ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් – ජනාධිපති අවධාරණය කරයි

ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

හෙට දවසේ මේ රටේ නිදහස් හා සාමකාමී පරිසරයක් ගොඩනැඟීම සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ආරක්ෂක අංශ සම්පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට ඉදිරි සතිය තුළ තමා බලාපොරොත්තු වන අතර රාජ්‍ය බුද්ධි අංශවල, පොලිස් හා ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල පූර්ණ ප්‍රතිසංවිධානයක් කරමින් ඒවා විධිමත් කරමින් මෙවැනි ත්‍රස්තවාදී සිදුවීම් නැවත ඇති නොවීමට දැඩි ලෙස විධිමත් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ මේ රටේ ජීවත් වන මුස්ලිම් ජනතාව කෙරෙහි සැකයෙන් බියෙන් අවිශ්වාසයෙන් බැලීම සුදුසු නොවන බවත් මුස්ලිම් සෑම පුරවැසියෙක් ම ත්‍රස්තවාදියකු නොවන බවට විශේෂයෙන් සිහියේ තබා ගතයුතු බවත්ය. ඉතාමත්ම සුළු පිරිසක් පමණක් මෙවැනි ම්ලේච්ඡ ත්‍රස්ත ව්‍යාපාරයකට සම්බන්ධ වී සිටින බව ද ඒ නිසා රටතුළ සිංහල, මුස්ලිම්, දෙමළ සියලු ජනකොටස් අතර සමඟිය සංහිඳියාව ඇතිකර ගැනීම ඉතාමත් වැදගත් වන අතර සෑම කෙනෙක් තුළම විශ්වාසය ඇති කරගෙන ජීවත් වීම අවශ්‍ය වී තිබෙන බව ද ජනපතිවරයා විසින් පෙන්වා දුන්නේය.

රට තුළ තිබූ ඉතාමත්ම සාමකාමී වාතාවරණය බිඳ හෙළමින්, ජනතාව තුළ බිය සැකය සන්ත්‍රාසය ඇති කරමින් ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් අපේ දේශීය ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් සමඟ කර ඇති ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ලැබූ අත්දැකීම නැවත නොලැබීමට සෑම කෙනෙක්ම වගබලා ගතයුතු බව සිහිපත් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින්, එකිනෙකාට චෝදනා කරමින් කටයුතු කිරීම මේ අවස්ථාවේ නොකළ යුතු බවට තම විශ්වාසය යැයිද ජනපතිවරයා කීවේය.

ජනපතිවරයා ඊයේ (23) රාත‍්‍රියේ කළ විශේෂ ප‍්‍රකාශය සම්පූර්ණයෙන් අප විසින් ඊයේ රාත‍්‍රියේ පළ කර ඇත – ප‍්‍රධාන සංස්කාරක.

Recommended For You

About the Author: Editor