මේ දිනවලදී නොසැලකිලිමත් ආකාරයට කටයුතු කිරීමෙන් වලකින්න -පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

මේ දිනවල අනාරක්ෂිත හා නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම ඉල්ලීම කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් මෙසේ ද සඳහන් කළා.

පසුගිය ඉරිදා දින සිදු වූ බෝම්බ පිපිරිම්වලින් මිය ගිය සංඛ්‍යාව අද වන විට 359 ක් දක්වා ඉහළ   ගොස් තිබෙනවා. ඒ අතර විදේශිකයින් 39 ක් පමණ සිටිනවා. ඒ වගේම ඒ විදේශිකයන්ගේ මෘත ශරීර අතරින් 20 ක් මේ වන විට නිශ්චිතව හඳුනාගෙන පශ්චාත් මරණ පරික්ෂණ පවත්වා ඒ මෘත ශරීර 20 ඔවුන්ගේ ඥාතීන්ට භාර දීමටත් අවශ්‍ය කටයුතු කර තිබෙනවා. ඒ වගේම මේ බෝම්බ පිපිරීමේ සිදුවීම් මාලාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලිකව විමර්ශන සිදුවෙනවා. තවත් විමර්ශන කොට්ටාස කිහිපයක්ම කොළඹ අපරාධ කොට්ටාසය වැනි කොට්ටාස කිහිපයකින්මත් ඒ සඳහා අවශ්‍ය සහාය ලැබෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඒ විමර්ශනය සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ඒ අනුව මේ වන විට මේ බෝම්බ පිපිරිම් සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 09 දෙනෙක් පැමින ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන වලදී අණාවරණය කර ගෙන තිබෙනවා. ඒ වගේම ඒ 09 දෙනාගෙන් 08 දෙනෙකුගේ අනන්‍යතාවය අනාවරණය කර ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබිලා තියනවා.

මේ සිද්ධි සම්බන්ධයෙන් වරින් වර අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට 60කට අධික වනවා. ඒ සැකකරුවන් අතරින් 32 ක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත් තවත් පුද්ගලයින් 04 ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේත් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුවනවා. මේ සිදුවන විමර්ශන  මේ වෙද්දි ඉතා සාර්ථකව සිදුවනවා.

සෝදිසි මෙහෙයුම් විශේෂයෙන්ම කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල දිගින් දිගටම මේ වන විට සිදුවනවා. ඒ සෝදිසි මෙහෙයුම් පොලිසිය විසින් සිදු කරනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේත් පොලිස් විශේෂ කාර්ය බලකායේත් උපරිම සහාය ලැබෙමිනුයි පවතින්නේ.

විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි සැක කටයුතු පාර්සලයක් හෝ සැකකටයුතු ගමන් බෑගයක් හෝ හමුවුණොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ඒ වගේම ගුවන් හමුදාවේ, යුද හමුදාවේ බෝම්බ නිශ්ක්‍රිය නිලධාරින් ඒවා පරික්ෂා කිරිමට සැදී පැහැදී ඉන්නවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සිදු කරන ක්‍රියාවලිය පැහැදිලි කරනවා නම් එම නිලධාරීන් එම ස්ථානයට පැමිණිලා මුලින්ම එම ස්ථානය අවටින් ජනතාව ඉවත් කරනු ලබනවා.

ඉන් අනතුරුව දුරස්ථව එම ද්‍රව්‍ය එක්ස් කිරණ ඡාය පිටපතක් ආශ්‍රයෙන්  අධ්‍යයනය කිරීමකට ලක් කරනවා. ඉන් අනතුරුව එම ද්‍රව්‍ය විවෘත කිරීම අවශ්‍යවනවා.

එම ද්‍රව්‍ය විවෘත කිරීම සිදු කරන්නේ එම ද්‍රව්‍ය මත ඩෙටනේටින් කෝඩ් නැමැති උපකරණයක් තබා ඉන් අනතුරුව එය සරල පිපිරීමකට ලක් කර එම ද්‍රව්‍ය විවෘත කරනු ලබනවා. එම ශබ්ද පිටවුණු අවස්ථා කිහිපයකදි බොම්බ පිපිරීම් කිහිපයක් සිදු වූ බවට ප්‍රචාරය වුණා.

 විශේෂයෙන්ම කළුතර නාගොඩ රෝහලේ සිව් මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ  ගමන් බෑගයක් තිබුණා.ඒ වගේම වැල්ලවත්ත ප්‍රදේශයේ යතුරු පැදියකුත්, කටුවාපිටිය දේවස්ථානයේ සිට කිලෝ මීටරයක්  පමණ දුරකින් ගමන් බෑගයකුත් මෙලෙස තිබී පොලිස් විශේෂ කාර්ය බලකායත්, කටුවාපිටිය ගමන් බෑගය හා සම්බන්ධ සිද්ධිය වෙද්දී ගුවන් හමුදාවත් බෝම්බ නිශ්ක්‍රිය නිලධාරින් මෙලෙස ඩෙටනේටින් කෝඩ් තබා පිපිරීමකට ලක් කළා ඒ ද්‍රව්‍ය විවෘත කිරිම සඳහා. නමුත් එහි පුපුරන ද්‍රව්‍ය කිසිවක් තිබුණේ නැහැ. නමුත් ස්ථාන කිහිපයකදීම බෝම්බ පිපිරුණා කියලා අසත්‍ය ප්‍රචාර පැතිරුණා.

මා මේ සඳහන් කළ ක්‍රමවේදයට එම ද්‍රව්‍ය සරල පිපිරීමක් මගින් විවෘත කිරීමයි අදාළ බෝම්බ නිශ්ක්‍රිය නිලධාරීන් විසින් සිදු කරන්නේ. එලෙස විවෘත කළ පසුව පුපුරන ද්‍රව්‍ය තිබුණොත් තවත් ආරක්ෂිත ක්‍රම භාවිත කරමින් එම පුපුරන ද්‍රව්‍ය නිශ්ක්‍රිය කිරීම සිදු කරනු ලබනවා.

මේ දිනවලදී අනාරක්ෂිත ආකරයට නොසැලකිලිමත් ආකාරයට කටයුතු කිරීමෙන් වලකින්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබගේ වාහන අනාරකෂිතව පාරේ නවතා යන්න එපා. පාරේ නවතා යනවා නම් එහි ඔබගේ දුරකතන අංකය සඳහන් කර යන්න.ඒ වගේම නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයින් ගණනාවක් පිළිබදවත් වාර්තා වෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙනුත් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශන සිදු කරනු ලබනවා.

Recommended For You

About the Author: Editor