ගර්භණී අවධිය සුරකිමු

ලෝ්කයේ ඕනෑ ගැහැනියකගේ ලොකුම සිහිනය මවක් වීම. ඒක උත්තරීතර හැඟීමක්. අවස්ථාවක්. ඒ නිසා අම්මා කෙනෙක්ට මුළු ලෝකයේම ආදරය හා ගෞරවය හිමි වෙනවා.

ඒත් අම්මා කෙනෙක්වීම සංකීර්ණ වගේම වෙහෙසකර ක‍්‍රියාවලියක්. දරු ගැබක් දස මසක් කුස තුළ දරමින්, ආරක්ෂා කර ගනිමින් පෝෂණය කළ යුතුයි. ඒ නිසා ‘ගර්භණී අවධිය’ ගැන ඒ කාන්තාවගේ පමණක් නොවෙයි අපි හැමෝගෙම අවධානය යොමු විය යුතුයි. ගර්භණී කාන්තාවන් ආරක්ෂා කරගත යුතුයි.

ගර්භණී අවධිය

කාන්තාවක් උප්පත්තියේ සිට විවිධ අවස්ථාවන් පසු කරනවා. ඒ අතර ඉතාම වැදගත් අවධියක් වශයෙන් සැලකෙන්නේ ගර්භණී අවධිය.
ගර්භණී අවධියේ තමන් කුස තුළ සිටින දරුවා සම්බන්ධයෙන් ද අතිෂයින් වැදගත් අවධියක් වෙන්නේ. ඒ නිසා නිරෝගී දරුවකු බිහි කර ගැනීමට නම් මනා පෝෂණ තත්ත්වයක් වගේම ඇයට මනා මානසික තත්ත්වයක් ද හිමිකර දිය යුතුයි. එය දරු ගැබ දරා සිිටින කාන්තාවගේ වගේම ඇයගේ පවුලේ සියලූ දෙනාම සතු වගකීමක්, යුතුකමක්.

එයට හේතුව තමයි, ගැබ තුළ වැඩෙන දරුවා, මවගේ මානසික ස්වාභාවයන්හි වෙනස්වීම්වලට හා ආහාර පානවලට, ශබ්ද තරංග හා ආලෝක තරංගවලට, තද ආලෝකයට ප‍්‍රතිචාර දක්වනවා. එම ප‍්‍රතිචාරයන් මත දරුවාගේ බුද්ධිය ආධ්‍යාත්මය හා ශාරීරික නීරෝගිතාව ගොඩනැගෙනවා. එම නිසා ගැබිනි මවගේ මානසික තත්ත්වය ප‍්‍රසන්නව පවත්වා ගැනීම, හිතකර ආහාරපාන මගින් හොඳ පෝෂණයක් ලබාදීමත් පවුලේ සියලූ දෙනාගේ වගකීමක්.

ගර්භනී භාවය හඳුනා ගැනීමේ සාමාන්‍ය ලක්ෂණ

ගර්භනීභාවය හඳුනා ගැනීම ඇතැම් විට ඉතා පහසුවෙන් කළ හැකියි. ඒත් ඇතැම් විට එය අසීරු විය හැකියි. ඒ නිසා වෛද්‍ය විද්‍යාත්මකව ගර්භනීභාවය හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් තිබෙනවා.

  1. ක‍්‍රමානූකූලව මාස් ශුද්ධිය සිදුවන කාන්තාවකට එය හදිස්සියේ නතර වීම.
  2. උදෑසන වමනය, ඔක්කාරය, අරුචිය, නිතර මූත‍්‍රා පහ වීම.
    මේ තත්ත්වයක් පොදුවේ, සාමාන්‍ය දැනුමක් ඇති අයෙකුට වුවත් ඉතා පහසුවෙන් වටහා ගත හැකියි. ඒත් වර්තමානයේ වෛද්‍ය විද්‍යාත්මකව නිශ්චිතව ම ගර්භනීභාවය හඳුනාගත හැකි ක‍්‍රම තිබෙනවා. ඒ අතර HCG Test ( Pregnancy Test ) – POSITIVE ඉතා වැදගත් හා විශ්වාසනීය පරීක්ෂණයක් වශයෙන් සැලකිය හැකියි.

ගර්භනී කාලය

අපි සාමාන්‍යයෙන් කියන්නේ දරුවෙක් ‘දසමසක් කුස දරා සිටියා’ කියලානේ. ඒක විද්‍යාත්මකවත් තහවුරු වූ කරුණක්. ගර්භනී කාලය අවසන් මාස් ශුද්ධියේ ප‍්‍රථම දිනයේ (LRMP) සිට ගණන් ගන්නා අතර සති 40ක කාලයක් පවතිනවා.

සාමාන්‍යයෙන් ගර්භනී අවධිය ප‍්‍රධාන කොටස් තුනකට බෙදිය හැකියි.
1. පළමු මාස ත‍්‍රිත්‍වය – පිළිසිඳ ගැනීමේ සිට සති 12 දක්වා
2. දෙවන මාස ත‍්‍රිත්‍වය – සති 13 සිට සති 27 දක්වා
3. තුන්වන මාස ත‍්‍රිත්‍වය – සති 28 සිට දරු උපත දක්වා

ගර්භනී කාලය තුළ සිරුර තුළ සිදුවන වෙනස්කම් නිසා ඇතැම්විට පහසුවෙන් විවිධ රෝගාබාධවලට ලක්විය හැකියි. ගැබිනි කාලය තුළ ඇතිවිය හැකි විශේෂ රෝග ලක්ෂණ කිහිපයක් දැකිය හැකියි.
1. ලේ හිඟකම
2. මූත‍්‍රා සමඟ ඇල්බියුමින් පිටවීම
3. දියවැඩියා රෝග ලක්ෂණ
4. අධික රුධිර පීඩනය
5. පාදවල ඉදිමුම
මේ අතර ගර්භනීභාවයට පත් වූ විට උදාවන පළමු මාස ත‍්‍රිත්වය තුළ පහත සඳහන් රෝගී ලක්ෂණ දැකගත හැකියි.

1 කාන්තාවකගේ ශරීරයේ සිදුවන ප‍්‍රාථමික වෙනස්කම්
2 පළමු මාස ත‍්‍රිත්‍වය තුළ සිදුවන හෝමෝනවල වෙනස්කම් නිසා ශරීරයේ සියළුම ඉන්ද්‍රියන්ට බලපෑම් ඇතිවේ.

උදෑසන වමනය, ඔක්කාරය, අරුචිය, නිතර මූත‍්‍රා පහ වීම, බර අඩු වීම, මළ බද්ධය.

මේ අනුව කාන්තාවකගේ දිනපතා කාර්යන්හි සිදුකළ යුතු වෙනස්කම් කිහිපයක් තිබෙනවා. ඒ අතර, වේලාසන නින්දට යෑම, නිතර ආහාර ගැනීම, කුඩා ප‍්‍රමාණ ආහාර ගැනීම, නිතර ජලය පානය.

මේ සමයේ සිදුවන ඕක්කාරය කාන්තාවන් දැඩි අපහසුතාවට පත් කරනු දැකිය හැකියි. මේ සඳහා පරම්පරා ගණනාවක් තිස්සේ අත්දුටු අත් බෙහෙත් රැසක් අපේ තිබෙනවා.

ඔක්කාරය සඳහා අත් බෙහෙත්

දෙහි ඇඹුල්, අමු ඉඟුරු

මීට ඉහත සඳහන් කළ ආකාරයට පළමු මාස ත‍්‍රිත්වය දරුවකුගේ වැඞීම සම්බන්ධයෙන් ඉතා වැදගත් කාලයක්. මේ මාස තුන තුළ පහත සඳහන් වැඞීම් සිදුවෙනවා.

(සති 4 ක කළලය) ඔබේ දරුවාගේ මොළය, අත් පා, හෘදය, කශේරුකාව වැඞීමට පටන් ගන්නවා.

