ත‍්‍රස්තවාදියා තනි කිරීමට නම් අපි මුස්ලිම් සමාජය සමග දේශපාලන සංවාදයකට යා යුතුයි

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

තවුහිද් ජමාත් නමැති මුස්ලිම් සංවිධානය පසුගිය 21 වන දින එල්ල කළ ප‍්‍රහාරයේ දේශපාලන අරමුණ කුමක් ද යන්න මේ දක්වා බොහෝ දෙනකුට ගැටලූවක්ව පවතී. අප එම අරමුණ පිළිබඳව මෙන්ම මුස්ලිම් දේශපාලන කතිකාව පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් විමසා සිටියෙමු. ඒ පිළිබඳව ඒ මහතා දැක් වූ අදහස් පහත පරිදි වේ.


ප‍්‍රශ්නය : තවුහිද් ජමාත් සංවිධානය පසුගිය 21 වැනිදා එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳ ඔබගේ විග‍්‍රහය කුමක් ද ?

පිළිතුර : එහෙම ප‍්‍රහාරයක් එක පාරට එල්ල වෙයි කියලා මම හිතුවේ නෑ. නමුත් මුස්ලිම් සමාජය තුළ අන්තවාදී ප‍්‍රමාණය වර්ධනය වෙමින් පැවැති බව නම් අපි සියලූ දෙනා දැන සිටියා. 2013 දී පමණ මම කණ්ඩායමක් සමග අම්පාර ප‍්‍රදේශයට ගිහින් මේ පිළිබඳව පර්යේෂණ කළා. එම ප‍්‍රදේශයේදී හමු වූ මුස්ලිම් ව්‍යාපාරිකයින් අපිත් එක්ක පැවසූ දෙයක් තමයි ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙන බව. දරුණු තත්ත්වයක් තිබෙන බව තමයි ඔවුන් අපිත් සමග ප‍්‍රකාශ කළේ. ඒ කාලයේදී බොදුබල සේනා සංවිධානය අම්පාර ප‍්‍රදේශයේ කටයුතු කරමින් සිටියා. ඒ ව්‍යාපාරිකයින් විශේෂයෙන් ඒ පිළිබඳව කතා කළා. අපි ඒ ගැන සොයා බලන්න තමයි ඒ ප‍්‍රදේශයට ගියේ. එම ව්‍යාපාරිකයින් විශේෂයෙන් කිව්ව දෙයක් තමයිබ බෙදුබල සේනා සංවිධානයේ කටයුතු නිසා එම අන්තවාදී සංවිධානවලට සුජාතභාවයක් ලබාදී තිිබෙනවා කියන එක. මෙම ප‍්‍රවණතාව ඔවුන්ගේ සමාජයට ලොකු අභියෝගයක් බව එම ව්‍යාපාරිකයින් දැනගෙන සිටියා. ඒ පිළිබඳව ඔවුන් කනගාටුවෙන් සිටියේ.

’’ එල්ටීටීඊ සංවිධානයත් මුස්ලිම් සමාජය ඉලක්ක කළා. එම නිසා තමන් වින්දිතයින් යන මානසිකත්වයක් මුස්ලිම් සමාජය තුළ වර්ධනය වී තිබුණා. එම තත්ත්වය තුළ පෙරළා පහරදිය යුතු ය යන අදහස එම සමාජය තුළ ඇති වී තිබුණා’’

ජාත්‍යන්තර වශයෙන් ඇති වුණ මුස්ලිම් ව්‍යාපාරත් මේ සඳහා හේතු වූ බව සඳහන් කිරීමට පුළුවන්. ඉස්ලාම් සමාජයේ පුද්ගලයිනුත් ප‍්‍රකාශ කරන දෙයක් තමයි 1977න් පසුව ඇති වූ විවෘත ආර්ථිකය නිසා, මැදපෙරදිග ප‍්‍රදේශයේ රැුකියාවලට යාම නිසා එම ප‍්‍රදේශයන් සමග සම්බන්ධතා ඇති වූවා කියන එක. ඊට පෙර ඉස්ලාම් අයගේ සංස්කෘතිය වර්ධනය වී තිබුණේ දකුණු ඉන්දීය මූලයන් සමග. නමුත් 1977න් පසුව අරාබි සංස්කෘතික බලපෑම වැඩි වුණා. විශේෂයෙන් එම ප‍්‍රදේශයේ ඇති වූ ආගමික හා දේශපාලන ප‍්‍රවණතා වැඩි වශයෙන් සම්බන්ධ වෙනවා.

1950 ගණන්වලින් පසුව ලංකාවේ දේශපාලනය ජනවාර්ගිකකරණය වීමක් සිද්ධ වෙනවා. එහි තීරණාත්මක කඩඉම 1956 තමයි. මේ රටේ දේශපාලනය වාර්ගීකරණය වීම 1930 ගණන්වල සිට පැවතියත් එහි තීරණාත්මක සංධිස්ථානය වන්නේ 1950 ගණන්වලදී. එහිදී පෙඩරල් පක්ෂය බිහිවීම, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීම සිද්ධ වෙනවා. ඉන් පසුව දෙමළ සටන්කාමී සංවිධාන බිහිවෙනවා. මුස්ලිම් සමාජය තුළත් මේ ප‍්‍රවණතාව බිහිවෙනවා. ඒ ආකාරයට තමයි දේශපාලනය වාර්ගීකරණය වීමක් සිද්ධ වෙන්නේ. ඒ තුළ 1977න් පසුව අරාබිය සමග සම්බන්ධකම් ඇතිවීම, ජාත්‍යන්තර වශයෙන් රැඩිකල් ඉස්ලාම් දේශපාලනයේ නැගීම, නවීනත්වයට එරෙහි වීම යන කාරණා නිසා මෙම ප‍්‍රවණතාව ඇතිවී තිබෙනවා. ඒ වගේම යුද අවි ව්‍යාපත්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම යන සියල්ල එකතු වීමෙන් ඇති වූ සංසිද්ධියක් තමයි මේක. ඒ තුළ ඇයි මෙහෙම වුණේ කියන එක තේරුම් ගන්න පුළුවන්.

ප‍්‍රශ්නය : මූලධර්මවාදී ඉස්ලාම් සංවිධාන ක‍්‍රියාත්මකව පවතින බවට විශේෂයෙන් ම බෞද්ධයින් චෝදනා කළා. එම නිසා බෞද්ධයින්ට එම සංවිධාන විසින් ප‍්‍රහාර එල්ල කරාවි යන සැකය මතුවී තිබුණා. එසේ වුවත් තවුහිද් ජමාත් නමැති ඉස්ලාම් සංවිධාන ප‍්‍රහාරය එල්ල කළේ පාස්කුව යෙදී තිබූ දිනයක කතෝලික, ක‍්‍රිස්තියානි ජනතාවට. එම තත්ත්වයට බලපෑ හේතුව කුමක් ද ?

පිළිතුර : ඒක හරියටම කියන්න අපහසුයි. සමහරුන් කියනවා නවසීලන්තයේ ඇති වූ සිද්ධියට ප‍්‍රතිචාර දැක්වීමක් කියලා. එම අදහස ප‍්‍රතික්ෂේප කරන අය කියන්නේ නවසීලන්ත ප‍්‍රහාරයට පෙර සිටම ඔවුන් සංවිධානය වී සිටි බව පැහැදිලි වන නිසා එම අදහස පිළිගත නොහැකි බවයි.

