Voice of දියවන්නා සතියේ දේශපාලනය – කථානායක

අප්‍රේල් 21 වෙනිදායින් පසුව උද්ගත වූ තත්වය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව අවධානය යොමු කිරිම සඳහා කථානායකවරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වූ ස්ථාවර කාරක සභාව විසින් කැඳවන ලද විශේෂ සර්ව පාක්ෂික සමුළුව පවතින තත්වය අලලා දිගු කාලීන හා කෙටි කාලීන වශයෙන් ක්‍රියාත්මක විය යුතු කරුණු ඇතුලත් දියවන්නා ප්‍රකාශනය එළි දැක්වූයේ පසුගිය 26 වෙනිදාය.

එහිදී  ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු සියලු දේශපාලන බලවේග එක්සත්ව අභියෝගයට මුහුණ දීමේ වැදගත්කම, පොලිස් දෙපාර්තමේන්තුව ඊට අදාළ නිත්‍ය රේඛීය අමාත්‍යංශයක් යටතට ක්‍රියාත්මක කිරීම තුලින් වගවීම,තහවුරු කිරීම,ප්‍රජා පොලිස් සේවාවන් නැවතත් ප්‍රතිස්ථාපනය කරමින් ජනතාව සහ පොලිසිය අතර ශක්තිමත් සම්බන්ධීකරණ ජාලයක් ඇති කිරීම මෙන්ම  ත්‍රස්තවාදීන්ගේ අරමුනු නිවැරදිව හදුනා ගනිමින් අවබෝධයෙන් හා සමගියෙන් කටයුතු කිරීම ආදී කරුණු 10 ක් ප්‍රකාශ‍නයෙහි අවධාරණය කෙරිනි.   

මේ අතර, පාර්ලිමේන්තුව ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇතැයි යන්න පිලිබඳව වැදගත් බුද්ධි තොරතුරු රැසක් ගෙවුනු  සතිය තුළ පැහැදිලිව අනාවරණය විය.

ඒ අතර,  මෙතෙක් හෙළිදරව් නොකළ අතිශය රහස්‍ය තොරතුරු ගණනාවක්ද කථානායකවරයා අතට පත්ව තිබිනි.  තත්වයේ බරපතලකම අනුව වහාම ක්‍රියාත්මක වූ ඔහු ආරක්ෂක අංශ සමග සාකච්ඡා කොට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සඳහා කටයුතු යොදන ලද අතර,  ඒ සඳහා ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයන්ගේ උපදෙස් මෙන්ම සුවිශේෂී ආරක්ෂණ උපකරණ පද්ධතියක් ද ලබා ගැනීම සඳහා පෞද්ගලිකවම ප්‍රභල රටවල් කිහිපයක් සමග සබඳතා ඇති කර ගැනීමට සමත් විය.  ඒ අනුව නවීන උපකරණ පද්ධතියක්ද ප්‍රදානයක් ලෙස වහාම ගුවන් මගින් සැපයීමට ද එම රටවල් කටයුතු යොදන ලැබීය.

විශේෂයෙන්ම මහා නාහිමිවරුන් , අගරදගුරුතුමන්, ප්‍රධාන පෙලේ මව්ලවිවරු ඇතුළු ආගමික නායක කාරකාදීන් සමග ද නිරත්තරයෙන් සාකච්ඡා කරමින් තත්වය කළමනාකරණය කර ගැනීමට උපරිමයෙන් සහය දැක්වූ කථානායකවරයා, බුද්ධ ශාසන ඇමතිවරයා සමග ද සාකච්ඡා කළේ එළඹෙන වෙසක් සමයෙහි ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් බැතිබර වෙසක් සැමරුමකට අවශ්‍ය කටයුතු යෙදීමේ වැදගත්කම පිළිබඳවය. 

ඒ අනුව දිවයිනේ සියලුම වෙහෙර විහාරස්ථාන සමග සම්බන්ධීකරණය ගොඩ නගමින් උත්සවශ්‍රීයෙන් තොරව වුවද ගෞරවනීය ආකාරයෙන් වෙසක් සැමරුම සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීම පිලිබදව අදාළ අංශවල අවධානය යොමු කරන බව ද මෙහිදී කථානායකවරයා සඳහන් කළේය.

මේ අතර, ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් පවුල් යළි නගා සිටුවීම සඳහා ගත යුතු පියවර පිලිබඳව දේශීය වශයෙන් අදාළ අංශ සමග මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් සාකච්ඡා කිහිපයක්ද පැවැත්වූ කථානායකවරයා පෞද්ගලිකවම විශාල පිරිසකගේ සුවදුක් සොයා බැලීමට ද කටයුතු කළේය.   

Recommended For You

About the Author: Editor