සැබෑ බෞද්ධයා ගත යුතු මග කුමක් ද ?

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ
පැපිලියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරාධිපති, පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරී, රාජකීය පණ්ඩිත,

‘‘චත්තාරි ඉමානි භිකවෙ ඉන්ද්‍රියානි, සදද්ද්‍ර ඉන්ද්‍රියංථ විරිය ඉන්ද්‍රියං, සමාධි ඉන්ද්‍රියංති, ඉහේ ඛො භික්ඛවෙ චත්තාරි ඉන්ද්‍රියානි’’ අංගුත්තර නිකාය – චතුක්ක නිපාතය.

සැදැහැවත් පින්වතුනි, ඉහත සඳහන් ධර්ම පාඨය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට යි. එම නිපාතයේ ඉන්ද්‍රිය වර්ගයේ ඇතුළත් ඉන්ද්‍රිය සූත‍්‍රයේ එන මෙම ගාථාව මා මාතෘකාව වශයෙන් තෝරා ගත්තා.

මෙතැනදී ඉන්ද්‍රිය කියන්නේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය නොවෙයි. ඇස, කණ, නාසය, දිව ආදී ඉන්ද්‍රිය මිනිස් ශරීරයේ ඇති ඉන්ද්‍රිය ලෙස සඳහන් කරන්න පුළුවන්. ගස් කොළන් ගත්තොත් ගෙඩි, මල්, අතු, ආදී ඉන්ද්‍රිය තිබෙනවා. මේ ඉන්ද්‍රිය කියන්නේ ඒවාට අයත් වූ දේවල් කියන අර්ථයෙන්. නමුත් ගාථාවේ සඳහන් ඉන්ද්‍රිය නැතිනම් ධර්මයේ සඳහන් ඉන්ද්‍රිය ඔය කියන ඉන්ද්‍රිය නම් නොවෙයි.

මෙම සූත‍්‍රයේ පෙන්වා දෙන්නේ, යම්කිසි පුද්ගලයෙකුගේ ධර්ම මාර්ගය, ධාර්මික ගමන, සාක්ෂාත් කර ගන්නට, සංවර්ධනය කර ගන්නට, ප‍්‍රතිඵල සාධනය කර ගන්නට, සාර්ථක කර ගන්නට අදාළ වන කරුණු හතරක්. මේ කරුණු හතර එකින් එක ගත්තොත් බෞද්ධ ජීවිතය ඉදිරියට ගෙන යන්නට, බෞද්ධකමේ ප‍්‍රතිඵල නෙළා ගනන්ට, අවශ්‍ය කරන උපදෙස් ඒ තුළින් සැපයෙනවා. ඒ ඉන්ද්‍රිය හතර තමයි, සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය හා සමාධි ඉන්ද්‍රිය යනුවෙන් සඳහන් වන්නේ.

‘සද්ධා’ කියන්නේ ආධ්‍යාත්මික ජීවිතයේ, ගමන් මාර්ගයේ ප‍්‍රවේශද්වාරයයි. ‘විරිය’ කියන්නේ එයින් පිවිසුණු පුද්ගලයා ඉදිරියට ගමන් කරන, උනන්දු කරවන ස්වභාවයටයි. ‘සතිය’ කියන්නේ එම ගමනේදී එක අරමුණක සිත පිහිටුවා ගැනීමයි. ‘සමාධි’ය කියන්නේ එසේ පිහිටුවා ගත් සිතේ පවතින තැන්පත් බව යි. එනම් අධිගමය යි.

සද්ධා, විරිය, සති හා සමාධි කියන සතර ඉන්ද්‍රිය හරියට අපේ ඇස, කණ, දිව, නාසය, වැනි ඉන්ද්‍රිය වගෙයි. අපට ගමන් යෑම සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කරනවා. ඇස් දෙකෙන් පේනවා. කන් දෙකෙන් ඇසෙනවා. කකුල් දෙකෙන් ඇවිදිනවා. අත් දෙකෙන් අවශ්‍ය කටයුතු කර ගන්නවා. ඒ වගේ සද්ධා ආදී ඉන්ද්‍රිය මගින් අපේ ආධ්‍යාත්මික ජීවන ගමනට අවශ්‍ය පසුබිම සකස් කරනවා. විමුක්තිගාමියාට විමුක්තිය ලබා දෙනවා. මේ නිසා මේවාට ‘අධිපති ධර්ම’ නැතිනම් ‘‘අධිපත්තෙය්‍ය ධර්ම’’ කියලා කියනවා. ධර්මානුකූල ජීවිතයේ ක‍්‍රියාකාරීත්වය තහවුරු කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම මගිනුයි.

සද්ධා ඉන්ද්‍රිය

සද්ධා කියන්නේ මොකක්ද ? සද්ධා කියන එක විවිධ තැන්වල, විවිධ විදිහට සඳහන් වෙලා තිබෙනවා. ‘ආලවක සූත‍්‍රයේ’ බුදු හාමුදුරුවන් අමතන ආලවක යක්ෂයා, ‘මේ ලෝකයේ මිනිසාට ඇති ශ්‍රේෂ්ඨතම ධනය කුමක්ද ?’ කියලා අහපු වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ‘ සද්ද්‍ර විත්තං පුරිස්ස සෙට්ඨං’’ කියලා. පුරුෂයෙකුට ඇති ශ්‍රේෂ්ඨතම ධනය ශ‍්‍රද්ධාව ලෙසයි උන්වහන්සේ සඳහන් කළේ.

‘‘සද්ධා ධනං සීල ධනං – හිරිඔත්තප්පියං ධනං
සුත ධනං වගෝච – සද්ධා මේ සත්තමං ධනං’’ යන සප්ත ආර්ය අතරින් ද සද්ධා මුල් තැනට ම වැටෙනවා.

පින් කරන පුද්ගලයා මුලින් ම දන් දෙන්න ඕනෑ. පින් කරන්න පෙළෙඹෙන්නේ කුමක් නිසාද ? ශ‍්‍රද්ධාව නිසා නේද පින්වතුනි. ඒ වගේ ම ධර්මයේ පෙන්වා දෙනවා ‘සද්ධා ඡුාතො උපසංකමති’ කියලා. ධර්මයට එන්නේ කුමක් නිසාද ? ශ‍්‍රද්ධාව නිසා.

බුදු දහමේ ඉගැන්වෙන ‘‘ශ‍්‍රද්ධාවයි’’ අන්‍යාගම්වල ඉගැන්වෙන ‘‘භක්තිය’ යි දෙක එකට අරගෙන බැලූවොත් මේ දෙකේ වෙනස අපට හොඳින් දැන ගන්න පුළුවන්. සියලූ දේවවාදී ආගම්වල ඉන්නේ ශ‍්‍රද්ධාවන්තයෝ නොවෙයි. බැතිමතුන්. කතෝලික බැතිමතුන්, හින්දු බැතිමතුන්, මුස්ලිම් බැතිමතුන් ආදී වශයෙන්. ඒ අය භක්තිවන්තයි.

නමුත් බෞද්ධ බැතිමතුන් කියලා අපි කියන්නේ නෑ. බොදු සැදැහැවතුන්, නැතිනම් බෞද්ධ ශ‍්‍රද්ධාවන්තයින් කියලයි අපි කියන්නේ. බුදු දහමේ ඉන්නේ බැතිමතුන් නොවෙයි. සැදැහැවතුන්. ඇයි මේ අපි සැදැහැවතුන් කියලා කියන්නේ ? සැදැහැවතුන් කියන වචනය එන්නේ ‘‘සද්ධාති’’ කියන පාලි වචනයෙන්. සද්ධාති කියන වචනයේ තේරුම තමයි, ‘පිළිගත්’ කියන එක. අපි යමක් පිළිගන්නවා නම් ඊට සාධක අවශ්‍යයයි. භක්තිය කියන්නේ සාධක මත පිළිගැනීම නොවෙයි. විශ්වාසය මත පිළිගැනීමයි. දෙවියන් වහන්සේ, මහා බ‍්‍රහ්මයා, ඊශ්වර ආදීන් පිළිබඳ විශ්වාසයයි ඒ ඒ ආගම්වල තිබෙන්නේ. විශ්වාසය මත පිහිටා පිළිගැනීම තමයි වෙනත් ආගම්වල බැතිමතුන්ගේ ලක්ෂණය. යම්කිසි දිනක මේ විශ්වාසය පළුදු වී ද ? ඒ සමග ම භක්තිය අස්ථාවර වෙනවා. බුදු දහමේ තියෙන්නේ භක්තිය නොවෙයි. එතැන තියෙන්නේ ‘‘මම දකිමි’’ යන අර්ථය යි. ‘‘අහං පස්සාමි’’ ඒ නිසා ම ‘‘අහං – සද්ධාමි’’ මම පිළිගනිමි දකීමෙන් පිළිගැනීම, දැකීමෙන් භාර ගැනීම බුදු දහමේ එන ශ‍්‍රද්ධවයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ, මගේ ධර්මය විවෘත වූ තරමට බබලන්නේ ය’’ කියලයි. හරියට මැණිකක් වාගේ. මැණිකක් හංඟලා තියෙන කොට බබළනවාද ? නැහැ නේද ? සුද්ධ පවිත‍්‍ර කරලා, ඔප මට්ටම් කරලා ගත්තාම කොච්චර ලස්සනද ? ඒ නිසා ම බුදු හාමුදුරුවෝ දේශනා කරනවා ‘‘ඒහි පස්සික’’ – එන්න බලන්න. බලලා තේරුම් ගන්න, කියලා.
දවසක් උපාලි ගෘහපතියා ආවා බුදුහාමුදුරුවෝ ළඟට. මේ ගෘහපතියා හරිම ධනවත්. නිඝණ්ඨනාථපුත්තෙරැු් ශ‍්‍රාවකයෙක්. බුදුහාමුදුරුවෝ දකින්න නම් නොවෙයි ඒ ආවේ. ප‍්‍රශ්න අහලා බුදුහාමුදුරුවෝ අමාරුවෙ දන්නයි. නමුත් මේ සංවාදයේදී උපාලි ගෘහපතියා නොහිතපු දෙයක් සිදු වුණා. ඒ මොකක්ද ? මේ උපාලි ගෘහපතියා බුදුහාමුදුරුවන්ගේ ශ‍්‍රාවකයෙක් බවට පත් වුණා.
බුදුහාමුදුරුවන් කියා සිටියේ, ‘‘ආගම මාරු කරන්න එපා. ඔබම ගිහින් කල්පනා කරලා හිතලා බලලා ඔබේ බුද්ධියෙන් වටහා ගන්න’’ කියලයි.

මේ ධර්මය හොඳයි, මේ කුසල්, මේ ධර්මයේ ගමන් කළොත් හිතසුව පිණිස පවතිනවා කියලා හිතෙනව නම් පිළිගන්න. නරක නම් අත්හරින්න. බුදු දහම තියෙන්නේ වෙන කෙනෙක් කියන දෙයක් පිළිගන්න නොවෙයි. තමන්ගේ අත්දැකීම් පිට, තමන්ගේ ප‍්‍රත්‍යක්ෂය පිට පිළිගන්නා ධර්මයක්. ඒ නිසයි ‘‘පච්චත්තං වේදිතබේබො විඤ්ඤුුහි’’ කියලා සඳහන් වෙන්නේ. නුවණැතියන් විසින් තම තමන් විසින් ම දැනගත යුතු, ප‍්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් තමන්ගේ අවබෝධය තුළ තේරුම් ගෙන භාර ගන්නා දෙයක් අවසාන වශයෙන් ‘‘සද්ධා’’ යන වචනයේ තේරුම ලෙස සඳහන් කළ හැක්කේ ‘අවබෝධය තුළ පිළිගැනීම’’ යන්නයි.

අපේ බෞද්ධ පින්වතුන් බුද්ධිමත්ව සිතාබලා බෞද්ධ ප‍්‍රතිපදාව තුළ ස්ථාවර ගමනක් යා යුතුයි. බෞද්ධ ධර්මය තුළින් පැහැදිලි කරගන්න පුළුවන් නියම සත්‍යය. චතුරාර්ය්‍ය සත්‍ය ගැන කියන විට සත්‍ය ඤාණ, කෘත ඤාණ, කෘත ඤාණ, යනුවෙන් සඳහන් වෙනවා. සත්‍ය ඤාණ කියන්නේ බුද්ධිමය වශයෙන් සත්‍යය දැකීමයි. සත්‍ය ඤාණය ඇති තැනැත්තා හරියට තිරයෙන් එහා දැල්වෙන පහනක් දකින්නේ යම් ලෙස ද ඒ ආකාරයට ඒ පාරේ ගිහින් නිවන් දකිනවා.

පින්වතුනි, ශ‍්‍රද්ධාව විශ්වාසය මත පදනම් වූ දෙයක් නොවෙයි. අවබෝධය මත පදනම් වූ සද්ධාවෙන් යුක්තව බුද්ධ රත්නය මගේ, ධම්ම රත්නය මගේ, සංඝරත්නය මගේ කියන හැඟීමෙන් ක‍්‍රියා කරන්න. අපට ඇති එකම රත්නය, පිහිට, ත‍්‍රිවිධ රත්නය බව අවබෝධයෙන් කටයුතු කරන්න. ‘‘නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධෝ මෙ රතනං වරං, ධමෙමා මෙ රතනං වරං, සංඝො මෙ රතනං වරං’’ඒ නිසානේ පන්සිල් ගන්න පෙර, බුද්ධං සරණං ගච්ඡුාමි, ධම්මං සරණං ගච්ඡුාමි, සංඝං සරණං ගච්ඡුාමි’’ කියලා කියන්නේ. තෙරුවන් සරණ ගිය කෙනෙක් තමයි සද්ධාවන්තයෙක් හැටියට බුදු දහමේ පැහැදිලි කරන්නේ.

වීර්යය ඉන්ද්‍රිය

වීර්යයට පිවිසීමේ දොරටුවක් තමයි ශ‍්‍රද්ධාව. මේ දොරටුවෙන් ඇතුළු වුණා ම වේගවත්ව ඉදිරියට යන්න ඕනෑ. උද්යෝගයෙන්, උනන්දුවෙන්, උත්සාහයෙන් මේ ගමන යන්න ඕනෑ. එයට ‘‘වීර්යය’’ කියලා කියනවා. වීර්යය කියන එක විවිධ තැන්වල සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට අපි කියනවා ‘‘මහා වීර්යයාණන් වහන්සේ ’’ කියලා. බුදුවීමේදී වීර්ය පාරමිතාවක් ලෙස පුරලා තිබෙනවා. වණ්ණුපත ජාතය ඊට හොඳ උදාහරණයක්. බෝසත් චරිතය, සිද්ධාර්ථ චරිතය, තාපස චරිතය දෙස බැලූවොත් ඒ වීර්ය කොතරම් ද කියලා හිතෙනවා. බුදුන් වහන්සේ වැනි වීර්යවන්තයෙක් මේ මිනිස් ඉතිහාසය පුරාවට අපට හමුවෙන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේගේ දුෂ්කර ක‍්‍රියා සමය ගැන හිතන්න. මොන තරම් වීර්යයකින් ඒ දේ කළා ද ? මහා සීහනද සූත‍්‍රය බැලූවහොත් උන්වහන්සේ මොන තරම් වීර්යයෙන් ක‍්‍රියා කළා ද කියලා දැනගන්න පුළුවන්. සත්‍ය සොයා යන ගමනේදී මොන තරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නාද ? නිවන සාක්ෂාත් කරගන්න මොන තරම් මහන්සි වුණා ද ? වීර්යයෙන් ක‍්‍රියා කළාද ? ඒ නිසා, ඒ සඳහා යොමුවෙන්න ඕනෑ… වීර්ය වඩන්න ඒනෑ. නොයෙකුත් දුෂ්කරතාවලට, අභියෝගවලට, දැඩි අධිෂ්ඨානයෙන් මුහුණ දෙන්න වෙනවා.

