ඔබට සරුසාර කුඹුරක් අවශ්‍යද ?: ජෛව විද්‍යාත්මක පාලනය

03 කොටස

සත්ව ගහණයන් අතර සමතුලිතභාවයක් පවත්වාගෙන යාම සඳහා සෑම විටම ස්වභාව ධර්මය පියවර ගෙන තිබෙනවා. ඒ නිසා ඕනෑම ජීවි විශේෂයකට ස්වභාවික සතුරන් සිටිනවා. ස්වභාව ධර්මයේ නියමයක් වන මෙම තත්ත්වය උපක‍්‍රමශීලීව භාවිත කිරීම මගින් මිනිසාට සුවිශාල වාසියක් අත්පත් කොට ගත හැකියි. මෙය අද ‘‘ජෛව විද්‍යාත්මක පාලනය’’ යනුවෙන් අලූත් ක්ෂෙත‍්‍රයක් බිහි කිරීම දක්වා වර්ධනය වී තිබෙනවා. අපේ පාරම්පරික කෘෂිකර්මාන්තයේදී, විශේෂයෙන් වී වගාවේදී මේ ජෛව විද්‍යාත්මක පාලනය ඉතාමත් ප‍්‍රශස්ත ආකාරයෙන් භාවිත කර තිබෙන බවක් දැකිය හැකියි.

වී වගාවට විශාල හානිය කරන්නේ කෘමීන් විසිනුයි. ඒ නිසා සරුසාර අස්වැන්නක් සඳහා අනිවාර්යයෙන්ම මේ වගාවට හානිකර කෘමි ගහනය පාලනය කළ යුතුමයි. මේ සඳහා කෘෂි රසායනික ක‍්‍රම භාවිත කිරීම වෙනුවට පරිසරයට හා අපේ ශරීර සෞඛ්‍යයට වඩාත් හිතකර ජෛව විද්‍යාත්මක පාලන ක‍්‍රම අනුගමනය කළ හැකියි.
ස්වභාවික සතුරන් ක‍්‍රියාත්මක වන ආකාරය

කෘමි ගහනය පාලනය කිරීම සඳහා ස්වභාවික සතුරන් තුන් ආකාරයකට ක‍්‍රියාත්මක වෙනවා.
1 විලෝපිකයන්
2 පරපෝෂීන්
3 රෝග කාරකයින්

විලෝපිකයන්

‘විලෝපිකයා’ යනුවෙන් අදහස් වන්නේ, තම ආහාරයට වෙනත් සතුන් ගොදුරු කර ගන්නා සතෙක්. වී වගාවේදී ප‍්‍රධාන වශයෙන් වැදගත් වන විලෝපිකයින් කාණ්ඩ කිහිපයක් සිටිනවා. ඒ අතර මකුළු වර්ග, බඹරුන් වර්ග, කුරුමිණියන්, කූරන්, මකුණන්, ජලජ සතුන්, පක්ෂීන්, මත්ස්‍යයින්, උරගයින්, උභය ජීවීන් සහ වෙනත් කාණ්ඩවලට අයත් සතුන් දැකිය හැකියි.

පරපෝෂිතයන්

‘පරපෝෂිතයා’ යනුවෙන් සැලකෙන්නේ, යම් ජීවියෙකු අඩු වශයෙන් තමන්ගේ ජීවන චක‍්‍රයේ අවස්ථාවක වෙනත් ජීවියෙක් ධාරකයා කර ගෙන ජීවත් වනවා ද එවැනි සතෙකුටයි. රෝගී ශාකයක සිට නීරෝගී ශාකයකට රෝග බෝ කිරීමේ හැකියාව පරපෝෂිතයින්ට තිබෙනවා.

පරපෝෂිතයින් හානි කරන ධාරකයාගේ වර්ධන අවස්ථාව අනුව ඔවුන් කොටස් තුනකට බෙදා දැක්විය හැකියි.
1 බිත්තර පරපෝෂිතයින්.
2 කීට පරපෝෂිතයින්.
3 පිලා පරපෝෂිතයින්.

වී වගාවේ දී අපට ප‍්‍රධාන වශයෙන් අහිතකර පරපෝෂිතයින් නව දෙනකු දැකිය හැකියි. ඒ, පුරුක් පණුවන්ගේ බිත්තර, කීට, පිලා, කොළ කන දළඹුවන්ගේ පිලා, ගොක් මැස්සාගේ බිත්තර සහ කීට අවස්ථාව වශයෙනුයි.

