අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව : ආරක්ෂක මෙහෙයුම් අඛණ්ඩව

ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ත‍්‍රිවිද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව රට පුරා ආරක්ෂක මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින බවත් මේ තත්ත්වය තුළ අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් රජය නිවේදනය කරයි.

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලූවැව මහතා විසින් අද නිකුත් කළ විශේෂ ප‍්‍රවෘත්ති නිවේදනයක මේ බව සඳහන් වේ. එම ප‍්‍රවෘත්ති නිවේදනයේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ.

රාත‍්‍රි තැපැල් දුම්රිය හැර අනෙකුත් දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර දුම්රිය අංගනවලින් පිටවීමට පෙර දුම්රිය පරීක්ෂා කෙරේ. එසේම සැකකටයුතු පාර්සල් හා මගීන් පරීක්ෂාව ද සිදුවේ.

සාමාන්‍ය දෛනික කාලසටහනට අනුව ලංගම බස්රථ ධාවනය වන නමුත් මගී අවශ්‍යතාව හඳුනා ගෙන බස්රථ ධාවනයට යොදවන ලෙස ලංගම ප‍්‍රාදේශීය කළමනාකාරීත්වය උපදෙස් ලබාදී ඇත. පෞද්ගික බස්රථ ද සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදෙන අතර මගීන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත්කර ඇත.

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ද සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව සිදුවන අතර අවශ්‍ය තරම් ඉන්ධන තොග සංස්ථාව සතුව පවතී. ඉදිරි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් කර ඇත.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන අතර එහි ආරක්ෂාව තරකර ඇති බව වරාය අධිකාරිය සඳහන් කරයි.

වත්මන් තත්ත්වය තුළ ජනතාව විමසිලිමත්ව සිටිමින් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දෙමින් සාමකාමීව කටයුතු කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ද රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Recommended For You

About the Author: Editor