සති 8 ක් ගත වන විට කළලයේ ප‍්‍රධාන ඉන්ද්‍රියයන් සියල්ල හා බාහිර ශරීර කොටස් වැඬේනවා.

සති 12 ක කළලය තුළ මාංශ පේශී හා නහර ක‍්‍රියාකිරීමට පටන් ගන්නා අතර දරුවාගේ ලිංගික අවයව දර්ශනය වෙනවා.

දෙවන මාස ත‍්‍රිත්වය

පළමු මාස ත‍්‍රිත්‍වයට වඩා පහසු වෙනවා. උදෑසන වමනය, ඔක්කාරය, අරුචිය ක‍්‍රමයෙන් පහ වී යනවා. ඒ සමග ගර්භය වැඞීමට පටන් ගන්නවා. ශරීරයේ කැක්කුම්, කොන්දේ වේදනාව, උදරයේ වේදනා දැනෙනවා. සමේ විවිධ සලකුණු හා වෙනස්කම් ඇති වෙනවා.

සති 16 ගත වන විට කළලයේ මාංශ පේශී හා අස්ථි පද්ධතිය දිගටම වැඩෙනවා. සම වැඞීමට පටන් ගන්නවා.

සති 20 ගත වන විට ඔබේ දරුවා ක‍්‍රියාකාරි වෙනවා. ඇහි බැමි, ඇහි පිහාටු ඇති වෙනවා. අත් පා වල නියපොතු ඇති වෙනවා. දරුවාට ඇසීමට හා ගිලීමට හැකියාව ලැබෙනවා.

සති 24ක් ගත වන විට කළලයේ කෙස් වැඞීමට පටන් ගන්නා අතර අත් හා පාද සලකුණු ඇති වෙනවා. පෙනහළු වැඩෙනවා. නමුත් ඒවා ක‍්‍රියා කරන්නේ නම් නැහැ.

තුන්වැනි මාස ත‍්‍රිත්වය

ඊළඟ උදාවන්නේ තුන්වැනි මාස ත‍්‍රිත්වය. මේ කාලයේදී ගර්භය තවත් වැඞීමට පටන් ගන්නවා. දෙවන මාස ත‍්‍රිත්‍වයේ ඇති වූ අපහසුතා තව දුරටත් පවතිනවා.

හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම නිතර මූත‍්‍රා බර දැනෙනවා.

මේ කාලයේදී මානසික හා භෞතික වෙනස්කම් සිදුවීමට පටන් ගන්නවා. හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ දැවිල්ල, මුහුණ, විළුඹ, අත්පා හා ඇඟිලිවල ඉදිමීම මෙන්ම පියවුරුවල වේදනාව දැනෙනවා.

සති 32ක් ගත වන විට කළලයක් වශයෙන් සිටින ඔබේ දරුවාගේ අස්ථි වර්ධනය වෙනවා. දරුවා පයින් ගැසීමට පටන් ගන්නවා.

සති 36ක කළලය වර්ධනය වන විට දරුවාගේ මේද ස්ථරය වර්ධනය වෙන අතර දරුවාගේ බර වැඩි වෙනවා.

සති 37-40 කාලය

කළලයේ වැඞීම සම්පූර්ණ වෙන අතර ප‍්‍රසූතිය ළඟාවෙත්ම දරුවා මුනින් අතට හැරෙනවා. සාමාන්‍ය නිරෝගි දරුවකු ගේ බර කිලෝ ග‍්‍රෑම් 2.5-3.5 දක්වා වැඩි වෙනවා.

ගර්භණී පරිචර්යා

ගර්භණීභාවය ලෝකයේ ඕනෑම සමාජයක දැඩි අවධානයක් දිනා ගන්නවා. ඒ අනුව තම තමන්ගේ සංස්කෘතිය හා ආගමික විශ්වාස අනුව ඒවා විවිධාකාර වෙනවා. සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයින් අතර පහත සඳහන් ගර්භණී පරිචර්යා දැකිය හැකියි.