  1. රෝග කාරකයින් ( දිලීර, බැක්ටීරියා, වෛරස් හා වට පණුවන්*
    රෝගකාරකයන් මගින් ජීවියෙක් රෝගී තත්ත්වයට පත්කර එම ජීවියා විනාශ කරයි. ගොයමේ සිටින පළිබෝධකයන් වන කීඩෑවන්, කොළ අකුළන දළඹුවා, පුරුක් පණුවන් හා කොකු පණුවන් ගොයම් මැක්කන්, කරල් කන දළඹුවන්, ගොළුබෙල්ලන් ආදි විවිධ රෝග කාරකයන්ගෙන් වී වගාට විශාල ලෙස හානි සිදුවෙනවා.
    වී ගොවිතැනේ සතුරන් වන ඉහත සඳහන් විවිධ රෝග කාරකයින්ගේ ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි ස්වභාවික සතුරන් රැසක් ද ගොයම තුළම ජීවත් වෙනවා. ඔවුන් අතර, ඉබි කුරුමිණියා, රතුකාවා, බත්කූරන්, විජිනි මකුළුවන්,වැනි වගාවන්ට හිතකර ලෙස කටයුතු කරන විවිධ කාණ්ඩවලට අයත් සතුන් වර්ග 29ක් පමණ අපට හඳුනාගත හැකි වෙනවා. මෙම සතුන් ‘ගොවියාගේ මිතුරන් ’ ලෙස සැලකිය හැකියි.
    ස්වභාවික මිතුරන් ගැන ඔබ නොදත් දේ

වී ශාකයට වින කටින සතුරන් විනාශ කරන මිතුරු ජීවීන් ගැන අප තුළ නිසි දැනුමක් නොමැති වීම එම ජීවීන්ගේ විනාශයට හේතු වී තිබෙනවා. ඒ නිසා පහත සඳහන් කරුණු ගැන ඔබ දැනුවත් විය යුතුයි.

1 මෙම ස්වභාවික මිතුරන් අඩු වූ විට හෝ නොමැති වූ විට කෘමි පළිබෝධක ගහනය වේගයෙන් වර්ධනය වෙනවා.
2 සාමාන්‍යයෙන් ස්වභාවික සතුරන් පරිසරයට පිවිසීමට කාලයක් ගත වන අතර ඔවුන්ගේ ගහනය වර්ධනය වෙන්නේ ඉතා සෙමෙන්.
3 ස්වභාවික මිතුරන් වන සතුන් පරිසරයේ නොනැසී පැවැත්මට හේතුවන කරුණු අතර ‘ස්වජාති භක්ෂණ ක‍්‍රියාවලිය’ වැදගත් වෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් ආහාර හිඟ කාලයේදී වුව ද ඔවුන් ජීවත් වෙනවා.

4 වී ශාකයේ සතුරන් ‘‘අර්ධ රූපාන්තරණය’’ සහ ‘‘පූර්ණ රූපාන්තරණය’’ යනුවෙන් ආකාර දෙකකට ජීවන චක‍්‍රය ගෙවනවා.

5 අර්ධ රූපාන්තරණය සහිත සතුන් විශාල සංඛ්‍යාවක් එකවර ඇතිවන බැවින් ඔවුන් පාලනය කිරීම සඳහා ප‍්‍රමාණවත් තරම් හිතකර සතුන්ට පරිසරයේ ජීවත් වීමට නියරේ පාලනය කළ වල් පැළෑටි ප‍්‍රමාණයක් තිබීම අත්‍යවශ්‍යයි. එම නිසා නියරේ ජෛව විවිධත්වය පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි.

6 රසායන පොහොරවලින් කෘත‍්‍රීමව නිල්ල ගැසූ ගොයම කෘමි පළිබෝධකයින්ගේ ප‍්‍රියතම වාසස්ථානයක්. ඉන් ඔවුන්ගේ ගහනය වැඩි වී වසංගත තත්ත්වයකට පත්විය හැකියි.

7 හිතකර සතුන්, අහිතකර සතුන් ආහාරයට ගන්නා බැවින් පරිසරයේ සමතුලිත බවක් නිරන්තරයෙන් ඇති වෙනවා.

8 වස විස යෙදීමෙන් මෙම සමතුලිතභාවයට හානි සිදුවෙනවා.

වී වගාවේ හතුරෝ උන් වනසන අපේ මිතුරෝ කොපු පණුවා

කොපු පණුවා වී වගාවට ප‍්‍රබල හානියක් කරන සතෙක්. මේ නිසා කොපු පණුවාගෙන් වී වගාව ආරක්ෂා කර දීමට ස්වභාවික මිතුරන් රැසක් අපට ඉන්නවා.

බිත්තර : ඉබි කුරුමිණියා, අංදිග තණකොළ පෙත්තා, අංදිග පළගැටියා.

කීටයා: බෝතල් කුරුමිණියා, ජල පදිකයා සහ බැව්මේරිය බඹරායි.

