
ගෝලීය ත්රස්තවාදයට එරෙහි සටනේ දී දේශපාලන නායකත්වය ඉතා වැදගත් බව පෙන්වා දෙන එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව තිබෙන බව පවසයි.

දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය ඇමති Ben Wallace මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.
මෙම ත්‍රස්ත අභියෝගය හමුවේ ජනපති ගත් පියවර තුළින් සාර්ථක ලෙස ත්‍රස්තවාදය පාලනය කිරීමට හැකිවීම පිළිබඳ මෙහිදී අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කරනු ලැබීය.
ශ්‍රී ලංකාවට එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාමීය ජාත්‍යන්තර ත්රස්තවාදයේ කොටසක් බව මේ වන විට සනාථ වී තිබෙන අතර, මෙවැනි ගෝලීය ත්‍රස්ත සංවිධානයකට මුහුණ දීමේ දී අන්තර්ජාතික සහය අවශ්‍ය බව ද බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
මෙම ඛේදවාචකය පිළිබඳව සිය ශෝකය පළ කරමින් දෙවන එළිසබෙත් මහ රැජින, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ඇතුළු ප්‍රධානින් එවු ශෝක පණිවිඩ පිළිබඳව සහ එම අසීරු අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජය දැක්වූ සහය පිළිබඳව සිය ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා විමර්ශන කටයුතුවලට සහය දීමට බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විශේෂ කණ්ඩායමක් කඩිනමින් දිවයිනට එවීම පිළිබඳව ද ස්තූතිය පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉස්ලාමිය ත්‍රස්තවාදින් සෑම ප්‍රහාරයක් සඳහාම වෙන් වෙන් උපායමාර්ග භාවිත කරන බැවින් මෙවැනි පුළුල් සන්ධානයක් පරාජය කිරීම සඳහා සෑම රටකම ඔත්තු සේවා සහ රහස් තොරතුරු හුවමාරු කරගැනීම මූලික අවශ්‍යතාවයක් බවයි.
ISIS ත්‍රස්තවාදින් සමඟ සටන් පැවති කාලයේ බ්‍රිතාන්‍ය හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකුව සිට ඉන් පසුව දේශපාලනයට පිවිසි Ben Wallace මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ ISIS ත්‍රස්තවාදය දෙස පමණක් දෑස යොමාගෙන සිටිය දී අනපේක්ෂිත ලෙස අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයක් ලන්ඩනයට සහ මැන්චෙස්ටර් නුවරට එල්ලවීම කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් බව යි.
ත්‍රස්ත ප්‍රහාර සහ අවදානම හඳුනාගැනීම පිණිස බ්‍රිතාන්‍ය රජය සිදුකළ පරිදි සියලු දේශීය බුද්ධි අංශවල තොරතුරු එක්රැස් කිරීමේ ඒකාබද්ධ විමර්ශන කේන්ද්‍රයක් පිහිටවිය යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට සහාය දීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍ය ප්‍රතිත්‍රස්ත සහ ආරක්ෂක කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් Tom Burn නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Tom Hurd යන මහත්වරුන් සහ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සිද්ධාර්ථ වික්‍රමසිංහ මහතා ද, ජනාධිපති අතිරේක ලේකම් ඇසල වීරකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.