සංචාරක ව්‍යාපාරයට සිදුව ඇති බලපෑම සමනයට කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම්

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට එල්ල විය හැකි බලපෑම සමනය කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය කෙටි කාලීන සහ දිගු කාලීන පියවර කිහිපයක් ගෙන ඇතැයි එහි සභාපති කිෂූ ගෝමස් මහතා පවසනවා.

ප‍්‍රධාන සංචාරක හෝටල් ත‍්‍රිත්වයක්ම ප‍්‍රහාරකයින්ගේ ඉලක්ක වීමත්, සංචාරකයින් විශාල පිරිසක් ඝාතනයට ලක්වීමත් හේතුවෙන් මෙම අනපේක්ෂිත තත්ත්වය උද්ගත වී ඇතැයි කිෂු ගෝමස් මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.

මේ වන විට මෙරට ප‍්‍රමුඛ සංචාරක හෝටල් ද්විත්යක් වන ෂැන්ග‍්‍ර‍්‍රි – ලා හෝටලය දින නියමයක් නොමැතිව වසා දමා ඇති අතර කිංස්බරි හෝටලය ද සතියක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

රට තුළ දින කිහිපයක් තුළ වර්ධනය වූ අනපේක්ෂිත වාතාවරණයෙන් කම්පනයට පත් විදේශ සංචාරකයින් විශාල පිරිසක් මේ වන විට රට හැර යමින් සිටින අතර මෙරටට පැමිණීමට නියමිත සංචාරකයින් ද තම ගුවන් ගමන් අවලංගු කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව අද දිනයේ බි‍්‍රතාන්‍යයේ සිට මෙරටට පැමිණි ගුවන් යානයක ආසන වෙන් කරවා ගෙන සිිටි මගීන් 22 දෙදෙනකු අද එම ගුවන් යානයෙන් ලංකාවට පැමිණ නැහැ.

අද දිනය වන විට සංචාරක හෝටල් බහුල ගාලූ පාර දෙපස පාළු ස්වභාවයක් දැකගත හැකි අතර හෝටල්වලින් සංචාරකයින් විශාල වශයෙන් ඉවත් වෙමින් සිටිනවා. ඒ වෙනුවට ලංකාවේ වාතාවරණය ආවරණය කිරීමට පැමිණ සිටින විදේශ මාධ්‍යවේදීන්ගෙන් සංචාරක හෝටල් පිරී යමින් තිබෙනවා. ඔවුන් යුහුසුළුව ලංකාවේ තත්ත්වය වාර්තා කරමින් සිටින අයුරු සුලභව දැකගත හැකියි.

මේ වන විට ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සිදුව ඇති බලපෑම පිළිබඳව අද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 42 දෙදෙනකු පමණ හමුවී සාකච්ඡුා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා ප‍්‍රකාශ කළේ මෙවැනි අනපේක්ෂිත සිද්ධීන් සිදුවීමට ඉඩ ඇති බවත්, කළ යුත්තේ අදාළ සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගෙන යළි මෙවැනි සිදුවීම් නොවීම පිණිස වග බලා ගැනීම බවයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සංචාරක ව්‍යාපාරයට සිදුව ඇති බලපෑම සමනය කිරීම සඳහා රජය විසින් මේ වන විටත් කඩිනම් පියවර ගෙන ඇති බව සඳහන් කළ කිෂූ ගෝමස් මහතා ඒ සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළක් දියත්කර ඇති බව ද සඳහන් කළා.

Recommended For You

About the Author: Editor