කෝෂ : ටෙට‍්‍රස්ටික් බඹරා සහ ට‍්‍රයිකොමැලෝපයිස් බඹරා

සුහුඹුලා : දැල් බඳින මකුළුවා සහ මහ බත්කූරා

දුඹුරු පැළ කීඩෑවා

දඹුරු පැළ කීඩෑවාගේ ජීවන චක‍්‍රයේ විවිධ අවස්ථාවලදී ඌව ගොදුරු කර ගන්නා ස්වභාවික සතුන් විශාල පිරිසක් අපට හමු වෙනවා.
බිත්තර : ඇනගරස් බඹරා, ගොනටෝසෙරස් බඹරා සහ ඔලිගොසිටා බඹරා
සුහුඹුලා : වෘක මකුළුවා, බෝතල් කුරුමිණියා, ට‍්‍රයිනිඞ් බඹරා සහ කුරු මකුළුවා
ශිෂුවා : ඉබි කුරුමිණියා, මයික්‍රොවලියා, මිසෝවලියා, ජල පාදිකයා සහ ජල මනින්නා

කොළ හකුළන දළඹුවා

බිත්තර : කතුරා, තණකොළ පෙත්තා සහ ගොනටෝසෙරස් බඹරා
කෝෂය: බැව්මේරිය බඹරා සහ ට‍්‍රයිකොමැලෝපයිම් බඹරා
සලඹයා : හීන් බත්කූරා, කුරු මකුළුවා.
දළඹුවා : ඉබි කුරුමිණියා, බෝතල් කුරුමිණියා, ජල මනින්නා, ජල පාදිකයා, මයික්‍රොවිලියා, ට‍්‍රයිකොමැලෝප්සිස් බඹරා

පැළ මැක්කා

පැළ මැක්කාගේ ජීවන චක‍්‍රයේ විවිධ අවස්ථාවලදී ඌව ගොදුරු කර ගන්නා ස්වභාවික සතුන් විශාල පිරිසක් අපට හමු වෙනවා.
බිත්තර : ඉබි කුරුමිණියා, ඉබි කුරුමිණි කීටයා.
කීටයා : ඉබි කුරුමිණියා, ජල මනින්නා, බෝතල් කුරුමිණියා, කුරු මකුළුවා, මයික්‍රොවිලියා.
සුහුඹුලා : ඉබි කුරුමිණියා, කුරු මකුළුවා, බෝතල් කුරුමිණියා, මයික්‍රොවිලියා, ජල මනින්නා.

වඳ වී යන ගොවියාගේ මිතුරෝ

හිතකර සතුන්ගෙන් ප‍්‍රායෝජන ගන්නා වී වගාවේ ඒකාබද්ධ පළිබෝධ පාලන ක‍්‍රම පරිසර හිතකාමී වී වගාවට හොඳම විසඳුම වශයෙන් සැලකෙනවා. මේ සඳහා හානිකර සතුන් විනාශ කරන මිතුරු සතුන් ගැන අප පැහැදිලි කරගත යුතුයි. ඒ සතුන් අතර පහත සඳහන් අය ඉදිරියෙන්ම සිටිනවා.

මකුළු වර්ග, දෙබරුන් (වෙල්) ඉබි කරුමිණියා, බඹරුන් (වෙල්) ගෙම්බා, අංදිග පළඟැටියා, රතු කඩියා, හූනා, මාළු, කඩියා, දිය ලියන්නා, කූඹි, ජල පාදිකයා, බත් කූරා, ජල බෝට්ටුවා, බෝතල් කුරුමිණියා, කතුරන්, දියබරියා, කටුස්සා, කාවුන්, කුරුල්ලන් ( ගිරව්, වී කුරුල්ලන් හැර) කීඩෑහරුවන්.

වී වගාවට හිතවත් මේ සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා දැනගත යුතු දේ

1 නියර ගොයමේ හිතකර සතුන්ට වාසස්ථානයක් කරන්න.
2 නියර ශක්තිමත් වන පරිදි කිවුල් ඇළ පාදා රළුවට සකසා ගන්න. මඩ තැබීම නොකරන්න.
3 ගොයමේ වර්ධන අවදියේදී නැවත කිවුල් ඇළ පෑදීමෙන් නියර යළි ශක්තිමත් වෙනවා.
4 නියර මඩ තැබීමෙන් වල් පැළ කුඹුරේ තහවුරු වෙනවා.

සැකසුම
තුෂාල් විතානගේ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පත‍්‍රිකා සහ ‘වස විස නැති ධාර්මික වී ගොවිතැන- අත්පොත ඇසුරිණි.

Recommended For You

About the Author: Editor