සුදු හෝ ලා පැහැති වස්ත‍්‍ර ඇඳීම, ආගමික වතාවත්වල යෙදීම, අංග විකල මන්ද බුද්ධික අපවිත‍්‍ර දෑ දර්ශනය නොකිරීම, අප‍්‍රසන්න සැර ගන්ධයන් සේවනය නොකිරීම, බිය ජනක ශෝක ජනක දේ නොදැකීම, තද ශබ්ද නොඇසීම, අධිකව ඇවිදීම, සොහොන් බිම් ආදියට නොයෑම, තද ව්‍යායාම නොකිරීම, පහත් ආසන, ඇඳන්වල හිදීම, මධුර රස, රුචිකාරක, ද්‍රවමය, හොඳින් පිසින ලද ආහාර ගැනීම.

මෙම ගර්භණී පරිචර්යා මගින් ගර්භණී කාන්තාවට ධනාත්මක බලපෑමක් සිදුවෙනවා. ඒ අතර පහත සඳහන් දේ දැකිය හැකියි.

1 මළ මූත‍්‍ර පහසුවෙන් පිට කරයි.
2 පරිවෘත්තීය වෙනස්කම්වලට උපකාරි වේ.
3 ප‍්‍රජනන පද්ධතිය අවට වාහිනිවල විවේකි බව ඇතිවේ.

ගර්භ පෝෂණයට වැදගත් වේ

ගර්භණී මවකගේ පෝෂණය ඉතා වැදගත්. සෑම සමාජයක් ම ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් ආකාරයට ගර්භණී මවකගේ පෝෂණය ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා මව ගනු ලබන ආහාරවලින් කරුණු තුනක් ඉටු වෙනවා.

1.මවගේ පෝෂණය.
2. ගැබ තුළ දරුවාගේ වර්ධනය.
3. මව් කිරි නිපදවීම.

ගැබිනි සමයේ පළමු මාස තුන තුළ බිළිඳකුගේ මූලික අංග නිර්මාණය වීම සිදුවේ. එම නිසා බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු රස හයම සපිරි ගුණාත්මක බවින් වැඩි ආහාර වේලක් ගත යුතුයි.

ගර්භණී මවක් තම ගර්භණී කාලය තුළ පහත සඳහන් ආකාරයට ආහාර ගැනීම වඩාත් ඵලදායී බව කිව හැකියි.

පළමු මාස තුන

දෛනික ආහාර වේලට අමතරව, එළකිරි,පලතුරු යුෂ (දොඩම්, නාරං, අඹ) කොළකැඳ වර්ග, ධාන්‍ය කැඳ වර්ග (බාර්ලි ,සහල්, මුං ඇට, උඳු ඇට) තෙවන මාසය සඳහා එළකිරි හා ගිතෙල් මිශ‍්‍ර ආහාර වැඩිපුර ගැනීම යෝග්‍ය වෙනවා.

දෙවන මාස තුන

ඉහත ආහාර පාන ඇතුළුව, එළකිරිවලින් සකස් කරන ලද වෙඬෙරු ගිතෙල් ආහාරයට එක්කර ගැනීම, මස් හො මාළු වර්ග මිශ‍්‍ර සුප්, ඖෂධීය පාන ලෙස සාරණ හෝ ඉරමුසු තැම්බු වතුර.

තුන්වන මාස තුන

ඉහත ආහාර පාන වැඩිපුර ගැනීම, ඉරමුසු, සාරණ මුල්, හාතාවාරිය අල, කිරි බදු අල යොදා සකස් කරන ලද කැඳ වර්ග.

ඔබට ඉහත සඳහන් කළ වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් අනුගමනය කිරීම මගින් වඩාත් නිරෝගී දරුවෙක් බිහි කිරීමට අවස්ථාව උදාෙවිවි.

වෛද්‍ය සේනක සිසිත ගමගේ මහතා සමග කළ සාකච්ඡවක් ඇසුරිණි
සටහන
තුෂාල් විතානගේ

Recommended For You

About the Author: Editor