පාස්කු ඉරිදා ප‍්‍රහාර 9/11න් පසු එල්ල වූ දැවැන්තම ප‍්‍රහාරය – ජාත්‍යන්තර මාධ්‍ය

පාස්කු ඉරිදා ශ‍්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව 2001 සැප්තැම්බර් 09 වැනිදා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් පසු ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කළ දැවැන්තම ප‍්‍රහාර මාලාව බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට සංචාර හෝටල් ත‍්‍රිත්වයකට සහ කතෝලික දේවස්ථාන ත‍්‍රිත්වයකට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් 290 දෙනකු පමණ ඝාතනය වූ අතර තුවාල ලැබුවන් පිරිස 500කට අධික බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම විදේශ සංචාරකයින් විශාල පිරිසක් ද එකම දිනයක් තුළ ඝාතනය වූයේ පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් බව එම මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය (අයි.එස්) අන්තවාදීන්ගෙන් අනුබල සහ ආධාර ලබන ‘‘සුන්නි අන්තවාදීන්’’ විසින් සැලසුම් කළ එකක් බව මේ වන විටත් හඳුනා ගෙන ඇතැයි සඳහන් කරන ජාත්‍යන්තර මාධ්‍ය මෙම අන්තවාදී කල්ලිය ලොව වඩාත් මිලේච්ඡු කල්ලිය බව ද වැඩි දුරටත් සඳහන් කරයි.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන ආකාරයට සුන්නි අන්තවාදීන් තමන්ගේ මුල්ම ප‍්‍රාහර ආරම්භ කර ඇත්තේ 2014 වසරේ ජූනි මාසයේ වන අතර එතැන් සිට රැල්ලක ආකාරයෙන් ලොව සෑම මහද්වීපයකම පාහේ වැඩි වශයෙන් කතෝලිකයින් සහ ෂියා මුස්ලීම්වරුන්ට එරෙහිව ප‍්‍රහාර එල්ල කර තිබෙන අතර ඉන් ඝාතනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3000කට අධික බව ද සඳහන් වේ.
ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විසින් පාස්කු ඉරිදා ප‍්‍රහාර දක්වා එල්ල කර තිබූ දැවැන්තම ප‍්‍රහාර වූයේ 2017 වසරේ අපේ‍්‍රල් මස යෙදී තිබූ ‘‘ගොක් ඉරිදා’’ සැමරුම් දින ප‍්‍රහාරයයි. ඊජිත්තුවට එල්ල වූ එම ප‍්‍රහාරවලින් (දෙකකි) සිවිල් පුරවැසියන් 49 දෙනකු ඝාතනය වූ අතර තවත් 136 දෙනකු තුවාල ලැබීය.

2018 වසරේ මැයි මාසයේ දී ඉන්දුනීසියාවේ ‘සුරබයා’ හි පිහිටි කතෝලික, ක‍්‍රිස්තියානි සහ පොතෙස්තන්ත දේවස්ථාන තුනක් වෙත ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාර ත‍්‍රිත්වයක් එල්ල වූ අතර එහිදී සිවිල් වැසියෝ 28 දෙනකු ජීවිතයක්ෂයට පත්ව 57 දෙනකු තුවාල ලැබූහ.

මෙම ප‍්‍රහාර අතර ආසන්නතම ප‍්‍රහාරය වන්නේ 2019 ජනවාරි 27 වැනිදා පිලිපීනයේ දකුණු දිග ජොලෝ දූපතේ පිහිටි කතෝලික දේවස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයයි. පල්ලිය ඉදිරිපිට නතර තිබූ යතුරු පැදියක අටවා තිබූ මෙම බෝම්බයෙන් පිලිපීන ජාතික සොල්දාදුවන් 05 දෙනකු සහ සිවිල් වැසියන් 17 දෙනකු ඝාතනය විය.

ඉහත සඳහන් ආකායට කතෝලිකයින් ප‍්‍රමුඛ ඉලක්ක බවට පත්කර ගත් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ඒ සමග බටහිර සංචාරකයින් ද ගොදුරු බවට පත්කර ගත්හ.

ඒ අනුව 2015 ජූනි මාසයේ දී ටියුනීසියාවේ සංචාරක හෝටලයක් වෙත එල්ල වූ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 38 දෙනකු ජීවිතයක්ෂයට පත් වූ අතර ඒ අතර බි‍්‍රතාන්‍ය ජාතිකයින් 26 දෙනකු විය.
පසුගිය පාස්කු ඉරිදා ශ‍්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන තුනකට හා ප‍්‍රමුඛ සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත‍්‍රස්වාදී ප‍්‍රහාර ගැන සඳහන් කරන ජාත්‍යන්තර මාධ්‍ය එය ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විසින් වැඩිම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් එකවර යොදා ගෙන සිදුකළ දැවැන්ත ප‍්‍රහාරය බව සඳහන් කරයි. විදේශ සංචාරකයින් සහ ස්වදේශික කතෝලික බැතිමතුන් 290කට මරු කැඳවමින් තවත් පුද්ගලයින් 500කට අධික පිරිසකට තුවාල සිදුකරමින් ශ‍්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය ‘‘නවතම මාදිලියේ ත‍්‍රස්තවාදයක්’’ ලෙස ජාත්‍යන්තර මාධ්‍ය අර්ථකථනය කරයි.

Recommended For You

About the Author: Editor