මෙම සංවිධාන ඉලක්ක ගන්නේ කොහොමද කියන එක හරියට කියන්න බැරි වුවත්, කතෝලිකයින් ඉලක්ක වුණේ කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන්. පොදු පසුබිමක් තිබෙනවා. මෙවැනි ප‍්‍රහාරවල තල ගණනාවක් තිබෙනවා. එකක් තමයි නිශ්චිත ඉලක්කය. අනික තමයි පොදු ඉලක්කය. මෙතනදී කතෝලික පල්ලිය හරි වෙන කුමක් හරි නිශ්චිත ඉලක්ක ලෙස ගෙන තිබෙනවා. මෙම ප‍්‍රහාරයේ පොදු ඉලක්කය ඒක තමයි. ආර්ථික වශයෙන් බලපෑමක් එල්ල කිරීම සඳහා හෝටල්වලට ප‍්‍රහාරයක් එල්ල කරන්න ඇති. ඒ වගේම එම ප‍්‍රහාර නිසා සමාජය ත‍්‍රස්ත කිරීමකුත් සිද්ධ වෙනවා. මේ ප‍්‍රහාරයට ජාත්‍යන්තර සම්බන්ධයකුත් තිබෙන බව පෙනෙනවා. මෙම සංවිධාන ජාත්‍යන්තර වශයෙනුත් සම්බන්ධ නිසා බෞද්ධයින්ට ප‍්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන් අපේක්ෂා කරන ජාත්‍යන්තර අවධානය ඔවුන්ට ලැබෙන්නේ නෑ.

’’ මෙම ප‍්‍රහාරය ජාත්‍යන්තරයේ විශේෂ අවධානයට යොමුවීමට හේතුව තමයි කතෝලිකයිින්ට ප‍්‍රහාරය එල්ල වීම. බෞද්ධයින්ට ප‍්‍රහාරය එල්ල වූවා නම් ජාත්‍යන්තර වශයෙන් මෙතරම් අනුකම්පාවක් හිමිවේ යැයි මම හිතන්නේ නැහැ. ජාත්‍යන්තර අනුකම්පාව කියන එකත් එන්නේ බොහොම අපක්ෂපාතීව නෙවෙයිනේ. ඒ මෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් ව්‍යාපාරයේ නැඹුරුව තිබෙන්නේ ක‍්‍රිස්තියානියට එරෙහිව මිස බෞද්ධයින්ට එරෙහිව නොවෙයි. එම නැඹුරුත් සමග මෙම ප‍්‍රහාරය සඳහා කතෝලිකයන් තෝරා ගැනීම සමපාත වෙනවා. මෙම ප‍්‍රහාරය පිළිබඳව කරන්න පුළුවන් එක පැහැදිලි කිරීමක් තමයි ඒ ’’

ප‍්‍රශ්නය : ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානවලට එරෙහිව සිංහල සමාජය තුළින් එල්ල වූ විරෝධය, විශේෂයෙන් විකල්ප පුවත්පත් හැඳින්වූයේ කොටි සංවිධානය විනාශ වීමෙන් පසුව, සිංහල සමාජයට තමන්ට සතුරෙකු මවා ගැනීම සඳහා කළ ව්‍යාජ ප‍්‍රකාශ ලෙසයි. මේ ප‍්‍රකාශ පිළිබඳව ඔබට කියන්න තිබෙන්නේ කුමක් ද ?

පිළිතුර : මමත් එහෙම ප‍්‍රකාශ කරලා තිබෙනවා. මම කියන්නේ එම ප‍්‍රකාශ හරි. නමුත් ඒක ඔය තරම් සරල නැහැ. මෙහෙම ප‍්‍රහාරයක් සිංහල ජනතාව වුවත් අපේක්ෂා කරයි කියන එක සැක සහිතයි. ඒ වගේම මම දන්න කිසිවෙකු මුස්ලිම් සමාජය තුළ මේ වගේ අන්තවාදයක් තියෙනවා කියන එක ප‍්‍රතික්ෂේප කළේ නැහැ. ඔබ ඔය කියන ප‍්‍රකාශ කිරීමට බලපෑ එක් හේතුවක් තමයි නැගෙනහිර පළාතේ වෙනම මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කරන බව සමහරුන් ප‍්‍රකාශ කිරීම. ඒක පදනමක් නැති ප‍්‍රකාශයක් නේ. ඉස්ලාම් සමාජය තුළින් බෙදුම්වාදී ව්‍යාපාරයක් බිහිවීමට තිබෙන ඉඩ ඉතා අඩුයි.

