පාසල් ආරක්ෂාව සම්බන්ධ වෘත්තීය සමිති ප‍්‍රකාශ ඇමැති අකිල හෙළා දකී

බොරදියේ මාළු බාමින් පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් කෙරෙන ඇතැම් වෘත්තීය සමිති ප‍්‍රකාශ දැඩිව හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ඒ බව සඳහන් වේ. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සහ සිවිල් ආරක්ෂක බලකාය සමග එක් ව දිවයිනේ සියළුම පාසල් භූමිවල සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ රට තුළ මතු ව ඇති තත්ත්වය  පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුවයි.
 
ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්  කාරියවසම් මහතා විසින් ආරක්ෂක ප්‍රධානීන් සමග සිදුකළ සාකච්ඡාවලදී  පාසල් ආරම්භ කිරීමට පෙර සියලු ම පාසල් භූමි සහ ඒ අවට ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහභාගිත්වයෙන් පරීක්ෂාවට ලක් කොට ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය  කටයුතු  සිදුකිරීමේ වගකීම  ආරක්ෂක අංශ විසින් භාරගෙන තිබෙනවා.

එමෙන්ම පාසල් ආරම්භ කිරීමෙන් පසුව ද ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සභාගිත්වයෙන් පාසල් සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා.
 
ඊට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින්  ආරක්ෂක ලේකම්වරයා , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ පොලිස්පතිවරයා වෙත ලිඛිත දැනුම්දීම්  සිදුකිරීමට ද පියවර ගැනුනා.
 
මීට අමතර ව පාසල් වල ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ ව දිවයිනේ  සියලුම  පාසල්වල විදුහල්පතිවරුන් , පළාත් කලාප සහ කොට්ඨාස භාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දැනුවත් කරමින් 25/2019 චක්‍රලේඛ නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා. ඒ පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු පාසල් ප්‍රජාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ කරුණු සිහිපත් කිරීම සඳහායි.
 
තත්ත්වය මෙලෙස තිබිය දී “පාසල් වල ආරක්ෂාව විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට පවරා අධ්‍යාපන අමාත්‍යාංශයේ අත පිස දා ගනී” යනුවෙන් සහ “පාසල් වල ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම විදුහල්පතිවරුන්ට සහ පාසල් කාර්ය මණ්ඩලයට පවරා ඇති බව” ට සඳහන් නිවේදන දෙකක් ලංකා ගුරු සේවා සංගමය සහ ලංකා ගුරු සංගමය විසින් මාධ්‍ය වෙත යොමු කර තිබෙනවා
 
පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෘත්තිය සමිතිවලට වඩා වැඩි වගකීමක් රජයට ආරක්ෂක අංශවලට මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී ඇති බව සිහිපත් කරන අතර, කිසිදු ලෙසකින් පාසල් වල ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම විදුහල්පතිවරුන්ට හෝ  පාසල් කාර්ය මණ්ඩලයට පැවරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නොමැති බව දැනුම් දෙන්නෙමු.
 
සාමාන්‍ය වාතාවරණයක් තුළ දී වුවද විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩල වෙත පාසලට පැමිණෙන දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම පැවරෙන බව අමුතුවෙන්  සිහිපත් කළ යුතු නැත. මෙවැනි අවස්ථාවකදී සාමාන්‍ය වාතාවරණයක් තුළ පවත්නා වගකීමකට වඩා  වැඩි වගකීමක් ඔවුන්වෙත පමණක් නොව සමස්ත ජනතාවටම පැවරෙන බව මෙම කණ්ඩායම් නොදැන සිටීම කණගාටුදායකය.
 
එම වගකීම අමාත්‍යාංශ ලේකම්වරයාට තමා යටතේ සිටින නිලධාරීන්ට නැවත අවධාරණය කිරීමට හෝ සිහිපත් කිරීමට ඇති බලය මෙවැනි අවස්ථාවක වෘත්තීය සමිතිවලට ගැටළුවක් වීම කණගාටුදායකය.
 
කළ යුතු ව ඇත්තේ මෙවැනි අවස්ථාවක දී සියලු දෙනා එකමුතුව අවස්ථාවාදී අරමුණු පසෙක ලා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙමින් ඔවුන් ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මිස බොර දියේ මාළු බාමින් තම වෘත්තිය සමිති ජනප්‍රිය කරවා ගැනීමේ මාධ්‍ය  සංදර්ශන නොපවැත්වීම බවද සිහිපත් කරමු.

Recommended For You

About the Author: Editor