පුහුණුවීම් පටන් ගත් දවසට වඩා දැන් මානසිකත්වය ඉහළ මට්ටමකට ඇවිල්ලා – දිමුත් කරුණාරත්න

”ලෝක කුසලාන තරගාවලියකට යනවා කියන්නේ හොඳ ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි. අපි ඒ වෙනුවෙන් තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. පුහුණුවීම් පටන් ගත් දවසට වඩා දැන් මානසිකත්වය ඉහළ මට්ටමකට ඇවිල්ලා කියලා විශ්වාස කරනවා” එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ලෝක කුසලාන අනුග්‍රාහකයා වශයෙන් ඉන්දියාවේ දැවැන්තම පානීය ජලය නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් වන ”කෙන්ට් රෝ ” ආයතනය කටයුතු කරනු ලබන අතර ඒ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මේ බව පැවසුවේය.

දිමුත් කරුණාරත්න මෙසේද පැවසුවේය.

“ඇත්තටම පාස්කු ඉරිදා එල්ල වුණු ප්‍රහාරයෙන් හැම දෙනාගේම දෛනික කටයුතු අඩපණ වුණා. ඒ සිදුවීමෙන් පස්සේ ගොඩක් දෙනා බියෙන් තමයි ඉන්නේ. ඒ වගේම තමයි ක්‍රිකට් ක්‍රීඩකයින්ටත්. ඔවුන්ගේ හදවත් තුළත් තිගැස්මක් තියෙනවා. මුලින්ම නැති වුණත් කණ්ඩායමක් ලෙස එකට කටයුතු කරන කොට ගොඩක් අයගේ පොඩි සිනාවක් මූණේ දකින්නට තියෙනවා. ලෝක කුසලාන තරගාවලියකට යනවා කියන්නේ හොඳ ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි. අපි ඒ වෙනුවෙන් තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. පුහුණුවීම් පටන් ගත් දවසට වඩා දැන් මානසිකත්වය ඉහළ මට්ටමකට ඇවිල්ලා කියලා විශ්වාස කරනවා” යැයිද පැවසුවේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ඇඳුම් සහකරුවා”මාස් හෝල්ඩිංග්ස් ” නිල ලෝක කුසලාන අනුග්‍රාහකයා ඉන්දියාවේ පානීය ජලය නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් වන ”කෙන්ට් රෝ”

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ඇඳුම් සහකරුවා වශයෙන් ”මාස් හෝල්ඩිංග්ස් ” ආයතනය කටයුතු කරනු ලබන අතර එම නිල ටීෂර්ටයද ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට පිරිනැමීම මේ අවස්ථාවේදී සිදුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කර ඇති ඇඳුම් සියල්ල ඉවතලන ප්ලාස්ටික් භාවිතයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වේ.

”ශ්‍රී ලංකාව තුළ විශාල ගැටළුවක්ව පවතින ඉවතලන සියළුම ප්ලාස්ටික් නිෂ්පාදනයන් ගෙන නවීන තාක්ෂණය යොදා ගනිමින් මේ ඇඳුම් නිර්මාණය කර තිබෙන බව” මාස් හෝල්ඩිංග්ස් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් විධායක ශිරෙන්ද්‍ර ලෝරන්ස් මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor