දෛවය යනු ජීවිතය නොවේ ඔබේ ගැළවුම්කරුවා ඔබමයි

මේ සමාජයේ ජීවත්වන අප තම ජීවනාලිය ගත කිරීමට බොහෝ ලෙස තැත් කරනු ලබයි. තම ජීවනාලිය ගතකරන අතරතුර තම ජීවිතයට සැප, දුක, නින්දා, ප‍්‍රසංසා, දුක් කම්කටොලූ වැනි බොහෝ සාධක අප හමුවට එනු ලබයි.

අප ජීවිතයට හොද දෙයක් ලැබෙන කොට සතුටක් ද නරක දෙයක් සිදුවෙන කොට දුකක් ද ඇති වීම මිනිසුන් වන අප සිත් තුළ ස්වභාවය වේ. එම සිදුවීම් සියල්ලම තම දෛවයට අනුව සිදුවන්නේ යැයි බොහෝ මිනිසුන් සිතන අතර තම ජීවිතය දෛවය නමැති භාරකාරයාට භාරදී සිදුවෙන සියල්ල විදදරා ගනිමින් කටයුතු කිරීමට මානවයා උත්සුක වී ඇත.

එහෙත් උත්සහවන්තයා ජයගනී යන ප‍්‍රස්ථා පිරුළු උපයෝගී කොට ගනිමින් වර්ථමාන සමාජය තුළ අපගේ දෛවයට අභියෝග කිරීමට අපට හැකි වී ඇත.

දෛවයට අවශ්‍ය පරිදි අපගේ ජීවිතය තීරණය නොකර අපට අවශ්‍ය පරිදි අපගේ දෛවය තීරණය කිරීමට හැකි බව මාර්ග කීපයක් ඔස්සේ විදහා දක්වමින් නිදසුන් සහිතව කරුණු සනාථ කිරීමට මා විසින් උත්සහයක් දරණු ලබයි.

තව නොබෝ දිනකින් උසස් පෙළ වැනි ඉතා තරගකාරී විභාගයකට මුහුණ දීමට උසස් පෙළ හදාරන සිසුන්ට සිදු වනු ලැබේ. එහෙත් විභාගයක් ජය ගැනීමට නම් එක් හේතුවක් නොව බොහෝ හේතු සාධක බලපානු ලබයි. ඒ අතර ප‍්‍රබල අරමුණකින් යුක්තව විභාගයට සූදානම් වීම, විභාගය ජය ගැනීමට තරම් තම බුද්ධිය දියුණු කර ගැනීම, අසීමිත කැප වීම, උත්සාහය හා විභාගය ලියනු ලබන අවස්ථාවේ ඊට සාර්ථකව මුහුණ දීම වැනි විද්‍යාත්මක කරුණු බලපානු ලබයි. එහෙත් තවද එක් කරුණක් වන වාසනාව හා අවාසනාව ද මේ සදහා බලපානු ලබයි. මෙවැනි හේතූන් මත ඔහුගේ හෝ ඇයගේ දෛවයට අභියෝග කිරීමට හැකිවේ.

