විකිලීක්ස් නිර්මාතෘට බ්‍රිතාන්‍ය අධිකරණය මගින් සති 50ක සිර දඬුවමක්

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජේට බ්‍රිතාන්‍ය අධිකරණය මගින් සති 50ක සිර දඬුවමක් නියම කර ඇතැයි BBC පුවත් වාර්තා කරයි.

ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් මෙම දඬුවම පනවා ඇතැයි BBC වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

බෙල්මාෂ් අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට අසාන්ජේ අධිකරණ භූමියට රැගෙන එනවිට දෙස් විදෙස් වාර්තාකරුවන් විශාල පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔවුන් අධිකරණ ශාලාවට ඇතුළුවීමේ අවසරපත්‍ර ලබාගැනීම සඳහා පැය දෙකකට අධික කාලයක් පෝලිමේ රැඳිසිටි බවද සඳහන් වේ.

බි‍්‍රතාන්‍යයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය ලබමින් සිටි අසාන්ජේගේ දේශපාලන රැකවරණය අහෝසි කිරීමට ඉක්වදෝර් රජය පියවර ගත් වහාම ඔහු බි‍්‍රතාන්‍ය පොලීසියේ අත්අඩංගුවට පත් වුණේය.

අසාන්ජේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයක් බි‍්‍රතාන්‍යයට එල්ල විය. විශේෂයෙන් මානව හිමිකම් හා ජනමාධ්‍ය සංවිධාන බි‍්‍රතාන්‍යයේ මෙම පියවර දැඩිව හෙළා දැක්කේය.

ඇමරිකානු යුද රහස් තොරතුරු සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඇමරිකානු රජය අසාන්ජේ අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි. 

Recommended For You

About the Author: Editor