2018 දී ලංකාවේ ආර්ථිකයේ සැබෑව මෙන්න

2018 වසරේදී ඉතිහාසයේ පළමු වතාවට ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය US ඩොලර් බිලියන 10ක් ඉක්මවූ බවත් දළ දේශීය නිෂ්පාදිතය ද සියයට 0.2කින් පමණ පහළ ගිය බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2018 වාර්ෂික වාර්තාවේ දැක්වේ.

අද ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 මහ බැංකු වාර්තාවේ මුල් පිටපත මුදල් ඇමැති මංගල සමරවීර මහතාට භාර දුන් අතර, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ජනමාධ්‍ය වෙත යොමු කළ අදාළ වාර්තාවේ සාරාංශ සටහනේ මේ බව දැක්වේ.

2018 මහ බැංකු වාර්ෂික වාර්තාව තුළින් උපුටා ගන්නා ලද ශ‍්‍රී ලංකාවේ 2018 වර්ෂයේ ආර්ථික තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

2018 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) වර්ධනය පසුගිය වසරේ වාර්තා කළ සියයට 3.4 ට සාපේක්ෂව සියයට 3.2 ක අගයක් වාර්තා කරන ලදී.

ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් කටයුතුවල පසුබෑම හේතුකොටගෙන වසර තුළදී කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 0.9 ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී විය.

2018 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය එ.ජ. ඩොලර් බිලියන 88.9 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒක පුද්ගල ද.දේ.නි. එ.ජ. ඩොලර් 4,102 ක් ලෙස පෙර වසරට වඩා මදක් පහළ අගයක් වාර්තා කළේය.

ආර්ථික කටයුතුවල මධ්‍යස්ථ වර්ධනය හමුවේ, සේවා වියුක්ති අනුපාතිකයේ සුළු ඉහළ යෑමක් හා ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතයේ පහළ යෑමක් වසර තුළදී  නිරීක්ෂණය විය.

ඉතිහාසයේ පළමු වතාවට වෙළඳ හිඟය, එ.ජ. ඩොලර් බිලියන 10 ඉක්මවීය.

ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය, හිඟයක් ලෙස වාර්තා විය.

2018 වසර අවසානයේදී සහ 2019 වසර ආරම්භයේදී ගෙවුම් තුලනය සහ විනිමය අනුපාතිකය මත ඇති වූ පීඩනය පහළ ගිය අතර 2019 වසරේ ප‍ළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

රුපියලෙහි සිදු වූ අධික අවප්‍රමාණය සහ දේශීය ඛනිජ තෙල් මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම හමුවේ වුවද වසර තුළදී, මතුපිට හා මූලික උද්ධමනය තනි අඩු අගයක පැවතුණි.

2018 වසර තුළදී පැවතුණු හිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ආහාර බොහොමයක  මිල  ගණන්  පහළ  ගිය  අතර,  මතුපිට  උද්ධමනයේ  උච්චාවචනයන්  ආහාර කාණ්ඩයේ මිල විචලනයන් හා බෙහෙවින් සමගාමී විය.

විශේෂයෙන්ම වසරේ අවසාන කාලය  තුළ පැවති දේශපාලනික අවිනිශ්චිතභාවයත් සමඟ අයවැය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවූ ප්‍රමාදය නිසා රාජ්‍ය ආයෝජන අඩු වීම හේතුවෙන් වියදම් සහ ශුද්ධ ණය දීම් අඩු විය.

ආර්ථික කටයුතු මන්දගාමී වීම සඳහා රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම් අඩු වීම ද දායක විය.

ප්‍රාග්ධන වියදම්වල සැලකිය යුතු පහළ යෑම හේතුවෙන් අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසරේදී පැවති සියයට 5.5 සිට 2018 වසරේදී සියයට 5.3 දක්වා අඩු වුවද, 2018 අයවැයට අනුව අපේක්ෂිත ඉලක්කය වූ සියයට 4.8 ක මට්ටම ළඟා කරගැනීමට නොහැකි විය.

මධ්‍යම රජයේ නොපියවූ ණය, 2017 වසර අවසානයට ද.දේ.නි‍.යෙහි ප්‍රතිශතයක් ලෙස පැවති සියයට 76.9 සිට 2018 වසර අවසානය වන විට සියයට 82.9 දක්වා වැඩි විය.

පසුගිය වසර කිහිපය තුළ රටෙහි සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වාගෙන යෑමට දැරූ ප්‍රයත්න මධ්‍යයේ වුවද, අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාදවීම හේතුවෙන්  ශ්‍රී ලංකාවේ ආර්ථිකය මන්දගාමී වර්ධන මාවතකට පත්ව ඇත.

ආර්ථික වර්ධනය සඳහා උපකාර වන ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට සමාන ආර්ථිකයන් පවතින රටවල් ශීඝ්‍ර ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර, අපනයන ප්‍රවර්ධනය, විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය, අයවැය හිඟය හා ණය මට්ටම අඩු කර ගැනීම, සාධක වෙළඳපොළ ප්‍රතිසංස්කරණය, රාජ්‍ය පරිපාලනය ශක්තිමත් කිරීම සහ රටෙහි නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම සහතික කිරීම යන අංශවල වර්ධනය කෙරෙහි ඇති බාධා විසදීමට හා ආර්ථික වර්ධනය දියුණු කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ඇති ප්‍රමාදයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය පහළ මට්ටමක පැවතීම සඳහා විශාල වශයෙන් හේතු වී ඇත.

Recommended For You

About the Author: Editor