තිබුණා. ‘‘මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් විසින් කොළඹදී දේශපාලනඥයින් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බව මීට සතියකට පමණ පෙර තම ඇමැකි ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ඔහුන්ගේ කොට්ඨාශයේ ප‍්‍රධානීන් විසින් දැනුම් දී තිබූ බව’’ මනෝ ගනේෂන් මහතා තම ට්වීටර් පණිවුඩයේ සඳහන් කර තිබුණා.

මේ අතර වඩාත් බරපතළ ප‍්‍රකාශය කළේ ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා විසිනුයි. ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වූ ඇමැති හරීන් කියා සිටියේ, පසුගිය 21 වැනි දා රාත‍්‍රියේ දී තමාට දුරකථන ඇමැතුමක් ලබා දෙමින් කොළඹට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් තිබෙන හෙයින් හෙට (22) පල්ලියට නොයන ලෙස දැනුම් දුන් බවයි. තම පියාගෙන් දුරකථන ඇමැතුම ලැබෙන විට තමා සිටියේ බදුල්ලේ බව ද අද (21) කොළඹට පැමිණ තම පියා මුණ ගැසීමට ගිය අවස්ථාවේ දී මෙම ප‍්‍රහාරය සම්බන්ධ තොරතුරු ලැබුණේ කෙසේද ? යන්න විමසූ විට ඔහු ප‍්‍රකාශ කර සිටියේ ‘‘ඒ පිළිබඳව බුද්ධි අංශ විසින් කල් තියා දැනුම් දී තිබූ බවට තමන්ට තොරතුරු ලැබුණු බවයි’’ හරීන් මධ්‍ය හමුවේදී කියා සිටියා.

මෙම ප‍්‍රහාරය හෝ මීට සමාන ප‍්‍රහාරයක් හෝ එල්ල කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා හැර අනෙක් ඇමැතිවරු (උදාහරණ වශයෙන් මනෝ ගනේෂන්) දැනුවත්ව සිටි බවත්, එය හරීන් ප‍්‍රනාන්දු ඇමැතිවරයාගේ පියා පවා දැන සිටි බවත් (ඔවුන් කියන ප‍්‍රකාශ නිවැරදි නම්) ඉතාම පැහැදිලි කරුණක්. එහෙත් කිසියම් හෝ කරුණක් හේතුවෙන් අගමැතිවරයා කියන ආකාරයට දැවැන්ත අතපසුවීමක් සිදුව ඇති බව ඉතාම පැහැදිලි කරුණක්.

මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සේම ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ද සඳහන් කර තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා ඉතාම අවධාරණාත්මකව කියා සිටියේ ‘‘ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවත් ආණ්ඩුව එය නිවැරදිව ඉටු කළා නම් මෙවැනි විනාශයක් සිදු නොවන’’ බවයි.

ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ ‘‘බුද්ධි අංශ දඩයම් කිරීම’’ හෝ අකර්මන්‍ය කිරීම මේ සඳහා ප‍්‍රබල හේතුවක් වූ බව පැහැදිලි කරුණක් බවයි.

මේ අතර මෙවැනි ප‍්‍රහාරයක් ගැන රාජ්‍ය බුද්ධි අංශ විසින් නිකුත් කළ බව කියන වාර්තාවක් ඊයේ බොහෝ ජනමාධ්‍ය විසින් ප‍්‍රසිද්ධියට පත් කළ අතර ඊයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡවකදී මාධ්‍යවේදීන් මේ වාර්තාව පිළිබඳව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් ප‍්‍රශ්න කිරීමක් ද කළා. සුපුරුදු පරිදි පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ අදාළ වාර්තාව නිවැරදිද යන්න ගැන පරීක්ෂණ කරමින් සිටින බවත් ඒ සඳහා අදාළ පියවර ගනිමින් සිටින බවයි.

එහෙත් මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වන ආරක්ෂක විශේෂඥයින් අවධාරණය කරන්නේ මෙම වාර්තාව සාවද්‍ය හෝ සකස් කරන ලද එකක් වශයෙන් සැලකිය නොහැකි බවයි.

මෙම බුද්ධි අංශ වාර්තා (මෙම ලිපිය සමග පළ වේ) අනුව කටයුතු කළා නම්, මීට මාස කිිහිපයකට පෙර, ජනවාරි 19 වැනිදා වනාතවිල්ලූව සහ අපේ‍්‍රල් 16 වැනිදා කාත්තන්කුඩු සිදුවීම් ගැඹුරින් විශ්ලේෂණය කළා නම් පාස්කු ඉරිදා මෙවැනි දැවැන්ත ඛේදවාචකයක් සිදු නොවන තැනට කටයුතු කළ හැකිව තිබූ බවයි අදාළ අංශ විසින් පෙන්වා දෙන්නේ.

එහෙත් එය ඒ ආකාරයෙන් ම සිදු වූ බවක් දැකිය නොහැකියි. හුදු දේශපාලන සහ ජනප‍්‍රියවාදී මෙහෙයුම් සහ ප‍්‍රදර්ශන සඳහා ආරක්ෂක අංශ සේම වෙනත් අදාළ අංශ යොදා ගැනීම පසුගිය මාස කිහිපය පුරා සුලභ තත්ත්වයක් වුණා. ජාතික ආරක්ෂාව භාර බලධාරීන් සහ නිලධාරීන් හුදු ප‍්‍රදර්ශනකාමී මනෝ භාවයකට පත්ව ජාතික ආරක්ෂාව නොසලකා තම අනාගතය සුරක්ෂිත කර ගැනීමට සියලූ පියවර ගැනීමේ ඛේදවාචකයට ජාතියක් වශයෙන් මුහුණදීමට සිදු වීම අභාග්‍යයක්ම බවයි බහුතරයක් මේ ගැන දැනුවත් පුරවැසියන්ගේ අදහස වන්නේ.

‘‘මේක ඉතාම පැහැදිලිව ජාතික ආරක්ෂාභාර අදාළ ප‍්‍රධානීන් හා නිලධාරීන් තම වගකීම නොසලකා හැරීමක්. වෙනත් රටක නම් මේ වන විට ඔවුන් ඉල්ලා අස්වෙලා. නැතිනම් ජාතියෙන් සමාව අරගෙන. ඒත් අපිට කවදාවත් ඒ වගේ වගකීම වගේම වගවීම ඇති පාලකයින් සහ නිලධාරීන් දකින්න ලැබෙන්නේ නැහැ’’ලංකාවේ සිදුවීම ගැන වඩාත් කනගාටුවට පත්ව සිටින බොහෝ දෙනෙක් කියනවා.

Recommended For You

About the Author: Editor