ජාතික තවුහිත් ජමාත් අන්තවාදීන් පෝෂණය කළ කෝටිපතියන් හා සංවිධාන හඳුනා ගනී

පාස්තු ඉරිදා ප‍්‍රහාරය මෙහෙය වූ ජාතික තවුහිත් ජමාත් අන්තවාදීන්ට විශාල වශයෙන් අරමුදල් සැපයූ බවට සැකපිට ප‍්‍රකට ව්‍යාපාරිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද තවත් කිහිප දෙනකු හඳුනාගෙන ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ප‍්‍රහාරය දියත් වූ දින සවස දෙමටගොඩ මහවිල උද්‍යාන පටුමගේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගත් නිවසේ හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රහීම් පවුල සහ කුලියාපිටිය ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙක් ද මේ අතර වන බවත් ඔවුන්ගෙන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ද ගෙන ඇති බවයි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අන්තවාදීන්ට ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය ප‍්‍රතිපාදන ලැබෙන මාර්ග කිහිපයක් ද හඳුනා ගෙන ඇත. මේ අතර අතර රාජ්‍ය නොවන සංවිධානයක් සහ තුර්කිය හරහා අන්තවාදීන්ට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව ද හඳුනා ගෙන ඇත. මෙම මුදල් විශාල ප‍්‍රමාණයක් නීති විරෝධී ක‍්‍රම මගින් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.

ජාත්‍යන්තර වශයෙන් සහ මෙරට ව්‍යාපාරිකයින් මගින් ලබාගත් මුදල් යොදවා ජාතික තවුහිත් ජමාත් අන්තවාදීන් තම සංවිධානය සම්බන්ධ විවිධ පුද්ගලයින් සහ පවුල්වලට විශාල වශයෙන් මුදල් ගෙවා ඇති බවත් වෑන් රථ, යතුරුපැදි ඇතුළු වාහන විශාල ප‍්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත් බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන ඇති බව ද වාර්තා වේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරන්නේ මේ ආකාරයෙන් ඉස්ලාම් අන්තවාදීන් විසින් මිලදී ගත් වාහන 20ක් පමණ අත්අඩංගුවට පත්ව ඇති බවයි.

මෙරටින් ඉස්ලාම් අන්තවාදය අතුගා දැමීමට නම් ඔවුන් වෙත මුදල් සැපයෙන් සියලූ අංශ, විශේෂයෙන් ජාත්‍යන්තර ජාලය සම්පූර්ණයෙන් බිඳ දැමිය යුතු බව ආරක්ෂක අංශවල අදහස වී ඇත. ඒ අතර මෙරට තුළින් ද ඔවුන් වෙත විශාල වශයෙන් මූල්‍ය අනුග‍්‍රහය ලැබෙන හෙයින් එකී පුද්ගලයින් සහ ව්‍යාපාරිකයින් ද වහාම අත්අඩංගුවට ගත යුතු බව ආරක්ෂක අංශ විසින් දන්වා යවා ඇතැයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor