Voice of දියවන්නා : ආරක්ෂක උපදෙස් උපදෙස් නොතකා කතානායක වහාම කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථාන වෙත යයි

පසුගිය දා කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන විට කථානායකවරයා සිටියේ කොළඹින් බැහැරවය.

මහනුවර සිට වහාම කොළඹ බලා ඒමට පිටත් වූ ඔහුට අතර මගදී දිගින් දිගටම සිදු වූ ප්‍රහාර පිලිබඳව තොරතුරු ගලා එන්නට වූ අතර,  තත්වය අතිශයින් බරපතල බව අව‍බෝධ කර ගත් කතානායකවරයා වහාම සිය මාධ්‍ය ලේකම්වරයා අමතා දැනුම් දුන්නේ උද්ගතව ඇති තත්වය හමුවේ සහෝදරත්වයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලෙසයි.

අනතුරුව අගමැතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් අමතමින් අඛණ්ඩව පවතින තත්වය පිලිබඳව සොයා බැලූ කතානාකවරයා වහාම පිපිරීම සිදු වූ ස්ථාන වෙත යාමට තීරණය කළේය. නමුත් ආරක්ෂක නිලධාරීන්ගෙන් ඒ සඳහා එකඟත්වයක් නොවීය. එහෙත් ආරක්ෂක උපදෙස් නොතකා වහාම කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථාන වෙත ගිය කථානායකවරයා සිදු වී ඇති ඛේදවාචකයේ තරම කෙතෙක් දැයි දැක ගත හැකි විය. ඒ වන විටත් කටුවාපිටිය දේවස්ථානයේ මෘත ශරීර ‍එම ස්ථානවලම වැටුණු ඉරියව්වෙන්ම පැවැති අතර, දේවස්ථාන වහලය ද තැනින් තැන කැඩි තිබුණු උළුකැට ඉතාම අවදානමක් ගෙන දුන්නේය.

එවන් හද කම්පා කරවන දර්ශනයන් දැකීමට සිදු වී‍ම කෙතරම් අවාසානාවන්ත දැයි එහි සිටි මාධ්‍යවේදීන් සමග පැවසූ කථානායකවරයා එම අවස්ථාවේ දීද අවධාරණය කළේ පවතින තත්වය අනුව ජනතාව අවබෝධයෙන් සහ සන්සුන්ව ක්‍රියාකිරීමේ වැදගත්කමයි. අනතුරුව කථානායකවරයා පිටත්ව ගියේ කොළඹ ජාතික රෝහල වෙතයි. 

මහා නාහිමිවරු, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්, ප්‍රධාන පෙලේ ඉස්ලාම් පූජකවරුන්ද අමතමින් දිගින් දිගටම සාමය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි කථානායකවරයා අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා අමතමින් වහාම පාර්ලිමේන්තුව කැඳවා ඉදිර පියවර පිලිබඳව සාකච්ඡා කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.  ඒ අනුව අඟහරුවාදා පාර්ලිමේන්තුව කැඳවන ලද අතර, ආරම්භයේ දීම පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරමින් හෙතෙම සභාවට දැනුම් දුන්නේ මෙම දුක්ඛ දායක මොහොතේ ඉතාමත් වගකීමෙන් යුතුව අදහස් දැක්වීම අතිශයින් වැදගත් බවයි.

එදින ජාතික ආගමික සංහිදියාව සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුනු අතර, එහිදි  වහාම සර්ව ආගමික සහ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා පවතින තත්වය පිලිබදව පිලියම් යෙදීමට‍ තීරණය කෙරුණු අතර, ඒ අනුව ‍26 වන සිකුරාදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී එම සමුළුව පැවැත්වීමට කටයුතු යොදන ලදී. 

හදිසි නීති විවාදය පැවැති 24 වන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව ආරම්භ කරමින් කථානායකවරයා ඉදිරිපත් කරන ලද ප්‍රකාශය මාධ්‍යයන්හි පුළුල් අවධානයට යොමු වූ අතර, එමගින් කියා සිටි‍යේ “ම්ලේච්ඡ ප්‍රහාරය ශීලාචාර ලෝකයේ කිසිවෙකු විසින් අනුමත නොකරන  මනුෂ්‍යත්වයට එරෙහි කුරිරු අපරාධයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි. 

මෙවන් තත්වයක් යළි ඇති නොවීම සඳහා මෙන්ම එම සිදුවීම පසුබිමෙහි වන කුරිරු බලවේග අපගේ මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා එකම  ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්සත්ව ගතහැකි උපරිම සහ දැඩි පියවර ගැනීමට නොපසුබට විය යුතු බවට අවධාරණය කෙරුණු අතර, මෙය එක් ජාතියකට හෝ ආගමකට එරෙහි ප්‍රහාරයක් නොව අපගේ මාතෘ භූමියටත් සමස්ථ ජනතාවගේම සමගිය හා සහජීවනයටත් එරෙහිව එල්ල වූ ප්‍රහාරයක් බවත්, එය පටු ජාතිවාදී හෝ ආගම්වාදී කෝණයකින්  විග්‍රහ නොකර අවබෝධයෙන් යුතුව  මුහුණ දෙමින් සාමය සමගිය  ආරක්ෂා කල ජනතාවට ගෞරවය පුද කරන බව ද සදහන් කළේය.

විපත්දායක මොහොතේ දිවි පරදුවට තබමින් ස්වකීය රාජකාරිය ඉටු කල ත්‍රිවිධ හමුදා හා පොලිස් නිළධාරින්ට ද   සෞඛ්‍ය  කාර්ය මණ්ඩලයන්ට ද  පාර්ලිමේන්තුවේ ආචාරය  පුද කරන අතර,  එහි දී ස්වකීය ජිවිත පූජා කල  පොලිස්  නිළධාරීන්ගේ ජ්‍යෙෂ්ඨ  කැපවීම ද   ගෞරවයෙන් සිහිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය.  

Recommended For You

About the Author: Editor