අපටත් නිවන් සැපත ලබා ගන්න, ළඟකර ගන්න පුළුවන්. ඒත් ඒක හරිම දුෂ්කර, අසීරු කටයුක්තක්. බැරි නෑ උත්සාහ කළො.් වීර්ය තිබෙනා නම්. මේ සියලූ දේ අත්හැරලා අභිනිෂ්ක‍්‍රමණය කිරීම හරිම අමාරුයි. ආසාවන්, තෘෂ්ණාව නැති කළොත් හරිම ලේසියි. ඒ අත්හැරීම තමයි දුෂ්කර කාර්යයක් වෙන්නේ. ශ‍්‍රද්ධාවෙන් එළඹ ගත් වීර්යයෙන් ඒ ගමන යා යුතුයි. ධර්මානුකූල චර්යාව සාර්ථක කර ගන්න නම් වීර්යය වැඞීම අනිවාර්යය දෙයක්. ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නටත් වීර්යය නැතිව බැහැ. දෛවයෙන් හැමදේම සිදුවෙයි කියලා බලාගෙන හිටියට ඒ එක රෝදයක් විතරයි. අනෙක් රෝදේ වීර්යය. ඒ නිසා වීර්යය නැතිව තනි රෝදෙන් මේ ගමන යන්න බැහැ.

‘‘සතිය’’ කියන්නේ සිහියට යි. බුදු දහමේ සිහියට වැදගත් තැනක් දෙනවා. සතියෙන් තොරව කටයුතු කිරීම, සති සම්පජඤ්ඤයෙන් තොරව කටයුතු කිරීම, මනාව දැන දැක කටයුතු නොකිරීම, අවධියෙන් තොරව කටයුතු කිරීම බෞද්ධ මාර්ගයේ තමන් කිරීමට ලොකු බාධාවක්. සිහිය එනිනෙද්‍ර ජීවිතයේ දී, ධර්මානුකූල ජීවිතයේදී ඉතාම වැදගත් වෙනවා. පටාචාරා, ඇඳුමක්වත් නැතිව බුදුහාමුදුරුවෝ ළඟය දුවගෙන ආ වේලාවේ උන්වහන්සේ දේශනා කළේ ‘‘සිහිය උපදවා ගන්න’’ කියලයි. ප‍්‍රකෘති සිහියට එන්න කියලයි.

අපි ජීවත් වෙන්න ඕන සිහියෙන් යුක්තවයි. ඇවිදින්න ඕනෑ සිහියෙන් යුක්තවයි. කන්න බොන්න ඕන සිහියෙන් යුක්තවයි. අපේ සමහර ඇත්තෝ රූපවාහිනිය බල බල කනවා. කෑවේ මොනවද කියලවත් දන්නේ නැහැ. පිඟානට අත යනවා – අත කටට යනවා. කෑවේ බත් ද පාන් ද කියලවත් සමහරු දන්නේ නැහැ. බුදු දහමේ මේ දේවල් අනුමත කරන්නේ නැහැ. අවිදින කොට ‘‘මම ඇවිදිනවා’’ කියලා සිහිය තියෙන්න ඕනෑ. හිටගෙන ඉන්න කොට ‘‘මම හිටගෙන ඉන්නවා’’ කියලා සිහිය තියෙන්න ඕනෑ. කෑම බීම ගන්න කොට, පොතක් පතක් බලන කොට, ගමනක් බිමනක් යනකොට පමණක් නොවෙයි වැසිකිළි කැසිකිළි යන කොට පවා ඒ සෑම දෙයක්ම සිහියෙන් කරන්න ඕනෑ. එහෙම නොවෙන කොට හැමදේම අවුල් වෙනවා. පිළිවෙළක් නෑ. කිසිම දෙයක් හරියට කරගන්න බැහැ. ඒ නිසා ‘‘එළඹ සිහියෙන් ක‍්‍රියා කිරීම’’ ඉතා වැදගත් බව බුදු දහමේ සඳහන් වෙනවා.

