අප්‍රාණික වු ‘1952 චීන – ශ්‍රී ලංකා රබර් – සහල් ගිවිසුම’ කාලානුරූපීව නව මුහුණුවරකින් යළි එළිදකී

දස වසරක් ඇතුලත ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය තුළින් එක්සත් ජනපද ඩොලර් බිලියන 5ට අධික වටිනාකමක් ලබා ගැනීම අවසාන අරමුණයි

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පසුගිය 25 දා චීනයේ බීජිං හි ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති අන්තර් ජාතික සහයෝගීතාවය සඳහා වන ඒකීය මාවත් ද්විත්වය පිළිබඳ දෙවන සම්මන්ත්‍රණයේදී ඓතිහාසික අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදී.

එම ගිවිසුම අත්සන් කරන ලද්දේ ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සහ හයිනාන් පළාතේ විධායක ආණ්ඩුකාර ආචාර්ය ෂෙන් ඩන් යැන්ග් ( Dr. SHEN DAN YANG) මහතා විසිනි. එම අවස්ථාව සඳහා චීන ජනාධිපති ෂි ජින්පින්ග් සහ ජාතික නායකයින් 37 ට අධික සංඛ්‍යාවක්ද, 150ට ආසන්න අමාත්‍යවරුන් ඇතුලු අන්තර්ජාතික නායකයින්ද ලොව පුරා විවිධ සමාගම් වල උසස් නිලධාරීන්, ආයතන ප්‍රධානීන් සහ විධායක නිලධාරීන් ඇතුළු දහස් ගණනක් සහභාගී වී සිටියහ.

මෙම අවබෝධතා ගිවිසුමේ තේමාව වන්නේ ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය ආශ්‍රිත රබර්, තේ, පොල්, කජු, සීනි, උක් කර්මාන්තය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයන්ගෙන් ගෝලීය වෙළඳපොලට ඉදිරිපත් කරන විවිධ භාණ්ඩ වල  තරඟකාරීත්වය උසස් කිරීමයි. පළමුව ශ්‍රී ලංකා රබර් කර්මාන්තය වෙත වැඩි අවධානයක් යොමුකරනු ඇත.

”1952 ඇති කරගන්නා ලද ලෝක ප්‍රසිද්ධ රබර් – සහල් ගිවිසුම වසර 30ක් සාර්ථකව පැවති අතර, ශ්‍රී ලංකාව නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට එළඹුණු පසු එහි වැදගත්කම අඩුවු බැවින් එම ගිවිසුම නිමා විය”

1952 ඇති කරගන්නා ලද ලෝක ප්‍රසිද්ධ රබර් – සහල් ගිවිසුම වසර 30ක් සාර්ථකව පැවති අතර, ශ්‍රී ලංකාව නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට එළඹුණු පසු එහි වැදගත්කම අඩුවු බැවින් එම ගිවිසුම නිමා විය. එනමුදු චීන ශ්‍රී ලංකා සබැඳියාව වර්ධය වෙමින් පැවති අතර කොළඹ වරාය නගරය සහ හම්බන්තොට ආර්ථික කලාප සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

එවැනි යටිතල පහසුකම් දියුණු කිරිමේ වටපිටාවක් තුළ මෙවැනි වෙළඳපොල අරමුණු කර ගත් ගිවිසුමක් මඟින් හෙවත් වැවිලි කර්මාන්ත වලට අදාළ කර්මාන්ත දියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ශ්‍රී ලංකාවට නොමඳ ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි දෙරටේම ආර්ථික විශේෂඥයින් විශ්වාස කරයි.

ඒකීය මාවත් ද්විත්ව ව්‍යාපෘතියට අනුබද්ධවු ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය තුළින් දෙරට අතර දශක ගණනාවක් තිස්සේ පැවත එන සබඳතා ශක්තිමත් කරමින් දෙරටේ සමාජ ආර්ථික වාසි සහ ජාත්‍යාන්තර වෙළඳාම් වැඩි දියුණු කිරීම මඟින් දෙරටටම අති විශාල වාසි ලබා දේ.

