සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගෙන එමින් එහි ප‍්‍රවර්ධනයට ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට ජනපතිගෙන් කැබිනට් අනු කමිටුවක්

එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ බිඳවැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය, හෝටල් ක්ෂේත‍්‍රය ඇතුළු අනෙකුත් ව්‍යාපාරික අංශ නැවත නඟා සිටුවමින්, යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය පුළුල් වගකීමකින් කටයුතු කරන බව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය උදෙසා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමට කැබිනට් අනු කමිටුවක් ද හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී පත් කරන බව ජනපතිවරයා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් සහනදායී ක‍්‍රම යටතේ මුල්‍ය පහසුකම් ලබාදීම ඇතුළු සහන සැලසීම පිළිබඳ හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කරන බව ජනපතිවරයා සඳහන් කරන ලදී.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ සංචාරක ව්‍යාපාරයට, හෝටල් සහ අනෙකුත් ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන්ට අයත් ව්‍යාපාරිකයන් සමඟ අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ය.

මෙහි දී අදහස් දැක්වූ ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ත‍්‍රස්තවාදය පරාජය කළ හැකි බවයි. එය ස්ථීර වශයෙන් ම සිදු කරනවා මෙන්ම සිදු කිරීමට හැකියාව පවතින බව ජනපතිවරයා අවධාරණය කළේය.

ත‍්‍රස්තවාදය මැඩැලීමට අදාළ වැටලීම් මේ වන විට දීප ව්‍යාප්තව ඉතා සාර්ථකව කි‍්‍රයාත්මක වන බවත්, මෙරට ආරක්ෂක අංශ කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති අතර ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් කිසිඳු පසුබෑමකින් තොරව ඉදිරියටම කි‍්‍රයාත්මක වන බවත් ජනපතිවරයා කියා සිටියේ ය.

එබැවින් කිසිවෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති අතර, අද සිට රටේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මක කෙරෙන බව ද ජනපතිවරයා සඳහන් කළේය.

ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ඕනැම ස්ථානයකට ආරක්ෂාව අවශ්‍ය නම් එම ආරක්ෂක වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට ද රජය සූදානම් බව සඳහන් කළ ජනපතිවරයා මෙම තත්ත්වයෙන් නැගී සිටිමින් තම ව්‍යාපාරික කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීමට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සියලුදෙනාට අවශ්‍ය පහසුකම් සහ සහයෝගය නොඅඩුව ලබාදෙන බව වැඩිදුරටත් පැවසීය. ඒ පිළිබඳ ඕනැම ඉල්ලීමක් පෞද්ගලිකව වුව ද තමා හමුවී ඉදිරිපත් කළ හැකි බව සඳහන් කළ ජනපතිවරයා මෙම කටයුතු යථා තත්ත්වයට පත්වන තුරු සති දෙකකට වරක්වත් ව්‍යාපාරික ප‍්‍රජාව හමු වී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද දැන්වීය.

මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විශේෂ සහය මෙහිදී ඇගැයීමට ලක් කළ ජනපතිවරයා මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් මුහුණදීමට සිදුවූ ගැටලුකාරි තත්ත්වය පිළිබඳව සියලු ව්‍යාපාරික ප‍්‍රජාව වෙත තම කනගාටුව පළ කිරීමට ද කටයුතු කළේය.

එමෙන්ම ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රටට මුහුණදීමට සිදුවූ මෙම ඛේදජනක සිදුවීමේ දී අප කළ යුත්තේ එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගනිමින් සිටීම නොව, සියලුදෙනා එක්වී රට යළි යථා තත්ත්යට පත් කරගනිමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවීම බවයි.

රට තුළ ඇති වූ මෙම අයහපත් තත්ත්වය සමනය කර ගනිමින් සංචාරක ව්‍යාපාරය සහ හොටල් ක්ෂේත‍්‍රය ඇතුළු ව්‍යාපාර යළි ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී ව්‍යාපාරික ප‍්‍රජාව ද අදහස් සහ යෝජනා රැසක් ඉදිරිපත් කළහ.

ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා අදහස් දක්වමින් කියා සිටියේ ජාත්‍යන්තරව සංවිධානය වූ මෙම ත‍්‍රස්ත කණ්ඩායමට ඉතා සාර්ථකව මුහුණ දෙමින් වේගයෙන් නැඟී සිටී ලොව එකම රට ශ‍්‍රී ලංකාව බවයි. එහි ගෞරවය ජනාධිපති ජනපතිවරයාට සහ විරෝධාර රණවිරුවන්ට හිමිවන බව පැවසූ හැරි ජයවර්ධන මහතා ඉදිරි දින කිහිපය තුළ දී මෙම ත‍්‍රස්ත ව්‍යාපාරය ශ‍්‍රී ලංකාවෙන් සහමුලින්ම තුරන්ව රට යථා තත්ත්වයට පත්වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

එමෙන්ම ත‍්‍රස්ත අභියෝගය හමුවේ ජනපතිවරයා කටයුතු කළ අන්දම ඇගැයීමට ලක් කළ හැරි ජයවර්ධන මහතා ත‍්‍රස්තවායට එරෙහිව ජනාධිපතිතුමා ගත් ඝෘජු පියවර සහ ප‍්‍රකාශ ස්තූති පූර්වකව සිහිපත් කළ අතර ලෝකයට අවශ්‍ය එය බව ද කියා සිටියේ ය.

ශ‍්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත, ව්‍යාපාරික ධම්මික පෙරේරා යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු ව්‍යාපාරික ප‍්‍රජාව නියෝජනය කරමින් අදහස් දැක්වූ අතර මෙම අසිරු අවස්ථාවේ නැඟී සිටීමට ශක්තියක් වීම පිළිබඳ එම සියලු දෙනා ජනපතිවරයා වෙත ස්තූතිය පළ කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍ය ජෝන් අමරතුංග, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මලික් සමරවික‍්‍රම, ඉරාන් වික‍්‍රමරත්න, රංජිත් අළුවිහාරේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, වාණිජ මණ්ඩල නියෝජිතයන් ඇතුළු ව්‍යාපාරික ප‍්‍රජාව මීට එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor