මෙම ත‍්‍රස්තවාදය පරාජය කිරිම සඳහා තිබෙන ඕනෙම දේශපාලන සංධානයකට අපි නොපැකිළව සහයෝගය දෙනවා – ඇමති චම්පික රණවක

මෙම ත‍්‍රස්තවාදය පරාජය කිරිම සඳහා තිබෙන  ඕනෙම දේශපාලන සංධානයකට අපි නොපැකිළව සහයෝගය දෙනවා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද දින පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද අපි සියලූ දෙනාම දන්නවා අන්තර් ජාතික ඉස්ලාමීය මූලධර්මවාදී ත‍්‍රස්තවාදී සංවිධානයකදයක් වන ISIS සංවිධානය ශ‍්‍රී ලංකාවට ඉතාම භයානක වියරු ප‍්‍රහාරයක් දියත් කර තිබෙන බව. මෙවැනි සිදුවීමක් සිදුවුන හැටියේ අපේ ඉතිහාසයේ අපි කරන වැරදි ගණනාවක් තිබෙනවා. පළවෙනි වරද තමයි මේක හරහා දේශපාලනය කරන්න බලනවා. අරයට චෝදනා කරනවා, මෙයාට චෝදනා කරනවා, අපි හිටියනම් මීට වඩා හොඳට කරන්න පුලූවන් කියලා කියනවා. මේ යනාදි වශයෙන් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය අවස්ථාවෙත් අපි දැක්කා. ඒ වගේම වෙනත් ගැටුම් තිබුණ අවස්තාවලදීත් මෙය අපි දැක්කා. අපි අතර දේශපාලන බේද බින්නතාවය ආරම්භ කරනවා. ආරක්‍ෂක අංශ මේවා මර්ධනය කරන්න ගියහම ඒකට කරනවා. අපේ හිතවතා, ඥාතියා, පාක්ෂිකයා මුදාගන්න කටයුතු කරනවා. ඒ හරහා සමහරවිට අවසානයේ මරණය කැඳවා ගන්නවා. මේක අපි අතීතයේ සිට කරපු එක් වැරැද්දක්, එය දැනුත් සිදු කරමින් තිබෙනවා.

දෙවැන්න තමයි මෙවැනි සිදුවීමක් සිදු වූ වහාම එන එක තමයි මේ කුමන්ත‍්‍රණ කතාව, මේක සිදුවන්න ඇත්තේ අසුවල්ලූ විසින්, අසවල් ආකාරයට, අහවල් දේශපාලනය කරනවා කියලා නියම හතුරා අමතක කරලා කුමන්ත‍්‍රණ කතා ගණනාවක් ගොඩනැගෙනවා. මේ රටේ මේ පාර්ලිමේන්තුවේ සිටින සියලූ දෙනා දන්නවා ලලිත් ඇතුළත් මුදලි, විජය කුමාරතුංග, රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඝාතනය උනහම, චන්ද්‍රිකා මැතිණිය ඝාතනය කරන්න උත්සාහ කළහම වෙනත් නොයෙක් දෙනාට මේ වගකීම පවරලා කුමන්ත‍්‍රණයක් ගෙනල්ලා සැබෑ ත‍්‍රස්තවාදියාට, අපරාධකාරයාට ආරක්‍ෂාව, රැකවරණය ලැබෙනවා.

තුන්වනුව මේවා සම්බන්ධයෙන් දැනුත් මෙතන සිදුවුණා. සමාජ දේශපාලන විග‍්‍රහයන් කරනවා. මේවා මතුවුණේ අසවල් අසාධාරණය නිසා, අසවල් අධිරාජ්‍යවාදී කි‍්‍රයාදාමය නිසා, පීඩනය නිසා කියලා. සමාජ දේශපාලන විග‍්‍රහයන් කරලා මේ ම්ලේච්ඡු ත‍්‍රස්තවාදයට සමාජ දේශපාලනික පසුබිමක් රැකවරණයක් ලබාදෙන්න අපිම කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මෙතනදි කියන්න  ඕනේ. අපි මෙතනදී කවුද වැරදි කියන ප‍්‍රශ්නයට වඩා  කොතනද අපට වැරදුනේ කියලා බලලා අපි වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ ගැටුම ජය ගන්නට නම් ඒ සඳහා අවශ්‍ය කරන පුද්ගලයින් ඉතා වැදගත්. ඒ පුද්ගලයින්ට පමණක් නෙමෙයි ඒ එක්කම මේ ක‍්‍රමයේ වෙනසක් ඇති කරන්න අපේ ආරක්‍ෂක විධිවිධානවල වෙනසක්, ප‍්‍රතිසංස්කරණයක් ඇති කරන්න අපි සියලූ දෙනාම ඇප කැපවෙලා කටයුතු කරන්න  ඕනේ.

ඇත්තටම මේ ඊයේ ISIS එක නිල වශයෙන් මෙහි වගකීම භාර ගත්තේ නැත්නම් මේ කුමන්ත‍්‍රණවලින් තවත් මේ ගැටුම පිටු පස අසවල්ලූ ඉන්නවා කියලා මේ රට විශාල වශයෙන් අපහසුතාවයකට, ජනතාවට මොකද්ද මේ උනේ කියන එක හොයාගන්න බැරි තත්වයකට පත් වෙන්න පුලූවන්. ඉරාකයට එල්ලවෙච්ච ප‍්‍රහාරයත් එක්ක ඉරාකයේ සුන්නි මුස්ලිම්වරුන් අතරින් විශේෂයෙන්ම සදාම් හුසේන්ගේ බාත් පක්ෂයේ අනුගාමිකයින් අතරින් තමයි අල්සර්කාවිගේ මේ ව්‍යාපාරය ආරම්භ උනේ. සර්කාවිගෙන් පසු මේක අල්බග්ඩාගි අතට ගියා. ඔහු කලිපාතයක් ප‍්‍රකාශයට පත් කළා. අපි දන්නවා ඉස්ලාමීය ඉතිහාසයේ නිරන්තරයෙන්ම මූලධර්මයක් සහිත රටක් මැදිහත් කරගෙන තමයි ඒ අධිරාජය පැවතුනේ. ඔටෝමාන් කලිපාතය ඇද වැටුනට පසුව මේ කලිපාතය මොහු බිහිකලාහම ලෝකයේ මධ්‍යම පාන්තික තරුණ තරුණියෝ 40,000 කට අධික පිරිසක් ගිහින් ඔහුගේ ISIS ව්‍යාපාරයට බැඳුනා. ලංකාවෙත් පවුල් හතරකට පහකට අයිති ඉතාම වැදගත් උගත් යැයි හැඟෙන පිරිස් මේ සිරියාවට ඉරාකයට ගිහින් වෛද්‍යවරු හැටියට එහෙම නැත්නම් සටන් කාමින් හැටියට ඔවුන්ට සේවය කළා. ඒ තොරතුරු සියල්ල අපේ බුද්ධි අංශයට 2011-12 දි මේවා වාර්තා උනා.

ඒ වගේම  මේ කි‍්‍රයාදාමය අපි මතක තියා ගන්න  ඕනේ අන්තර්ජාතිකව පසුගිය දහස් වර්ෂය පුරාම කි‍්‍රස්තියානි ධර්මයත්, ඉස්ලාමීය ධර්මයත් අතර ඒ කුරුස යුද්ධයේ සිට පැවත එන ඒ කි‍්‍රයාදාමයේම කි‍්‍රයාවක් හැටියට තමයි මෙය ගිහින් තිබෙන්නේ. ඒක ISIS ලාගේ ප‍්‍රකාශයෙත් තිබෙනවා. අපේ රටේ අහිංසක කතෝලික ජනතාව ඉරාක ආක‍්‍රමණයට, සිරියා ආක‍්‍රමණයට ගියේ නැහැ. නමුත් ඔවුන් කතෝලිකයින් වීම නිසා කි‍්‍රස්තියානි ධර්මය අදහන නිසා, මඩකලපුවේ, එහෙම නැත්නම් මීගමුව කොච්චිකඬේ ඔවුන් ඝාතනය උනේ ඒ අයගේ උමතු ආගමික මතවාදී කි‍්‍රයාවලිය නිසයි. ඒක අපි අමතක කළ යුතු නැහැ. ඒ වගේම ඔවුන් විදේශිකයින්ට පහර දුන්නේ මේ සංචාරක ව්‍යාපාරය අඩපණ කරන්න නෙමෙයි බටහිර ලෝකයේ අද තිබෙන දරුණු ආරක්‍ෂක තත්වය නිසා තවදුරටත් ඒවයේ ඝාතන කරන්න බැරිකම නිසා අපේ රටේ ඉන්න බටහිර සංචාරකයින්ට පහරදීලා ඔවුන් විශ්වාස කරනවා ඒ තුළින් පණිවිඩයක් දෙන්න.

