උසාවියේ සහ දේශපාලනයේ මහා පෙරළි කළ කොල්වින් ආර්. ද සිල්වා

1907 පෙබරවාරි මස 16 වන දින අම්බලන්ගොඩ බලපිටිය ග‍්‍රාමයේදී ඕ.ඒ.ද සිල්වා වෛද්‍යතුමන්ට දාව දාව උපන් බාල පිරිමි දරුවා දිනෙක ලකඹර බබලන යුග පුරුෂයෙක් වේ යැයි කිසිවෙකු නොසිතන්නට ඇත. නමුත් මේ බිළිදාගේ දෛවය ලියවී තිබුණේ එලෙසිනි.

ඔහු නමින් කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා විය. පානදුර ශාන්ත ජෝන් විදුහලෙන් ප‍්‍රථමික අධ්‍යාපනය ද පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය ද ලද මෙම තරුණයා සිය උසස් අධ්‍යාපනයට අත්පොත් තබන ලද්දේ එවකට ලංකා විශ්ව විද්‍යාලය ලෙස හැදින්වෙනු ලැබූ කොළඹ විශ්ව විද්‍යාලයෙනි. දෙවන ලෝක යුද සමයේදී යුද විරෝධී ක‍්‍රියාකාරකම් හේතුවෙන් බි‍්‍රතාන්‍ය ආරක්ෂක රෙගුලාසි යටතේ සිරගත කිරීමකට ලක්වන මෙතුමා ලන්ඩන් කිංග්ස් කොලීජියට සිය ක්‍ැහකදබ මබාැර එයැ ඊරසඑසිය ධජජමච්එසදබ නමැති ආචාර්ය උපාධි නිබන්ධනය ඉදිරිපත් කරන්නේ බෝගම්බර සිපිරිගෙයි හිදිමින්ය.

උග‍්‍ර බි‍්‍රතාන්‍ය විරෝධී ආකල්පයක් දැරූවෙකු වන මොහු තවත් සමාජවාදී නායකයින් කිහිපදෙනෙකු සමග බෝගම්බර සිරගෙදරින් පලා යන අතර ඉන්දීය බෝල්ෂෙවික් මතවාදීන් හා එක්ව ”ඉන්දීය – ලංකා හා බුරුම බෝල්ෂෙවික්-ලෙනින් පක්ෂය” පිහිටුවා ගන්නා ලදී. ඉන්දියාවේදී ද බි‍්‍රතාන්‍යයන්ගෙන් සැගවී ජීවත් වීමට සිදු වූ නිසා ”ගෝවින්දන් ”නමින් තම නාමය වෙනස් කරගත් අතර ”ලිලි රෝයි’ යන යන ආරූඪ නාමයෙන් පුවත්පත්කරණයේහිද නියැලෙන ලදී. ඉන් ලද අභාෂයත් සමග ලංකාවට පැමිණෙන මොහු 1935 දී ”ලංකා සම සමාජ පක්ෂය” පිහිටුවන ලදී. එය ලංකාවේ ප‍්‍රථම සමාජවාදී පක්ෂයද විය. මොහු එහි පුරෝගාමී සභාපතිවරයාද විය.

මෙසේ අනේක විවිධ දුෂ්කරතා මධ්‍යයේ ආචාර්ය උපාධිය සම්පුර්ණ කරන ඔහු ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥවරයෙක් ලෙසද දිවුරුම් දෙන ලදී. ඔහුගේ සමකාලීන හිතමිතුරන් වූ ආචාර්ය ඇන්.එම් පෙරේරා‘ පිලිප් සහ ලෙස්ලි ගුණවර්ධන,ආචාර්ය එස්.ඒ. වික‍්‍රමසිංහ හා එඩ්මන් සමරක්කොඩි වැන්නවුන්ද 1930 මුල් අවධියෙදී එංගලන්තයෙන් හා ඇමරිකාවෙන් අධ්‍යාපනය ලබා පසුව ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන් මාක්ස්වාදය හැදෑරු ”ට්‍රොස්කිවාදී ” තරුණයින් විය. 1935 දෙසැම්බර් 21 වනදා ලංකා සම සමාජ පක්ෂයේ සමාරම්භක රැස්වීම අමතන මෙම 28 වියැති ඉංග‍්‍රීසි කථික අද්වකාත්වරයා එකල ආකර්ශනික කථිකයෙක් විය.

