පිටරටින් උපදෙස් ගත්තට කමක් නෑ – ඒත් ඒ අයගේ හමුදාවන්ට මෙහේ ඇවිත් ඉන්න බැහැ – විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ

පිටරටින් උපදෙස් ගත්තාට ප‍්‍රශ්නයක් නැති බවත් අපේ මිනිස්සු ගැන විශ්වාසය තැබිය යුතු බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

‘කම්කරු අයිතීන් සුරකිමු, ත්‍රස්තවාදය පරදවමු, ජාතික සමගිය ගොඩනගමු’ මැයෙන් කෝට්ටේ නගර සභා ශාලාවේ පැවැති ඒකාබද්ධ මැයි දින සැමරුමට එක්වෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද ප‍්‍රකාශ කළේය.

“ජේ.ආර්.ජයවර්ධනගේ ආණ්ඩුව මුලින්ම 1988දී මැයි දිනය තහනම් කළා. දිනේෂ්ලා එම තහනම කඩලා මැයිදින රැස්වීමක් පැවැත්වුවා. මම කම්කරු ඇමතිවෙලා සිටියදී අපේ ආණ්ඩුව යටතේ 1996දී යළිත් වරක් මැයි දිනය තහනම් කළා. වාසුලා එම තහනම් නොතකා එදා පෙළපාළි ගියා. අද ඒ විදියටම මැයි දිනය තහනම් කර තිබෙනවා.ලෝක කම්කරු දිනය සැමරීමට අපට අයිතියක් තිබෙනවා. නමුත් එක්සත් ජාතික පක්‍ෂයට කම්කරුවන් සැමරීමට වුවමනාවක් නැහැ. ඒ අය ඕනම අවස්ථාවක ලෑස්තියි මැයි දිනය තහනම් කිරීමට.

මේ වනවිට රටේ ආර්ථිකය සෝමාලියාවට වඩා කඩාවැටිලා. බෝම්බකරුවන් නිසා ජනතාවට භීතියෙන් ජීවත් වෙන්න සිදුවෙලා. මෙය නවත්වන්න මේ අයට ලැබුණු බුද්ධි අංශ තොරතුරු අනුව කටයුතු නොකිරීම ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා. අද බුද්ධි අංශ ඇතුළු ත්‍රිවිධ හමුදාව පරක්කුවෙලා හරි ත්‍රස්තවාදීන් මර්දනය කරමින් යනවා.

අපි අපේ හමුදාව ගැන විශ්වාසය තැබිය යුතුයි. පිටරටින් උපදෙස් ගත්තට කමක් නෑ, ඒ අයගෙ හමුදාවන්ට මෙහේ ඇවිත් ඉන්න බැහැ. අපේ මිනිස්සු ගැන අපි විශ්වාසය තැබිය යුතුයි. රටේ සම්පත් විදේශිකයන්ට විකිණීම නතර කර සියලු දෙනා එක්ව මේ රට ගොඩනැගිය යුතුයි. මේ ආණ්ඩුව හරියට කළේ ලයිට් කපපු එකයි, තෙල්මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම පමණයි.මේක ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙමෙයි.ඔවුන්ගේ එකම පරමාර්ථය පළිගැනීම පමණයි”

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් ඇතුළු පක්ෂ ක‍්‍රියාකාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටීයහ.

Recommended For You

About the Author: Editor