සාමාන්‍යයෙන් ඕනෑම සමාජයකට සතුරෙක් අවශ්‍යයි. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ ව්‍යාපාරය තුළත් ඒක තිබුණා. මුස්ලිම් කොන්ග‍්‍රසය වැනි පක්ෂ ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් ලෙස හොඳින් ස්ථාපිත වී තිබෙන්නේ. සෝම හාමුදුරුවෝ ඉලක්ක කළේ ඒ අය තමයි. නමුත් එම පක්ෂය මේ වාගේ ව්‍යාපාරයකට උදව් කරයි කියලා සිතන්න පදනමක් නෑ. මුස්ලිම් කොන්ග‍්‍රසය පවා පිහිටුවා ගත්තේ ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සමග කේවල් කිරීම සඳහා. එම නිසා එම පක්ෂවලට වෙනම රාජ්‍යයක් අවශ්‍ය වන්නේ නෑ.

ඇත්ත වශයෙන්ම සිද්ධ වූයේ, සිංහල අන්තවාදී කතිකාව නිසා අපිට මෙම සංසිද්ධිය තේරුම් ගැනීම සඳහා යම් බාධාවක් ඇති වූවා. එපමණක් නෙවෙයි සිංහල අන්තවාදී කතිකාව නිසා මුස්ලිම් අන්තවාදය පෝෂණය වූවා.

’’ මිත්‍යා ප‍්‍රබන්ධ සෑදීමට සත්‍ය පදනමක් තිබිය යුතුයි. කිසිම මිත්‍යා ප‍්‍රබන්ධයක් සෑදෙන්නේ නෑ සත්‍ය පදනමක් නැතිව. මෙතනත් එහෙම පසුබිමක් තිබුණා. මම පුද්ගලිකව විශ්වවිද්‍යාල තුළ නිරීක්ෂණය කරලා තිබෙනවා. මුල් කාලයේදී ඉස්ලාම් ශිෂ්‍යයින් අනෙක් ශිෂ්‍යයින් සමග මුසුවී සිටින බවත්, නමුත් 1990 න් පසුව මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා. විශේෂයෙන් ශිෂ්‍යයින්ගේ ඇඳුම් වෙනස් වුණා. ඒක ඕනෑම පුද්ගලයෙකුට නිරීක්ෂණය කළ හැකිව තිබූ දෙයක් ’’

ප‍්‍රශ්නය : ත‍්‍රස්තවාදී කටයුතුවල යෙදුණු දෙමළ සංවිධානවලට දේශපාලන විසඳුමක් දිය යුතුය යන ස්ථාවරයේ ඔබ සිටියා. තවුහිද් ජමාත් වැනි සංවිධානවලටත් දේශපාලන විසඳුමක් දිය යුතු බව ඔබ කියනවාද ?

පිළිතුර : මෙම ප‍්‍රශ්නයටත් දේශපාලන විසඳුමක් දිය යුතුයි. මුස්ලිම් සමාජය සමග විශාල දේශපාලන සංවාදයකට යා යුතුව තිබෙනවා. ඒක තමයි දේශපාලන විසඳුම. මම ඊයෙත් ඉස්ලාම් දේශපාලන සංවිධාන කිහිපය් සමග සාකච්ඡ කළා.

දේශපාලන විසඳුම කියන්නේ වෙනම පාලන ඒකකයක් කියන එක නොවෙයි. දෙමළ දේශපාලන ඉල්ලීම් වෙනම එකක්. ඒකට තිබෙනවා ප‍්‍රාදේශීය දේශපාලන ස්වායත්තභාවය. හැම රෝගයකටම තිබෙන්නේ එකම බෙහෙත නොවෙයි නේ. ඒ අනුව දෙමළ බෙදුම්වාදය හරි, ත‍්‍රස්තවාදය හරි ඒකට තිබෙන විසඳුමක වෙන එකක්.

