ලෝක කුසලානට ශ‍්‍රී ලංකා කණ්ඩායම සූදානම්

මැයි 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ආරක්ෂාව සහ වර්ෂාපතනයෙන් සිදුවන දැඩි බාධා කිරීම් මධ්‍යයේ තම පුහුණු වීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පසුගිය අපේ‍්‍රල් 29 වැනිදා ඔවුන් කණ්ඩායමක් වශයෙන් පුහුණුවීම්වල නිරත වුණා. එහෙත් 30 වැනිදා පැවැති දැඩි වර්ෂාව හේතුවෙන් එළිමහන් පුහුණු වීම් නවතා දමා ගෘහස්ත ක‍්‍රීඩාගංණය තුළ පුහුණු වීම්වල නිරත වුණා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ ආරක්ෂාව සහ දැඩි වර්ෂාපතනය හමුවේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම්වලදී දැඩි බාධාකාරී තත්ත්වයක් උද්ගතව පවතින බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා ප‍්‍රකාශ කළේ, ශ‍්‍රී ලංකා කණ්ඩායම දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ පුහුණුවීම්වල නිරත වන බවත් මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය ඒ සඳහා බාධාවක් නොවන ආකාරයට කොළඹදී ගෘහස්ත පුහුණුවීම් සිදුවන බවයි.

මෙහිදී ගෘහස්ත පුහුණු වීම් සැසි මගින් අපේක්ෂිත ප‍්‍රතිඵල ලැබේ දැයි අප කළ විමසීමට පිළිතුරු දුන් අසන්ත ද මෙල් මහතා කියා සිටියේ ‘‘ඇත්ත, ගෘහස්ත පුහුණුවීම් ක‍්‍රිඩාංගණයක ලබන පුහුණුවක් සමග සැසදීමට නොහැකියි. නමුත් ඔවුන් එමගිනුත් ප‍්‍රමාණවත් පුහුණුවක් ලබා ගන්නවා’’ යනුවෙනි.

ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හා කාලගුණ තත්ත්වය කෙසේ වුවත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන 07 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමග ශ‍්‍රී ලංකා කණ්ඩාමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙරහුරු තරගවල සිට දැඩි අවධානයක් යොමු කරන ලෙස ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

පුහුණු තරග කාලසටහන

ලෝක කුසලානය සඳහා පිටත්ව යන ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට ප‍්‍රථම පුහුණු තරග කිහිපයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මැයි 18 සහ 21 දිනවල ස්කොට්ලන්තය සමග පුහුණු තරග දෙකකට ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතයි. ඊට පසුව 24 වැනිදා දකුණු අප‍්‍රිකාව සමග ද 27 වැනිදා ඕස්ටේ‍්‍රලියාව සමග ද පුහුණු තරග දෙකකට ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන බව සඳහන් වෙනවා.

ලසිත් මාලිංග ගැන

ශ‍්‍රී ලංකාවේ සුපිරි පන්දු යවන්නා වන ලසිත් මාලිංග ලෝක කුසලානයට එක් වේද ? නොවේවිද? යන්න ගැන පවතින සැක සාංකා තවමත් ඉවත් වී නැහැ. මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ලංකා ඊ ප්‍රෙස් සමග අවධාරණය සඳහන් කළේ ලසිත් 22 වැනි දා සිට කණ්ඩායමට එක්වන බවයි. මේ සඳහා හේතු වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දක්වන්නේ ලසිත් මේ දිනවල ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියට ක‍්‍රීඩා කරමින් සිටීමයි.

‘‘මැයි 22 වැනිදා වන විට ලසිත් මාලිංග කණ්ඩායම හා එක්ෙවිවි කියලා අපි හිතනවා. ඊට පෙර ඔහුට එංගලන්තයට පැමිණීමට හැකියාවක් නැහැ. ඊට හේතුව තමයි ලසිත් ක‍්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩාම බොහෝ විට අවසන් තරග සඳහා තේරෙන්න තිබෙන අවස්ථාව වැඩියි. මේ වන විටත් ඔවුන් පසුවන්නේ තෙවැනි ස්ථානයේ. ඒ නිසා ලසිත්ට අපි හා එක්විය හැකි ආසන්නම දිනය තමයි මැයි 22 කියලා කියන්නේ’’ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

මේ තත්ත්වය තුළ ලසිත් මාංලිග පුහුණු සැසි සඳහා සහභාගී වන්නේ ද ? නැද්ද ? යන්න ගැන අප කළ විමසීමේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරියා සඳහන් කළේ ‘‘නැහැ, ලන්ඩන්වල පැවැත්වෙන පුහුණු සැසියට ඔහු සහභාගී වන්නේ නැහැ. ඒ වගේම ස්කොට්ලන්ත සංචාරයටත් ඔහු එක්වන්නේ නැහැ. ඒත් ඔහු දකුණු අප‍්‍රිකාව සහ ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන පුහුණු තරග සඳහා සහභාගී විය යුතුයි’’

මෙහිදී අපි විමසා සිටි ලසිත් මේ ආකාරයෙන් අඛණ්ඩව ක‍්‍රීඩා කිරීම තුළ ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය අවදානමට ලක් වන්නේ නැතිද ? යන ප‍්‍රශ්නය පිළිතුරු දෙමින් ඔහු ප‍්‍රකාශ කළේ ‘‘ඇත්ත ඔහුට විවේකයක් අවශ්‍යයි.

දිමුත්ගේ නායකත්වය තහවුරු වෙයි

මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට සහ ක‍්‍රීඩා ලෝලීන්ගේ සතුටට හේතුවන කරුණක් ද ක‍්‍රමිකව වර්ධනය වෙමින් තිබේ. ඒ දිමුත් කරුණාරත්න තම කණ්ඩායම තුළ ස්ථාවරභාවය ගොඩනගා ගෙනිමින් සිටීමයි.

‘‘දිමුත් අපි අපේක්ෂා කළ ආකාරයටම කණ්ඩායම තුළ එකමුතුකම ගොඩනගා ගනිමින් සිටිනවා. කණ්ඩායම් හැඟීම ශක්තිමත් වෙමින් තිබෙනවා’’ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව

පාස්කු ඉරිදා ප‍්‍රහාර සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කරන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාර ලැබී ඇති බව ද මේ අතර වාර්තා වෙයි.
‘‘ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයට පැමිණි දා සිට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට එංගලන්ත බලධාරීන් කැමැත්ත පළ කර තිබෙනවා’’ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර.

Recommended For You

About the Author: Editor