අපි එකක් අවබෝධකර ගත යුතුයි. එල්.ටී.ටී.ඊ සංවිධානය එතනට බිහිවෙන්න ඓතිහාසික පරිනාමණයක් තිබුණා. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කරන ලද අරමුණු සහගත අරගලයක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුන කරගෙන ගිය සටනට අරමුණක් තිබුණා මේ රටේ සමාජවාදය බිහිකර ගැනීම සඳහා කියලා. ඒ සඳහා වූ ඓතිහාසික පරිනාමයක් 1935 සම සමාජ ව්‍යාපාරය බිහි වූ දවසේ සිට තිබුණා. හැබැයි මේ ISIS ත‍්‍රස්තවාදයේ අද අරමුණ කලිපාතය නෙමෙයි දැන් ඔවුන්ගේ සියලූම බිම් ඔවුන්ට අහිමි වෙලා ඉවරයි. ඔවුන් සමග සටන් කරපු 12000 කට අධික පිරිසක් ලෝකයේ විවිධ රටවල්වලට විස්ථාපනය වෙලා තියෙනවා. ඔවුන්ගේ අරමුණ උපරිම ව්‍යසනය, උපරිම විනාශය මේ ලෝකයට ගෙන ඒමයි. ඒ නිසා අපි එය අවබෝධ කරගෙන, එහි තිබෙන ජාත්‍යන්තර කි‍්‍රයාවලිය අවබෝධකරගෙන කි‍්‍රයා කළ යුතු වෙනවා.

ඒවගේම මේ ආගමික හා දාර්ශනික කි‍්‍රයාවලියේ තල කිහිපයක් තිබෙනවා. අපට පුලූවන් සංවාද කරන්න. සර්වබලධාරී දෙවියෙක් ඉන්නවාද නැද්ද, ලෞකිකවාදයද, භෞතිකවාදයද, විඤ්ඤාණවායද අපට පුලූවන් සංවාද කරන්න. මේ රටෙත් පංච මහා වාදයන් පැවතුනා බෞද්ධයොයි කි‍්‍රස්තියානි භක්තිකයින් අතර. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක සිදුවිය යුත්තක්. හැබැයි ඉන් ඔබ්බට ගිහින් කවුරුන් හෝ ආගමික නායකයින්ට අවමාන, අපහාස කරනවා නම්, වෛරය පතුරුවනවා නම් අන්න එතනදී තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය කි‍්‍රයාකාරී වෙන්න  ඕනේ ඒක නතර කරන්න. ඉනුත් ඔබ්බට ගිහින් තමන්ගේ නොවන ආගමිකයන් ඝාතනය කරන්න, වනසන්න, ඒ වගේම සමූහ ඝාතනය කරන්න ඉදිරිපත් වෙනවා නම් එය වැලැක්වීමට අනිවාර්යයෙන්ම අපි කි‍්‍රයාත්මක විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන අපගේ තිබෙන සන්නද්ධ උපකරණ, නීතිමය උපකරණ, සමාජමය උපකරණ සියල්ලම පාවිච්චි කර ඒ සඳහා කි‍්‍රයාකළ යුතු වෙනවා. අපි අද පත්වෙලා තිබෙන්නේ එතැනටයි. මේක මේ සමාජ සංවාදවලින්, සමාජ විග‍්‍රහ වලින් විසඳන්න පුලූවන් ගැටලූවක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක්,      අන්තර්ජාතිකව ව්‍යාප්ත ත‍්‍රස්තවාදී ගැටලූවක්. ඒකට ඒ ආකාරයෙන් වූ ආරක්‍ෂක විධි විධාන මගින් අපි මුහුණ දිය යුතු වෙනවා.