මෙම ප‍්‍රශ්නයට ලබාදිය යුතු දේශපාලන විසඳුමේදී කළ යුතු පළමු දේ තමයි ඒ අය කොන් කිරීම. මුස්ලිම් සමාජය තුළ ඒ අයට තියෙන සුජාතභාවය නැති කළ යුතුයි. එය කළ හැක්කේ මුස්ලිම් සමාජයටම තමයි. ඒකට අපි උදව් කරන්න ඕන. හොඳ වේලාවට මෙම අවස්ථාවේදී අලූත්ගම, දිගන ප‍්‍රදේශවල වාගේ සිදුවීම් ඇති වුණේ නෑ. එහෙම වූවා නම් මෙම ප‍්‍රහාරය එල්ල කළ අයට ඒක විශාල වාසියක් වෙනවා. මෙම කල්ලිය කතෝලික පල්ලි ඉලක්ක කිරීම ඔවුන්ට විශාල අවාසියක් වී තිබෙනවා. කතෝලික ප‍්‍රජාව ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමට නොයාම නිසා පසු කම්පනවලින් ඔවුන්ට වාසියක් ගන්න බැරි වුණා. ඒ වගේම කතෝලිකයින්ට ප‍්‍රහාර එල්ල කිරීම නිසා ජාත්‍යන්තර වශයෙන් විශාල අනුකම්පාවක් හිමිව තිබෙනවා. මෙම තත්ත්වය නිසා ඔවුන්ට එරෙහිව එල්ල වන මිලිටරි ප‍්‍රහාරයන්ට සුජාතභාවයක් ලැබී තිබෙනවා. නමුත් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ප‍්‍රහාර එල්ල කිරීමේදී තිබුණ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි ඉන්දියාව, බටහිර රටවල් අපි වගේ අය පවා මානව හිමිකම් වාගේ ප‍්‍රශ්න ගෙනත් ඊට එරෙහි වෙනවානේ. නමුත් මෙම ප‍්‍රහාරයේ ස්වභාවය විසින්ම එම තත්ත්වය නැති වී තිබෙනවා. එම තත්ත්වය මෙම සංවිධානවලට විශාල අවාසියක් වෙනවා.

‘‘ මෙම ප‍්‍රශ්නයට තිබෙන මිලිටරි විසඳුම තමයි ‘‘ජාතික ආරක්ෂක රාජ්‍යය’’ කියන එක. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකාව දුන්න උත්තරය තමයි ජාතික ආරක්ෂක රාජ්‍ය කියන එක. දැනුත් ලංකාව අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය ඒක තමයි. ප‍්‍රශ්නය තමයි ඒකට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් කප්පාදු කිරීම සිදුවෙනවා. ඒක නිසා ජාතික ආරක්ෂක රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීම අනතුරුදායකයි’’

එම නිසා අපි මුස්ලිම් සමාජයත් එක්ක සංවාදයක් ආරම්භ කළ යුතුයි. එම සංවාදය මෙම කණ්ඩායම් තනි කිරීම සඳහා යොමු කළ යුතුයි. දැන් මුස්ලිම් සමාජයට අභියෝග එල්ල වෙලා තිබෙන්නේ. මම හිතන්නේ මුස්ලිම් සමාජය තේරුම් අරන් සිටිනවා ඔවුන් ලොකු උඟුලක පැටලී සිටින බව. ඒ අය දැන් එළියට බහින්නෙත් බයෙන්. ඒක හැමදාම කරන්න බෑ. එම තත්ත්වයන් භාවිත කරලා තිබුණු දේශපාලන සංවාදයට යා යුතුයි. ඒක තමයි දේශපාලන විසඳුම. සිංහල සමාජයත් ඒ සඳහා තම චින්තනය වෙනස් කර ගත යුතුව තිබෙනවා.

උපුටා ගැනීමකි: එරික් ගාමිණි ජිනප‍්‍රිය, කතිකා, 2019/04/30 දිවයින, පිටුව 08

Recommended For You

About the Author: Editor