මෙම ගිවිසුමට දායකවු නායකයින්ගේ විශිෂ්ඨ දැක්ම වන්නේ හයිනාන් රබර් කර්මාන්තයේ ශක්තියද ශ්‍රී ලංකා රබර් කර්මාන්තයේ ශක්තියද ඒකාබද්ධ කරමින් ගෝලීය වෙළඳපල ජයගත හැකි ශ්‍රී ලංකාව පදනම් කරගත් සුවිශේෂි වු දකුණු ආසියානු රබර් කර්මාන්ත කොරිඩෝවක් නිර්මාණය කිරීමයි.

දෙරට සතු විශේෂිත වාසි සහගත තත්වයන් හා විශිෂ්ඨ දක්ෂතා සංවිදිත ලෙස එකතු කිරිමෙන් තිරසාර වු වැවිලි කර්මාන්තයන් මත පදනම්වු නිෂ්පාදන භාණ්ඩ සඳහා වන අන්තර්ජාතික වෙළඳජාලයක් නිර්මාණය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතීන් ගණනාවක් මෙම ගිවිසුම යටතේ ක්‍රියාත්මක කරනු ඇත. මේ සඳහා දෙරටේම රාජ්‍ය ප්‍රතිපත්ති මඟින් අවශ්‍ය දායකත්වය ලබා දීමටද නියමිතය.

” දසවසරක් ඇතුලත ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය තුළින් එක්සත් ජනපද ඩොලර් බිලියන 5ට අධික වටිනාකමක් ලබා ගැනීම අවසාන අරමුණයි”

මෙම ව්‍යාපෘතීන් සකසනු ඇත්තේ රජය මඟින් අනුමත ශ්‍රී ලංකා රබර් කර්මාන්තය දියුණු කිරිමේ මහා සැළැස්මට අනුගතව යමින්ද හයිනාන් රජයේ දායකත්වයද ලබා ගනිමිනි. අවසානයේදී දසවසරක් ඇතුලත ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය තුළින් එක්සත් ජනපද ඩොලර් බිලියන 5ට අධික වටිනාකමක් ලබා ගැනීම අවසාන අරමුණයි. තව දෙමසක් ඇතුලත චීන රජයේ විශේෂඥ කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපෘති අධ්‍යන වාර්තා සකස් කිරීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ද පෞද්ගලික අංශයේ කර්මාන්ත විශේෂඥයින්ද දායක වනු ඇත.

එම සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා කළ දේශණය මෙහිදී විශේෂ ප්‍රසංශාවට ලක්වන ලදී. ඔහු පැවසුයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හා ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාවලීන් සඳහා පැවතුණු ව්‍යාපෘති සඳහා අප්‍රේල් මස සිදුවු ඛේදජනක සිදුවීම්වලින් කුමන බාධාවන් ඇතිවුවත් ශ්‍රී ලංකාව එක්සත්ව නිර්භීතව සහ ඉක්මන් ලෙස කටයුතු කිරිමෙන් සියළු බාධා ජයගත හැකි බවත්ය. එම කෙටි දේශනවේ ඇති හරවත්භාවය පිළිබඳ බොහෝ නායකයන් හා අනෙකුත් සහභාගීවුවන් ඔහුට ප්‍රසංශා කරන ලදී. මෙහිදී අදහස් දැක්වු අනිකුත් නායකයන් ප්‍රකාශ කළේ ඇතිවු ඛෙදජනක සිදුවීම ගැන සියලු ශ්‍රී ලංකා පුරවැසියන් සමඟ ඉතා ගැඹුරින් කණගාටු වන අතර ගෝලීය ත්‍රස්තවාදය වැලැක්වීමට උපරිම සහයෝගය ලබා දෙන බවයි.

”මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාවට නැංවිමෙහිලා ශ්‍රී ලංකා රබර් කර්මාන්තය සමඟ එක්ව කටයුතු කරන හයිනාන් රබර් කර්මාන්ත සමූහය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් ඇති සමාගමකි ”

මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාවට නැංවිමෙහිලා ශ්‍රී ලංකා රබර් කර්මාන්තය සමඟ එක්ව කටයුතු කරන හයිනාන් රබර් කර්මාන්ත සමූහය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් ඇති සමාගමකි. එය හයිනාන් රාජ්‍ය ගොවිපල සමාගමේ අනුබද්ධ සමාගමකි. හයිනාන් රාජ්‍ය ගොවිපල සමාගම හයිනාන් දූපතෙහි හෙක්ටයාර මිලියන 1ට අධික ප්‍රමාණයක් වගා කරමින් ලාබ උපයයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට පෙර අප්‍රේල් මස මුල් භාගයේදී හයිනාන් රබර් සමාගම් සමූහයේ සභාපති ආචාර්ය වෑන් රෙන්ෆෙයි (DR. WANG RENFEI) මහතා ශ්‍රී ලංකාවට පැමිණ රබර් කර්මාන්තයේ ආයෝජනය සඳහා ඇති හැකියාව පිළිබඳව සොයාබලා සෑහිමකට පත්විය.

මේ සම්බන්ධව දෙරට අතර සාකච්ඡා වාර ගණනක් තිබු අතර 2018 ජුලි මාසයේ සිට චීන නියෝජිත කණ්ඩායම් 06ක් විටින් විට අධ්‍යන සංචාර වල නිරත වූහ. ඔවුන්ගේ නිගමනය වුයේ ජාත්‍යන්තර වෙළඳපලවල් ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය තුළ දැවැන්ත ශක්තියක් සැගවී ඇති බවයි. ඔවුන්ගේ අවසාන නිගමනය වුයේ එම සැගවුණු ශක්තිය ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් එළි දැක්වීම සඳහා අවශ්‍ය සියලු සහයන් දීමට හයිනාන් රබර් සමාගමට අවශ්‍ය තාක්ෂණික, මූල්‍යමය සහ කළමනාකරණ ශක්තීන් සතු බවයි. මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ සහ හයිනාන් රජය සතු අනෝන්‍ය ශක්තීන් එකතු කර දෙරටටම වාසි වන සුවිශේෂි පරිසරයක් නිර්මාණය කිරීමට දායක වනු ඇත.

මිලියන 9.4ක් ජනතාව සහිත මෙම හයිනාන් දූපතෙහි ආර්ථික ප්‍රභවතාවය ඡනාධිපති ෂි ජින්පින්ගේ විශේෂ අවධානය ලක්වු අතර ඔහු විසින් එම දූපත විශේෂ ආර්ථික කලාපයක් මෙන්ම නියමු නිදහස් වෙළඳ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෑතකදී ඡනාධිපති ෂී විසින් මෙම හයිනාන් දූපත චීනයටම සුවිශේෂ ලක්ෂණ සහිත නිදහස් වෙළඳ වරායක් ලෙසද ප්‍රකාශ කරන ලදී. මෙම දිවයිනේ සතර දෙසටම මුහුණලා පිහිටා ඇති වරායන් 05ක් ඇති අතර ඒවා හයිකූ, සන්යා, කිංග්ලන්, යංග්ෂු සහ බසෝ නම් වෙයි. මීට අමතරව ගුවන්තොටුපලවල් 03ක් ද ක්‍රියාත්මකය. කෙටියෙන්ම කිවහොත් 21 වන සියවස තුළ සමුද්‍රීය සේද මාවතේ ඉතාම වැදගත් තීරණාත්මක සන්ධිස්ථානය වනුයේ හයිනාන් දූපතයි. අනාගතයේදී මහජන චීනය බටහිර ලෝකයට විවෘත කරන නවතම පිවිසුමද හයිනාන් වන බව සක්සුදක් සේ පැහැදිලිය.