ලංකා ජාතික කොන්ග‍්‍රසය හා ඒ.ඊ ගුණසිංහගේ ලංකා කම්කරු පක්ෂය ගෙන ගිය මහජන රැස්වීම් විවේචනය කරමින් ඔහු ප‍්‍රකාශ කළේ මෙම සංවිධානයන් ජනතාවගේ නමින් තම අධිකාරී බලය ස්ථාපිත කිරීමෙහිලා ක‍්‍රියා කරන බවයි. මෙය සමාජ විප්ලවයක ආරම්භය විය. ඉන් නොනැවතී 1947 දී වැල්ලවත්ත-ගල්කිස්ස ජන්ද කොට්ඨාශයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන ඔහු පාර්ලිමේන්තුවට තේරීපත් වූ මුල් සමාජවාදී නායකයින් පස්දෙනාගෙන් කෙනෙකු විය. උඩරට වතුකර ඉන්දීය දෙමළ ජනතාවගේ ජන්ද අයිතිය අහිමි කරමින් 1948 දී පාර්ලිමේන්තුවට ගෙන ආ පුරවැසි පනත් කෙටුම්පත විවේචනය කරමින් ඔහු තම ජාතීවාදී විරෝධී අදහස් හෙළි කරන ලදී. ඒ බැව් එතුමාගේ ”ජාතිවාදය යනු ප‍්‍රතිචාර දැක්වීම සදහා පහසු ආයුධයකි. නමුත් මම එක් දෙයක් මේ ආණ්ඩුවට සිහිකරවනු කැමැත්තෙමි.

අතීතයේදී භාවිතා කරන ලද හා අවසාන වශයෙන් ප‍්‍රතිචාරයම විනාශකාරී වූ ආයුධ ද තිබේ” යන ප‍්‍රකාශය තුළින් පැහැදිලි වේ. 1952 වර්ෂයේ දී තම ආසනයෙන් පරාජයට පත් වුවද නැවත 1956 හා 1960 යන වර්ෂයන්හි දී පාර්ලිමේන්තුවට පත්වන කොල්වින් ආර් ද සිල්වා විශේෂයෙන්ම පාර්ලිමේන්තු විවාදවලදී කැපී පෙනෙන චරිතයක් විය. 1956 දී බණ්ඩාරනායක ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය භාෂා කෙටුම්පත පිළිබද විවාදයේදී එයට විරුද්ධ වෙමින් ඔහු පහත සදහන් මතය පළ කරන ලදී.

”අපට අවශ්‍ය අධිරාජ්‍යවාදී රාක්ෂයින් විසින් තලු මරමින් කොල්ලකෑ හැකි ආකාරයේ ලේ වැගිරෙන දෙපළු විමක්ද, නැතිනම් ස්වාධීන ශ‍්‍රී ලංකාවක්ද ? භාෂා ගැටලුව යටතේ සාකච්ජාවට ලක්විය යුත්තේ මෙම කරුණයි. එක් භාෂාවක් – ජාතින් දෙකක් ද නැතිනම් භාෂා දෙකක් එක් ජාතියක්ද යන්න අප තීරණය කළ යුතුය”

පසුව ලංකාව තුළ දෙමළ තරුණයන් විසින් වෙනම ඊළාම් රාජ්‍යයක් සදහා ගෙනගිය අරගලවලින් ඔහුගේ මෙම අනාවැකිය සනාථ විය. තවදුරටත් ඔහු මරණිය දණ්ඩනය සම්බන්ධව මානුෂවාදී ආකල්පයක් දැරූවෙක් විය. 1956 වර්ෂයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ”මරණ දණ්ඩනය තාවකාලිකව නවතා දැමීම පිළිබඳ පනත් කෙටුම්පත’ පිළිබඳ විවාදයේදී මෙකී අදහස් පිළිබිඹු විය. ඔහු ප‍්‍රකාශ කළේ ජිවත් වීමේ අයිතිය යනු යමෙක්ට අහිමි කළ පසු පෙරලා ලබාදිය නොහැකි අයිතියක් බවත් ඇහැට ඇහැක් – දතට දතක් යන සංකල්පයෙන් අප මිදිය යුතු බවත් ය.

