සිරියාවෙන් හා ඉරාකයෙන් පසුබැස ගිය IS ආසියාවේ ශක්තිමත් වෙන හැඩ

ඊයේ (28) ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ යුදෙව් පාස්කු දේව මංගල්‍යක් වෙත විවෘත වෙඩි තැබීමත් සමග (එක් පුද්ගලයෙකු මිය ගියේය) පසුගිය අපේ‍්‍රල 10 වැනිදා සිට 28 අපේ‍්‍රල් 28 වැනිදා දක්වා ලෝකයේ ස්ථාන 13කට ඉස්ලාම් අන්තවාදීන්ගේ යැයි සැකකරන ප‍්‍රහාර එල්ල වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය කියයි.

එම ප‍්‍රහාර අප‍්‍රිකාවේ මාලි රාජ්‍යය, කොංගෝ ජනරජය, රුසියාවේ මොස්කව්, ඊජිත්තුව, නියිජර්, නයිජීරියාව, පාකිස්ථානය තුළ සිදුව ඇත.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ සිරියාවෙන් හා ඉරාකයෙන් පරාජයට පත් වූ අයි.එස් සංවිධානය ඉතා වේගයෙන් හා සූක්ෂම ලෙස ආසියානු රාජ්‍යවල තම තත්ත්වය තහවුරු කර ගනිමින් සිටින බවයි.

අයි.එස් ත‍්‍රස්තවාදය ඉරාකයෙන් සහ සිරියාවෙන් පරාජයට පත් කළ පසු ඔවුන්ගේ මීළඟ ප‍්‍රවේශය කුමක් දැයි අමෙරිකාව ඇතුළු බලවත් රාජ්‍ය පසුවිපරමක නොදීම හා ගැඹුරින් සිතා නොබැලීම මේ තත්ත්වයට ප‍්‍රධාන හේතුව වූ බව ද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර අයි.එස් අන්තවාදයේ නව ප‍්‍රවේශය ගැන ඉඟියක් ලබාගත හැකි වැදගත් සාධයක් විදේශ ජනමාධ්‍ය ඉදිරිපත් කරයි. ඒ අයි.එස් සංවිධානයට සම්බන්ධ යැයි සඳහන් අන්තවාදී කල්ලියක් විසින් නිකුත් කළ නිවේදනයකි.

‘‘දැන් ඔබලාට බැහැ අපිට බෝම්බ තියන්න-ඒත් අපි ඔබලාට බෝම්බ තියනවා’’ යැයි එහි සඳහන්ව තිබී ඇත. ඒ සමග එම සංවිධානය විසින් ම නිකුත් කළ බව කියන තවත් නිවේදනයක ‘‘සිරියාවේ නගර අහිමි වුණා කියලා අපි අපේ සංවිධානයේ කටයුතු අත්හැරියා කියලා ඔබලා සිතනවාද ?’’ යනුවෙන් ද සඳහන්ව තිබූ බව විදේශ මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය තවත් කරුණක් විශේෂයෙන් අවධාරණය කර ඇත. ඒ ශ‍්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් ඉස්ලාම් අන්තවාදීන් වඩාත් උත්තේජනයට පත්ව ඇති බවයි. මේ තත්ත්වය තුළ ඉස්ලාම් අන්තවාදය වඩ වඩාත් ශක්තිමත් විය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

මේ අතර ඉස්ලාම් අන්තවාදීන්ගේ මීළඟ ඉලක්කය ඉන්දුනීසියාව හෝ චීනය විය හැකි බවට ද ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවන බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor