අද පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශ

ප‍්‍රහාරයෙන් මියගිය ජනතාව වෙනුවෙන් විනාඩි 02ක ශෝකය පළ කිරීමේ යෝජනාවක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගෙන ආ අතර එය ඒකමතිකව සම්මත විය. ඊට පසු සියලූම මන්ත‍්‍රීවරු විනාඩි 02ක නිශ්ශබ්දතාවක් පළ කළහ. මෙය දීර්ඝ කාලයකට පසු පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබුණු අවස්ථාවක් බව ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරුන්ගේ අදසයි. විනාඩි 02ක් ශෝකය පළ කිරීමෙන් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තම විශේෂ ප‍්‍රකාශය කිරීමට නැඟී සිටීම සමග පාර්ලිමේන්තුව මොහොතකින් උණුසුම් විය.

අද ප.ව 01.00 සිට 02.00 දක්වා පාර්ලිමේන්තුව රැුස් වූ අතර එහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විශේෂ ප‍්‍රකාශ කළේය. පක්ෂ – විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ දැඩි බාධා මධ්‍යයේ ඔවුන් විසින් සිදු කළ විශේෂ ප‍්‍රකාශවල සාරාංශයන් පහත දැක්වේ.

ත්‍රස්තවාදය අවසන් අවසන් කරනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරය දීර්ඝ කාලයක් සැලසුම් කළ ප්‍රහාරයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්මේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව සඳහන් කළේය.

විපක්ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ තම ප‍්‍රකාශය සිදු කළ අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.

” මේකට අතලොස්සක් සම්බන්ධවුණත් ඇත්තෙන්නම මේක දීර්ඝ කාලයක් කළ සැලසුමක්. මේ අයට හොඳ පුහුණුවක් ලබා දී තිබෙනවා. අත්අඩංගුවට ගෙන රදවාගැනීමට පොලීසියට හා හමුදාවට බලතල ලබා දී තිබෙනවා. පොලීසිය හා හමුදාව මේ වන විට පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගණන් කියන්නේ නෑ. මුස්ලිම් ජනතාවත් මේ ප්‍රහාර හෙළා දකිනවා. අවුරුදු දෙකක යුද්ධයකට යන්න ඉඩ දෙන්නේ නෑ. ත්‍රස්තවාදය අවසන් කරන්න පියවර ගන්නවා.”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එයට දැඩි බාධාවක් එල්ල කළේය.

අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ – ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන

අගමැතිවරයාට පසුව සභාව ඇමතූ ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.

“මෙයින් මිය ගිය සංඛ්‍යාව 321ක් බවට පත්ව තිබෙනවා. මේක සැලසුම් සහගත ප්‍රහාරයක්. ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ බවට තොරතුරු තිබෙනවා. මේක ජාතික තව්හීතී ජමාත් සංවිධානයේ ප්‍රහාරයක්.අන්තවාදී සංවිධාන තහනම් කිරිමට පියවර ගන්නවා. ඔවුන්ව නීතිය ඉදිරියට ගේනවා. ඔවුන්ගේ නිශ්චල දේපළ හා චංචල දේපළ රාජ සන්තක කළ යුතුයි.මොවුන්ට ජාත්‍යන්තර සංවිධාවල සහාය ලැබී තිබෙනවා. මුස්ලිම් ජනතාවත් මේ ප්‍රහාරවලට විරුද්ධයි. අත්අඩංගුවට ගැනිමට මුස්ලිම් ජනතව සහාය දෙනවා. ජනතාවගේ සහාය ආරක්ෂක අංශ වෙතට දෙන්න. කටකතාවලට රැවටෙන්න එපා. බුද්ධි අංශ මේ පිළිබඳව දැනුවත් කර තිබුණා. කිහිප දෙනෙක් දැනුවත් කර තිබුණත් අගමැතිතුමාටවත් මමවත් දැනුවත් කර තිබුණේ නෑ. ත්‍රිවිධ හමුදාපතිවරුන්ට මේ ගැන දැනුවත් කර තිබුණේ නෑ. අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ.”

දැන් අස්වෙන්න ඕන ආණ්ඩුවයි – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

ආණ්ඩු පක්ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේතම විශේෂ ප‍්‍රකාශය කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.

” මේ ප්‍රහාර දැක්කාම මට මතක්වෙන්නේ කැබිතිගොල්ලෑව ප්‍රහරයයි. දකුණු ආසියාවේ සිවිල් ජනතාවක් ඉලක්ක කරගෙන එල්ල වූ දරුණුම ප්‍රහාරය මෙය බවට ආරක්ෂක අංශ සඳහන් කරනවා. මම ජනපතිට භාර දුන්නේ සුරක්ෂිත රටක්. ඒක විදේශීය රටවල් පවා කියලා තිබුණ. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ සඳහා වගකිව යුතුයි. පොලීසිය දැනුවත් කර තිබුණා. පල්ලවලට ආරක්ෂාව දෙන්න තිබුණා. ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් දඬයම් කළා. රණවිරුවන් හිරේ දැම්මා. ත්‍රිවිධ හමුදාපතිවරුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගියා. විදේශ රටවලට අවශ්‍ය විදිහට රට පාලනය කරන්න දෙන්න බෑ. බුද්ධි අංශ දඬයම් කිරීම ත්‍රස්තවාදීන් පහසුවක් වුණා. නිලධාරීන් බිල්ලට දාලා ආණ්ඩුව අත හෝදගන්න හදනවා. දැන් අස්වෙන්න ඕන ආණ්ඩුවයි. මාවනැල්ල හා වනාතවිල්ලු සිදුවීම් එකිනෙකට සම්බන්ධයි.  මේක කලින් දැනගෙන ඇමතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළා. මෙය සංචාරක කර්මාන්තයට හා විදේශ ආයෝජන සඳහා එල්ල වූ මරු පහරක්.  රණවිරු දඬයම දැන් නවත්වන්න. මේ සඳහා විපක්ෂය ලෙස අප සහාය දක්වන්න සූදානම්. ත්‍රස්තවාදයට ආගමක් ජාතියක් නෑ.  “

Recommended For You

About the Author: Editor