පාසල් පංති කාමරය තුළ නැතිනම් ටියුෂන් පංති කාමරය තුළ එකිනෙකට වෙනස් සිසුන් පිරිසක් ඉගෙනීම් කටයුතු සිදු කරනු ලබයි. මොවුන් අතර තරගකාරීත්වයක් ඇත. ඉදිරිපෙළ අසුන්වල සිටින සිසුන් පිරිස පිළිබද අදාළ පංතියේ ගුරුතුමාගේ අවධානය බෙහෙවින් යොමුවන අතර පසු පස සිටින සිසුන් පිළිබද කිසිම තක්සේරුවකින් තොරව ඉගැන්වීමේ කටයුතුවල ගුරුතුමා නිරත වේ. එහෙත් ‘‘ පසු පස පේළිවලින් බුද්ධිමතෙකු බිහිවේ යැයි ’’ යන වදන සනාත කරමින් උ/පෙළ විභාගයට මුහුණ දිමෙන් ඉදිරිපෙළ සිසුන්ට වඩා පසු පස පේළිවල සිසුන් විශිෂ්ඨ ප‍්‍රතිඵල ලබා ගනිමින් තම ජයග‍්‍රහණය සනාථ කරන බව බොහෝ ගුරුවරුන්ගෙන් අත්දැකීම් මත සැකවින් ප‍්‍රත්‍යක්‍ෂ වනු ලබනවා. ඉදිරි පෙළ අසුන් වල සිටින සිසුන් අඩු ප‍්‍රතිඵලයක් ලබා ගැනීමටත් පසුපස පේළිවල සිටින සිසුන් විශිෂ්ඨ ප‍්‍රතිඵලයක් ලබා ගැනීමටත් එකම හේතුව දෛවය නොව මා විසින් ඉහත සදහන් කරන ලද කරුණු කිහිපය බව ප‍්‍රබල ලෙස සනාථ වනු ඇත.
තවද මෙය ජ්‍යොතිෂයට අනුව වෙනත් මත දරමින් ජ්‍යොතිෂය නමැති මාර්ගයට අනුව ගමන් කරනු ලබයි. ජ්‍යොතිෂයට අනුව නම් විභාග අසමත් වීම සිදු වී ඇත්තේ ඔහුගේ හෝ ඇයගේ දෛවයට අනුව හා එම විභාග වකවානුව තුළ ඔහුට හෝ ඇයට අපල කාලයක් උදාවී තිබීම නිසයි. දෛවය කෙසේ වුවත් මෙම අපල කාලේ විභාගයට මුුහුණ දිමේ කාලය තුළම හට ගැනීමට හේතුව පිළිබද පමණක් ගැටෙමින් ඒවා මග හරවා ගැනීමට මිනිසුන් උත්සුක නොවෙති. නමුත් බොහෝ මිනිසුන් ජ්‍යොතිෂය නමැති චින්තනයට ගරු කරමින් ඒ මතම ඇලී ගැලී සිටිති. තමන්ගේ වාසනාව කරුමයක් කර ගනු ලබන්නේ තමන්ම බව අප තේරුම් ගත හැකිය. උත්සහය හා කැපවීම ඇතිනම් අපට අවශ්‍ය පරිදි බඹරේ වැල්ලේ වුවද කැරකවීමට අපට පුළුවන්.

තවද බොහෝ පුද්ගලයන්ගේ මානසිකත්වය මත තම ජීවිතය තීරණය වේ. යම්කිසි කාර්යයක් කිරීමට පෙර ‘‘ මට එය කිරීමට බැහැ’’. යන සංකල්පය ඉස්මතු වේ. තම ආරම්භයම තම අවසානය කරගනිමින් මිනිසුන් පරාජය භාර ගැනීමට පෙළඹ ඇත.

තවත් පිරිසකට බාධා හා අවහිරතා මතුවේ එයට බිය වී කල්පනා කරමින්, ඉදගන්ත තැනම සිටිමින්, බලාගත් අත බලා ගනිමින් තමාගේ අවාසනාව යැයි සිතා කටයුතු කරනු ලබයි. උත්සාහය හා කැපවීම නැතිතැන අවාසනාව රජ කරන බව බොහෝ පුද්ගලයක් නොදනිති. බොහෝ මිනිසුන් දැන දැනම තම ජීවිතය දෛවයට තීරණය කිරීමට ඉඩ ලබා දේ. තමා සිදු කරන ඕනෑම හොද නරක ක‍්‍රියාවකටම දැඩි අධිෂ්ඨානය, උත්සාහය, විශ්වාසය, කැපකිරීම ඇතිනම් එය හිතනවාටත් වඩා හො`දින් කර ගැනීමට අපට හැකියාව ඇත. තමා වටා අවාසනාව වට කරගෙන ඇත්නම් අප කළ යුත්තේ එක් ගුණයකට සීමා නොවී දෙගුණයක් නැති නම් තුන්ගුණයක් තම කැපවීම දියුණු කර ගැනීම පමණි.

පුංචි හේතුවකට තම ජීවිතය නැති කිරීමට ඉඩ නොදී එම පුංචි හේතුව තම ජීවිතයට රිටක් කර ගනිමින් ජීවිතය ජය ගැනීමට හැකියාව සලසා ගත යුත්තේ අපමය. අධිෂ්ඨානය හා කැපවීම ඇත්නම් අවාසනාවට රජ වීමට ඉඩ නොදී දෛවයට අභියෝග කරමින් ජීවිතයට වාසනාව ගෙන ඒමට හැකියාව ඇති බව නොඅනුමානය.■

සටහන
සුපුන් නිලංක ඉද්දමල්ගොඩ

Recommended For You

About the Author: Editor