ඉදිරි ‘යල’ කන්නයේ සේනා කළමනාකරණයට ගොවීන්ගේ සහාය අත්‍යාවශ්‍යයි

2019 යල කන්නය ආරම්භ වී ඇත. බඩඉරිඟු වගාවට පසුගිය මාස් කන්නයේ දී දැඩි තර්ජනයක් එල්ල කරන ලද සේනා දළඹු වසංගතය යළි හිස එසවීමේ අවදානම පහවගොස් නැති බව ගොවි ජනතාවට නැවතත් මතක් කළයුතුව තිබේ.

කතාබහ අඩුවූයේ ධාරක ශාකයක් නොමැති වගා කන්න දෙකක් අතර වූ කෙටි කාල පරාසය නිසාය. මෙම සලබයා දිවයිනෙන් වදවී ගිය බවක් හෝ දැනට යෙදූ ක‍්‍රියාකාරකම් හරහා මර්දනය වූ බවක් හෝ සනාථ කිරීමට සාක්‍ෂි නොමැති බැවින් 2019 යල කන්නය ඉතා අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය නැවතත් පෙන්වාදිය යුතුව තිබේ.

කෘෂිකර්ම දෙපාරත්මේන්තුව මේ වනවිටත් පවසා ඇති ආකාරයට මැයි 1-15 යන කාල පරාසය තුළ බඩඉරිඟු සිටුවා අවසන් කිරීමට ගොවීන් පියවර ගතයුතු වේ. 15 වෙනිදාට කටයුතු අවසන් කළ නොහැකි නම් කළයුතු දෙය වන්නේ වෙනත් අතිරේක බෝග වගාවක් තෝරා ගැනීමයි. බඩඉරිඟු ම වගා කෙරුව ද, ”සේනා” ගේ හානිය බහුලවම සිදුවන්නේ ළපටි ඉරිගු ශාකවලට වන බැවින් වගාවේ ළපටි ගස් ඉතා විමසිල්ලෙන් රැකබලා ගතයුතු වේ.

ෆෙරමෝන් උගුල් යෙදීම, පණුවන් හෝ බිත්තර කැදලි ඇත්නම් වහා ඉවත් කිරීම ආදී පරිසර හිතකාමී ක‍්‍රම වෙතට වඩාත් නැඹුරු විය යුත්තේ, පරිසරයේ වෙසෙන ”සේනා” ට හානිකරන වෙනත් කෘමි සතුන්, කෘමිනාශක හමුවේ විනාශයට පත්වීම අවාසිදායක තත්වයක් පවතින බැවිනි.

එබැවින් කෘමිනාශක යොදා කළයුතු වසංගත මර්දනයක් වැනි තත්වයක් එනතුරු බලා නොසිට පූර්ව ආරක්‍ෂක උපායමාර්ග වෙතට යොමුවීමට ගොවි ජනතාව සැළකිලිමත් වීම කාලෝචිත පියවරකි. නවතම විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව ”සේනා” ට පෝෂණය වියහැකි නොයෙකුත් වල්පැළෑටි වර්ග මෙරට පරිසරයේ තිබේ.

මීට අමතරව වසර පුරාම පවතින ”උක්” ගස සේනාට හොද වාසස්ථානයකි. අවධානයට හසු නොවී එවන් ස්ථානයක සැගවී සිටිමින් යල කන්නය ආරම්භයත් සමග ”සේනා” ආක‍්‍රමණයක් යළි සිදුවිය හැකි බැවින්ගොවි ජතාවගේ අවධානයත්, නිසි උපදෙස් පිළිගැනීමේ උනන්දුවත් සාර්ථක බඩඉරිඟු වගාවක් සදහා යල කන්නය ආරම්භයේ සිටම අත්‍යාවශ්‍ය වේ.

සනත් එම්. බණ්ඩාර,

සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව

Recommended For You

About the Author: Editor