පොලිස්පති 19න් රැකවරණය ලබයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම භාර ගෙන ස්වේච්ඡවෙන් ඉල්ලා අස් නොවුණහොත් මිස පොලිස්පතිවරයා ඉවත් කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව සැලකිය යුතු කාලයක් ගත වන බව නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෝ පවසති.

ඔවුන් පවසන්නේ මේ වන විට පොලිස්පතිවරයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ රැකවරණය ලබමින් සිටින බවයි.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම භාරගෙන වහාම ඉල්ලා අස්වන ලෙස ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් ඉල්ලීමක් කළ ද පොලිස්පතිවරයා ඉල්ලා අස්වීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ තත්ත්වය තුළ ජනපතිවරයා සහ ආණ්ඩුව (එජාපය) අතර යළි බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති අතර එජාප පාර්ශ්වයෙන් පොලිස්පතිවරයා වහාම ඉවත් කරන මෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. ඊයේ එජාපයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද දැඩිව අවධාරණය කර සිටියේ පොලිස්පතිවරයා ආරක්ෂා කිරීමට එජාපයට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයින් ද දැඩිව අවධාරණය කරන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ තවත් කුප‍්‍රකට තෝරා ගැනීමක් වන පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස් නොවන්නේ නම් ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන එන බවයි.

මේ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීති ප‍්‍රවීනයින් සඳහන් කරන්නේ පොලිස්පතිවරයා ස්වේච්ඡවෙන් ඉල්ලා අස්වන්නේ නම් මිස ඔහුව ඉවත් කළ හැකි වන්නේ ද පාර්ලිමේන්තුව හරහා පමණක් බවයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රතිපාදන අනුම එම පියවර ගත යුතු බව ද ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ තත්ත්වය තුළ ජනපතිවරයා බලාපොරොත්තු වන ආකාරයට ආරක්ෂක අංශ තුළ පුළුල් ප‍්‍රතිසංස්කරණයක් කිරීම අපහසු වී ඇති අතර එම කටයුතු තව දුරටත් ප‍්‍රමාද වීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් බව ද වාර්තා වේ.

Recommended For You

About the Author: Editor