විශේෂයෙන්ම අපි එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය සමග එල්.ටී.ටී.ඊ භූමිවලට ගිහින් කාලතුවක්කු වලින් මුහුණට මුහුණ දීලා සටන් කරනවා වගේ සටනක් නෙමෙයි මේක විසි ලක්ෂයකට අධික මුස්ලිම් ජනතාව අතරේ දෙතුන් සියයක්  අන්තවාදීන් විවිධ ස්ථානවල සැඟවී කි‍්‍රයා කරනවා. ඒ නිසා ඔවුන් සොයා ඔවුන්ව විනාශ කිරීම සඳහා වූ විශේෂ ආරක්‍ෂණ ප‍්‍රතිසංස්කරණයක් අපේ ආරක්‍ෂක අංශවල, බුද්ධි සේවාවන්වල අද අත්‍යාවශ්‍ය වෙලා තිබෙනවා. මෙය ප‍්‍රභාකරන් සමග කළ යුද්ධයත්, ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් වෙනත් ආකාරයක අතීතයේ තිබුණු සටනක් වගේ නෙමෙයි ඉතාම ප‍්‍රවේශමෙන් පරෙස්සමෙන් කි‍්‍රයාකළ යුතු කි‍්‍රයාදාමයක් වෙනවා. ඒ වගේම මේ අය සඳහා ආයුධ කොහොමද එන්නේ. මේ අය සඳහා ධනය ගලාගෙන එන්නේ කොහොමද, විදේශවලින් පුද්ගලියන් ඇවිල්ලා පුහුණු කරන්නේ කොහොමද කියන එක ගැන අපි සොයා බැලිය යුතුයි. දැන මේ ලංකාවේ නායකයා, ඔහුගේ ආගමික නායනයා තමිල්නාඩුවේ. ඒ තමිල්නාඩුවේ ආගමික නායකයා ඉන්දියානු ආරක්‍ෂක අංශවලින් කොටුකර ගත් නිසා තමයි මේ තරමටවත් අපට දැනුමක් ලැබුනේ. එතකොට මේ පුද්ලයා කොහොමද මෙහේ ආවේ. ආගම ප‍්‍රචාරය කිරීමේ මුවාවෙන්, එහෙම නැත්නම් අහිංසක දේශනාකරුවෙක් හැටියට ඇවිල්ලා මුලූ රටම ව්‍යසනයට පත් කිරීමේ කි‍්‍රයාවලියක් තිබෙනවා. ඒ නිසා පුද්ගලයින් මේ රටට පැමිණීම, අවි ආයුධ මේ රටට පැමිණීම, ධනය මේ අයට ගලා ඒම කියන මේ කාරණා ගැන අපි මතක තබා ගත යුතුයි. මම එකක් කිව යුතුයි අපේ රටේ අපි දැක්කෙ අපේ රටේ දුප්පත් පිරිස් හම්බන්තොට, වන්නියේ අවි අතට ගන්නවා. නමුත් අද තිබෙන්නේ BMW ෆයිව් සීරිස්වලින් ඇවිල්ලා හෝටල් පුපුරවන ත‍්‍රස්තවාදයක් බව අප මතක තබා ගත යුතුයි. ඔවුනට ඇති කිසිදු ආර්ථික ප‍්‍රශ්නයක් නැහැ. ආගමික උමතුක් විසින් මෙහෙයවන පිරිසක්.

මෙහිදී මම විශේෂයෙන්ම අවසානයේ කිව යුතුයි මෙය පරාජය කිරීමට සියලූම දේශපාලන බලවේග එකට එකතුවිය යුතුයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා පමණක් නෙමෙයි විපක්ෂ නායකතුමා ඒ වගේම දෙමළ සංධානය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ අනෙකුත් සියලූම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන මේ පිරිස්, මනුෂ්‍යත්වය අගය කරන මේ පිරිස් එකට එකතු විය යුතුයි දේශපාලන වශයෙන්. ඒ වගේම කිසිම ඇඟිලි ගැසීමකින් තොරව ආරක්‍ෂක අංශවලට ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය සහයෝගය අපි විසින් ලබාදිය යුතුයි. ඒ වගේම මම ප‍්‍රකාශ කළ යුතුයි මේ ත‍්‍රස්තවාදය පිළිබඳව අපි වසර ගණනාවක් කි‍්‍රයා කළ පිරිසක් හැටියට අපේ දේශපාලන හිතවත් කම, අපේ දේශපාලන සංධානය තිබෙන්නේ රට වෙනුවෙන්, ඒ වෙනුවෙන් මේ ත‍්‍රස්තවාදය පරාජය කිරිම සඳහා තිබෙන ඒ  ඕනෙම දේශපාලන සංධානයකට අපි නොපැකිළ සහයෝගය දෙනවා විතරක් නෙමෙයි ඒ සඳහා කි‍්‍රයාකිරීමටත් සූදානම් බව ප‍්‍රකාශ කරනවා යැයි පැවසීය.

Recommended For You

About the Author: Editor