බුද්ධි අංශ විසින් හඳුනා ගෙන සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් 09 දෙනාම මිය ගිහින් – ඇමැති රුවන් විජේවර්ධන

ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 09 දෙනකු පිළිබඳ පූර්ණ තොරතුරු බුද්ධි අංශ විසින් රජයට ලබාදී ඇතැයි ද මේ වන විට ඒම මරාගෙන මැරෙන බෝම්බකරුවන් 09 දෙනාම මිය ගොස් ඇති බව තහවුරු වී ඇතැයි ද ආරක්ෂක හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි.

විදේශ ජනමාධ්‍යවේදීන් සඳහා අද පෙරවරුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා විදේශ මාධ්‍යවේදීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර යුද හමුදා සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකරුන් ද රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මේ අවස්ථාවට එක්ව සිටීයහ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසා සිටියේ පසුගිය 21 වැනිදා දෙමටගොඩ මහවිල පටුමගේ නිවස තුළදී බෝම්බයක් පුපුරවා ගෙන මිය ගිය කාන්තාව ද මරාගෙන මැරෙන බෝම්බකාරියක් ලෙස සැකකරන බවයි.

මෙහිදී ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් විදේශ ජනමාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ මෙම සංවිධානයට සම්බන්ධ සැකකරුවන් ඉතා ධනවත් පවුල් පසුබිමක් ඇති, විදේශවලදී පවා උසස් අධ්‍යාපනය ලබා ඇති පුද්ගලයින් බවයි. ඔවුන් අතර ආචාර්ය උපාධිකාරියෙක් පවා සිටින බව කී ඇමැතිවරයා මෙම සංවිධානය සඳහා ජාත්‍යන්තරයෙන් ආධාර සහ අනුබල ලැබෙනු ඇතැයි සැක කළ හැකි බව ද සඳහන් කළේය. මේ අවස්ථාවේදී පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ගැන සඳහන් කළ ඇමැතිවරයා මේ වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 359ක් බව සඳහන් කළේය.

මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ මේ වන විට පාස්කු ඉරිදා ප‍්‍රහාරවලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 60 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් එයින් 32 දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරයේ තබා ගෙන වැඩි දුරටත් ප‍්‍රශ්න කරමින් සිටින බවයි.

Recommended For You

About the Author: Editor