බෞද්ධ සම්ප‍්‍රදාය තුළ සිහියෙන් කටයුතු කළ යුතුමයි. එසේ කටයුතු කරන විට සිදුවන අනතුරු අඩුයි. වරදින්නේ නැහැ. ජයග‍්‍රහණය කරන්න නම්, නිවැරදි වෙන්න නම්, නිසි ලෙස යමක් කරන්න නම්, කියන්න නම් සිහියෙන් යුතුව කටයුතු කිරීම ඉතා ම වැදගත්. එහෙම නැතිව ක‍්‍රියා කිරීමේදී අත්වන දුර්විපාක බොහොමයි. අවාසි, ගැටලූ බොහොමයි. ඒවාට උදාහරණ ගණනාවක් ම අපට අපේ සමාජයේ සිදුවන දේවල්වලින් ඉදිරිපත් කළ හැකියි.

සමාධි ඉන්ද්‍රිය

සමාධියත් ඉහත සඳහන් කළ සද්ධාව, වීර්යය, සතිය හා සමානව ඉතාම වැදගත් ධර්මතාවයක්. සමාධිය සමථ භාවනාවක්. සමථය කියන්නේ අපේ සිත්සතන් තුළ විසිර පවත්නා ක්ලේශ ධර්ම යටපත් කිරීමයි. තදංග ප‍්‍රහාණ, වික්ඛම්භන ප‍්‍රහාණ වශයෙන් ක්ලේෂ යටපත් කළ යුතුයි. අපේ සිත විවිධ අරමුණු ඔස්සේ ගමන් කරනවා. ‘දුරං ගමං ඒක චරං’ දුර ගමන් යනවා. දියෙන් ගොඩ දැමූ මත්ස්‍යයෙක් වාගේ තමයි. එකතැන තියා ගන්න අමාරුයි. විවිධ අරමුණු ඔස්සේ ගමන් කරන සිත එක අරමුණක තබා ගැනීම, එක්තැන් කිරීම ‘‘සමාධිය’’ යි. සමාධිගත වන පුද්ගලයා ප‍්‍රඥාව මෙහෙයවා කෙළෙස් මුලිනුපුටා දමනවා.

පින්වතුනි, ගොයම් මිටියක් කපන්න නම් අතින් අල්ලා ගත යුතුයි. ඒ අල්ලා ගැනීම ‘සමථය’ යි. කපා දැමීම විදර්ශනා ඤාණය යි. ඒ නිසා සමථ භාවනාව වගේම විදර්ශනා භාවනාවත් නිවන් මග, නැතහොත් බෞද්ධයාගේ පරම නිෂ්ටාව උදෙසා අවශ්‍ය වෙනවා. ඒ සමාධිය යි. විමුක්ති මාර්ගය උදෙසා සමථය අතිශයින් ම උපයෝගී වෙනවා.

ඉහත සඳහන් කළ ඉන්ද්‍රිය ධර්ම අපේ ජීවිතවලට අතිශයින්ම වැදගත් වෙනවා. විමුක්තියට අදාළ ගමන් මඟ සාධනය කර ගන්නට, සද්ධාවෙන් එළඹෙනවා. ගමන යාමට තල්ලූව දෙන්නේ වීර්ය යි. ඒ ගමන යන්නට සිහිය තියෙන්න ඕන. සිතෙහි එකඟ බව, සමාධිය ප‍්‍රඥාව කරා ගමන් කරනවා. ඒ නිසා මෙම ඉන්ද්‍රිය ධර්ම බෞද්ධයාගේ ප‍්‍රතිපදාවට, ප‍්‍රතිපදාවේ ඉදිරි ගමනට ඉමහත් රුකුලක්් වෙනවා. විමුක්ති ළඟකර ගැනීමට නම් මෙම කරුණු හතර උපයෝගී කරගත යුතුම යි.

ඉහත සඳහන් ධර්ම සිතට ගන්නා ඔබට ඒ අනුව ක‍්‍රියා කිරීමෙන් මෙලොව මෙන් ම පරලොව ජීවිතය ද සාර්ථක කරගෙන පරම ශාන්ත වූ අමා මහා නිවනින් සැනසීමට හැකි වෙනවා. ඒ සඳහා සිත් පහළ වේවා, සිත් පහන් වේවා.

Recommended For You

About the Author: Editor