නරුහිතෝ කුමරු කිරුළු පළඳියි

ඊයේ ජපන් ජාතිකයින්ටත් ජපන් ඉතිහාසයටත් සුවිශේෂ අවස්ථාවක් බවට පත් වුණා. ඒ 85 හැවිරිදි ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා ස්ව කැමැත්තෙන් දශක තුනක් ඔටුන්න දරා සිටි සිහසුන අතහැර යාම නිසා සහ ජපන් අධිරාජ්‍යයෙක් එවැනි තීරණයක් ගත්තේ වසර 200කට පමණ නිසයි.

1817 වසරෙන් පසු ස්වේච්ඡාවෙන් සිය ධූරය අත්හළ පළමු ජපාන අධිරාජ්‍යයා අකිහිතෝ බව ජපන් මාධ්‍ය පවසයි.

වයස සහ පිරිහෙමින් පවතින සෞඛ්‍ය තත්ත්වය එම ධූරය දැරීමට යෝග්‍ය නොවන බව අකිහිතෝ අධිරාජ්‍යයා විසින්ම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අකිහිතෝ අධිරාජ්‍යයාට සිහසුන අත්හැරීමට අවසරය ලැබුණා.

ජපානයේ අධිරාජ්‍යයාට දේශපාලනික බලයක් නොමැති අතර ජාතික සංකේතයක් ලෙස රාජත්වය උසුලයි. අකිහිතෝ අධිරාජ්‍යයා රෝගීන් සහ ආපදාවන්ට ලක්වූවන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලූවෙකු හෙයින් බොහෝ ජපාන වැසියන්ගේ ගෞරවාදරයට පත්ව සිටිනවා.

ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා තම සිහසුන අත්හැරීම සනිටුහන් කිරීම වෙනුවෙන් සිදු කෙරෙන ඓතිහාසික අවසන් උත්සවය තෝකියෝ නුවර ඉම්පීරියල් පැලස්හිදී පැවැත් වුණා. පළමු උත්සවය පෞද්ගලිකව පැවැත්වෙන පවුලේ උත්සවයක් වන අතර ජපාන වැසියන්ට නැරඹිය හැක්කේ අඟහරුවාදා (1) පැවැත්වෙන සමුගැනීමේ උත්සවයයි.

මෙම උත්සව මාලාවේ පළමු උත්සවයේදී සිදු කළේ, සිය ඉවත් වීම පිළිබඳව ජපාන අධිරාජ්‍ය පවුලේ මීට පෙර සිටි මුතුන් මිත්තන්ට දන්වා සිටීමයි.

ඒ සමගම ජපානයට නව යුගයක් ආරම්භ කරමින් ඔටුන්න හිමි නරුහිතෝ කුමරු අද, මැයි 01 අභිෂේක ගැන්වීමට නියමිතයි.

නරුහිතෝ කුමරු

නරුහිතෝ කුමරු ජපානයේ 126 වන අධිරාජ්‍යයා බවට පත්වීමට නියමිත යි . ඒ අනුව, මැයි 01 සිට එරට ‘රයිවා යුගය’ (Reiwa era) ඇරඹෙන අතර ඒ සමග ම 1989 වසරේදී අකිහිතෝ අධිරාජ්‍යයා එම ධූරයට පත් වීමත් සමග ඇරඹුණු ‘හෙයිසෙයි යුගය’ (Heisei era) අවසන් වෙනවා.

59 හැවිරිදි නරුහිතෝ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර ඔහු ඔටුන්න හිමි කුමරු බවට පත් කරන ලද්දේ, වයස අවුරුදු 28දී යි. 1986 වසරේදී තේ පැන් සාදයක් අතරතුරදී ඔහුගේ බිරිඳ වන මසාකෝ ඔවාඩා කුමරිය ඔහුට හමු වූ අතර ඔවුන් විවාහ වූයේ, 1993 වසරේදී යි.

ඔවුන් දෙදෙනාගේ එක ම දරුවා වන අයිකෝ කුමරිය 2001 වසරේදී උපත ලැබුවා. නමුත් ජපානයේ වත්මන් නීතිය අනුව කාන්තාවන් අධිරාජ්‍ය ධූරයට පත් වීම වළක්වා ඇති හෙයින් නරුහිතෝගේ දියණියට සිය පියාගේ උරුමය හිමි වන්නේ නැහැ.

නරුහිතෝ කුමරුගෙන් පසු අධිරාජ්‍ය ධූරයට සුදුසුකම් ලබා සිටින්නේ අයිකෝ කුමරියගේ මාමා වන ෆුමිහිතෝ කුමරුගෙන් ය. ඔහුගෙන් පසු අයිකෝ කුමරියගේ ඥාති සොයුරා වන 12 හැවිරිදි හිසහිතෝ කුමරු ඔටුන්නට හිමිකම් කියනු ඇති බවයි ජපන් මාධ්‍ය වාර්තා කරන්නේ.

Recommended For You

About the Author: Editor