”බොහෝ විශ්ලේෂකයින්ට අනුව වසර 67ට පසුව අත්සන් තබන ලද මෙම නව ගිවිසුමට අනුව ශ්‍රී ලංකා සහ චීන ද්වි පාර්ශික සබඳතා පිළිබඳ නව පරිච්ජේදයක් ආරම්භ වනු ඇත”

බොහෝ විශ්ලේෂකයින්ට අනුව වසර 67ට පසුව අත්සන් තබන ලද මෙම නව ගිවිසුමට අනුව ශ්‍රී ලංකා සහ චීන ද්වි පාර්ශික සබඳතා පිළිබඳ නව පරිච්ජේදයක් ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රෙය් අනාගතය රඳා පවතින්නේ දීර්ඝකාලීන ආයෝජන, නව තාක්ෂණය යොදා ගැනීම, තරඟකාරී කළමණාකාරී ආකල්ප ඉතා සුවිශේෂි ව්‍යාපාරික උපක්‍රම සහ ඉතා ලාභදායි වෙළඳපලවල් සොයාගැනීම යන කාරණා මතයි. ශ්‍රී ලංකාව සතු යල්පැන ගිය තාක්ෂණික ව්‍යුහයන් නව්‍යකරණය කල යුතු අතර මානව සම්පත් නිවැරදි ආකල්ප වලින් සහ ශිල්පීය උපක්‍රම වලින් සවිමත් කල යුතුය. එමෙන්ම පවතින ගාතානුගතික කළමනාකරණ ආකෘතීන් බිඳ දමමින්ද පවතින වෙළඳපොලවල් සොලවා දමමින් ක්ෂණිකව පැනනැගෙන්නා වු නව ගෝලීය වෙළඳපලවල් ජයග්‍රහණය කිරිමේ හැකියාව අත්පත් කරගත යුතුය. ශ්‍රී ලංකාව තුළ පවතින මෙම අඩුපාඩුකම් සපුරාලීමට මහජන චීනය කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ අනෝන්‍ය විශ්වාසය මත පදනම් වු දෙපාර්ශවයටම සතුටු විය හැකි ඵලදායි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමෙනි.

”නවින් දිසානායක මහතා විසින් චීන මහජන සමූහාණ්ඩුවේ සහයෝගයද ඇතිව ගන්නා ලද මෙම සාධනීය පියවර ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයන් වැනි සම්පත් මත පදනම්වු කර්මාන්ත වල දියුණුව කෙරෙහි උනන්දුවක් දක්වන සෑම කෙනෙක් විසින්ම ඉතාමත් අගය කළ යුත්තකි”

මෙම සංචාරයේදී අමාත්‍ය නවින් දිසානායක මහතාට චීන මහජන සමූහ ආණ්ඩුවේ කෘෂිකර්මය සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය යූ කන්ග්ෂෙන් මහතා හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා කිරිමේ අවස්ථාවද ලැබුණි. මෙම අවස්ථාවේදී රටවල් දෙක අතර වැවිලි කර්මාන්තයට අදාළ කෘෂි තාක්ෂණය හුවමාරු කිරිමට සහ ඒකාබද්ධ පර්යේෂණ කිරිමට ඇති හැකියාව ගැන සාකච්ඡා කරන ලදී.

නවින් දිසානායක මහතා විසින් චීන මහජන සමූහාණ්ඩුවේ සහයෝගයද ඇතිව ගන්නා ලද මෙම සාධනීය පියවර ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයන් වැනි සම්පත් මත පදනම්වු කර්මාන්ත වල දියුණුව කෙරෙහි උනන්දුවක් දක්වන සෑම කෙනෙක් විසින්ම ඉතාමත් අගය කළ යුත්තකි. සාම්ප්‍රධායික වැවිලි කර්මාන්ත වල යෙදෙන ලක්ෂ ගණනක් වු ග්‍රාමීය පුද්ගලයන් වෙළඳපල විචල්‍යතාවයන් වලට ඉතා අසාධාරණ ලෙස මුහුණ දෙමින් තම ජීවිත ගැටගසා ගැනීමට ඉමහත් වෙහෙසක් දරයි. වැවිලි කර්මාන්තයේ අනාගතය රඳා පවතින්නේ ඔවුන්ගේ ශක්තිය සහ සශ්‍රීකත්වය මතය. මෙම ගිවිසුම, සාර්ථකව ක්‍රියාත්මක කලහොත් ඔවුන්ගේ අනාගතය සුභදායක කිරීමට හේතු වන බව සක්සුදක් සේ පැහැදිලිය.

Recommended For You

About the Author: Editor