කොල්වින් ආර් ද සිල්වා අනුස්මරණ දේශනයකදී ජි. එල් පීරිස් මැතිතුමන් එතුමාගේ නීතිඥ භූමිකාව අර්ථ දක්වන ලද්දේ ලංකාවේ නීති කේෂ්ත‍්‍රය තුළ මහා ප‍්‍රතිමාවක් වන එච්. වී. පෙරේරා මැතිතුමන්ගේ නාමය හා සමාන කළ හැකි ජාතියට බිහි වූ එකම නීතිඥවරයා මෙතුමා බවයි. මෙය එතුමාට ලද හැකි උපරිම ගොරව නාමයක් වන බව නොඅනුමානය.

මේ අනුව නීතිය හා දේශපාලනය යන එකිනෙකින් වෙන් කර ගැනීමට අපහසු විෂයන් ද්විත්වයේම අධිකාරීත්වයක් පිහිට වූ අද්විතීය චරිතයක් වූ කොල්වින් ආර්. ද සිල්වා නීතිඥවරයෙක් වශයෙන්ද එකල ප‍්‍රසිද්ධ වූ සෑම අපරාධ නඩුවකම පාහේ පෙනී සිටින ලදී. ”සතාසිවම් නඩුව’ වැනි නඩු හරහා ඔහු ලංකාවේ පමණක් නොව ලෝක ප‍්‍රසිද්ධ අපරාධ නීතිඥවරයෙක් බවටද පත් විය. එවැනි නඩුවලදී ඔහුගේ හරස් ප‍්‍රශ්න ඇසීමේ කැපීපෙනෙන දක්ෂතාව ප‍්‍රකට විය. මෙලෙස තම සේවාදායකයින් ජයග‍්‍රහණය කරවීමට ඔහුට හැකි වුවද මෙවැනි නඩු නිසා ඔහු දේශීයව මෙන්ම ජාත්‍යන්තර තලයේදී ද යම් යම් අපහසුතාවයන්ට මුහුණ දුන්නේය.

1970 වර්ෂයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ධුර දරන මෙතුමා 1975 දී මැතිනිය විසින් ඇන්. එම් පෙරේරා හා ලෙස්ලි සමග ඔවුන්ගේ පක්ෂය ඉන් ඉවත් කරන තුරුම සේවය කරන ලදී.

ඉන් ඉක්බිතව සිදු වූ එන්.එම් පෙරේරාගේ මරණයත් සමග සම සමාජ පක්ෂයේ නායකයා බවට පත් වන මොහු 1982 ජනාධිපති අපේක්ෂක වශයෙන්ද නම් කරන ලදී. ලංකා ඉතිහාසය තුළ ප‍්‍රථම වරට මුලික අයිතිවාසිකම් පරිච්ජේදයක් ද ඇතුළත් කරමින් සකස් කරන ලද ප‍්‍රථම ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඔහුගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කාරණා සම්බන්ධව වන දැනුම හොදින් පිළිබිඹු කරන ලද අවස්ථාවක් විය.
කෙසේ වුවත් කිසිදු ප‍්‍රතිඵලයක් අපේක්ෂා නොකරමින් ඔහු මරණයට පත්වන තුරුම ජනතාවට සේවය කරනු ලැබීය.

1987 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් මැයි දින රැළි පැවැත්වීම තහනම් කරන ලද අතර එතුමා විසින් ඊට විරුද්ධව උද්ඝෝෂණයක් මෙහෙයවන ලදී. එදින පොලීසිය විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයක ප‍්‍රතිඵලයක් ලෙස දැඩි පිළිස්සුම් තුවාලවලට ලක්වන ඔහු මිය යන තුරුම ඉන් පීඩා වින්දේය.

82 වැනි වියේ පසු වෙද්දී 1989 පෙබරවාරි 27 වන දින මෙතුමා දැයෙන් සමුගත්තේ 1988 දී ඔහුගේ පක්ෂය තවත් වාමාංශික පක්ෂ ත‍්‍රිත්වයක් හා සන්ධාන ගතව මැතිවරණය ජයග‍්‍රහණය කර එක්සත් සමාජවාදී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට දින කිහිපයක් පමණක් ඉතුරුව තිබිය දීය.

සැකසුම
වත්සලා සමරසිංහ
අයේෂා තරංගනී

Recommended For You

About the Author: Editor