75 වැනි බ්‍රැඩ්බි පළිහ පාසල් රග්බි මැයි මාසයේදි

මෙරට පාසල් රග්බි පිටියේ පැරණිතම සහ ප්‍රමුඛතම රග්බි තරගය ලෙස සැළකෙන කොළඹ රාජකීය විදුහල් පිල සහ මහනුවර ත්‍රිත්ව විදුහල් පිල අතර 75 වැනි බ්‍රැඩ්බි පළිහ තරග ද්විත්වය ලබන මැයි මස 11 වැනිදා සහ 25 වැනිදා පැවැත්වෙයි.

වසර 1920 ජූලි මස 31 වැනිදා ආරම්භ කළ දෙවිදුහල අතර රග්බි තරගමාලාවේ මෙවර පැවැත්වෙන 75 වැනි සංවත්සරික තරග ද්විත්වය දෙවිදුහලටම අතිශය වැදගත් තරගයක් බවට පත්වී ඇත. මෙවර තරග ද්විත්වයේ පළමු තරගය මැයි මස 11 වැනිදා මහනුවර දී පැවැත්වෙන අතර දෙවැනි තරගය මැයි මස 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මෙම තරගමාලාවේ ආරම්භයේ සිට වසර 21ක් පුරා එහි ආධිපත්‍ය පතුරුවාලීමට ත්‍රිත්ව විදුහල් පිල සමත්වූ අතර රාජකීය විදුහල් පිල පළමුවරට එය දිනාගනු ලැබුවේ 1941 වසරේදීය.

බ්‍රැඩ්බි පළිහ කරළියට එක්වූයේ වසර 1945 දී එවකට රාජකීය විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ඊ.එල්.බ්‍රැඩ්බි මහතාගේ මූලිකත්වයෙනි. වාර්ෂිකව තරග දෙකකින් සමන්විතව මේ තරගය පැවැත්වීමට බ්‍රැඩ්බි මහතා කළ යෝජනාව එවකට ත්‍රිත්ව විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඊ.සිමිත්‍රාආරච්චි මහතා පිළිගැනීමත් සමග මේ දෙවිදුහල අතර රග්බි තරගයට නව ජීවයක් ලැබිණි

අනතුරුව තරගමාලාවේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන පළිහ බ්‍රැඩ්බි මහතා විසින් ලබා දීමෙන් එම පළිහට ඒ මහතාගේ නම එක්විය.

වසර 1945දී එසේ බ්‍රැඩ්බි පළිහ කරළියට එක්වීමෙන් පසුව පැවැති පළමු තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වූයේ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමය. එවකට ත්‍රිත්ව විදුහල් පිලට නායකත්වය ලබාදෙනු ලැබුවේ ආර්.ජී.සෝර්ජා (පළමු තරගය සඳහා) සහ එස්.බී.පිලපිටිය (දෙවැනි තරගය සඳහා) විසිනි. සී.ඒ.ප්‍රනාන්දු රාජකීය විදුහල් පිලට නායකත්වය ලබා දුන්නේය.

අනතුරුව ත්‍රිත්ව විදුහල් පිල පිට පිට තුන්වරක් බ්‍රැඩ්බි පළිහ හිමිකරගත් අතර රාජකීය විදුහල් පිල බ්‍රැඩ්බි පළිහ සියතට ගත්තේ 1948 වසරේදීය. පසුව 1952 වසරේ සිට 1957 දක්වා කාලය තුළ බ්‍රැඩ්බි පළිහ රැක ගැනීමට ත්‍රිත්ව විදුහල් පිල සමත්විය.

එවැනි විශේෂ දස්කමක් පෙන්නුම් කිරීමට රාජකීය විදුහල් පිල සමත්වූයේ වසර 2001 සිට 2004 දක්වා කාලය තුළදීය. වසර 2011 සිට 2014 දක්වා බ්‍රැඩ්බි පළිහ රැක ගැනීමට ත්‍රිත්ව විදුහල් පිල සමත්වූ අතර එම ආධිපත්‍ය බිඳ දමමින් ත්‍රිත්ව විදුහල් පිල 2015දී එය අත්පත් කරගත්තේය. වසර 2016දී ලකුණු සමවීමෙන් බ්‍රැඩ්බි පළිහට දෙපිලම සමශූරයන් වූ අතර 2017 සහ 2018 බ්‍රැඩ්බි පළිහ අත්පත් කරගැනීමට සමත්වූයේ රාජකීය විදුහල් පිලය.

මේ දක්වා පැවැති බ්‍රැඩ්බි පළිහ තරග ඉතිහාසයේ වැඩිම වාර ගණනක් පළිහට හිමිකම් කියනු ලැබුවේ ත්‍රිත්ව විදුහල් පිල විසිනි. ඔවුන් වාර 39කදී බ්‍රැඩ්බි පළිහ දිනාගත් අතර රාජකීය විදුහල් පිල වාර 33කදී ඊට හිමිකම් කීවේය. තවත් තරග 2ක් නිමාවට පත්වූයේ දෙපිලම සමශූරයන් බවට පත් කරමිනි.

මෙවර පැවැත්වෙන 75 වැනි සංවත්සරික බ්‍රැඩ්බි පළිහ තරගමාලාව වෙනුවෙන් බ්‍රැඩ්බි ලාංඡනය එළිදැක්වීම, කාසියේ වාසිය උරගා බැලීමේ කාසිය හඳුන්වාදීම, නිල වෙබ් අඩවිය නැවත විවෘත කිරීම සහ 75 වැනි සංවත්සරික සමරු මුද්දරය නිකුත් කිරීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් දේශනාගාරයේදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එමෙන්ම 75 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු ග්‍රන්ථය මැයි මස පළමු සතියේදී එළිදැක්වීමට නියමිතය.


ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 75 වැනි සංවත්සරික බ්‍රැඩ්බි පළිහ තරගය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය ඇතුළත් මුල්දින කවරය සමඟ. දෙවිදුහලේ විදුහල්පතිවරු ද මෙහි වෙති.

මෙවර බ්‍රැඩ්බි පළිහ තරගමාලාව වෙනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගම ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කරයි.

Recommended For You

About the Author: Editor