ඩෙංගු මර්ධනය ගැන අලූතින් සිතමු ද ?

”මදුරුවා ඉතාමත් පුංචි සතෙකු වුව ද සමහර මදුරු වර්ගවලට කළ හැකි විනාශයේ තරම අති විශාලය”

අපේ මුතුන් මිත්තන්ට ඔවුන් අතින් ගොඩනැගෙමින් තිබුණු ඉතිහාසයේ කිසියම් ප‍්‍රමාණයක දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙන අවස්ථාවකදී (මීට අවුරුදු 700කට පමණ ඉහතදී) අනුරාධපුරය හා පොළොන්නරුව කේන්ද්‍ර කරගත් වියළි කලාපයේ තිබුණු සරු බිම් පමණක් නොව එම ශිෂ්ඨාචාරයට අදාළ එහි තිබුණු සියලූ වටිනා දේවල් ද අතහැර තෙත් කලාපයට සංක‍්‍රමණය වීමට සිදු වුණේ ‘මැලේරියා මදුරුවා’ නිසාය.
එම සංක‍්‍රමණයට අදාළව ඊට වෙනස් ආකාරයේ අර්ථකථනයක් ද ඇත්තේය. ඒ සඳහා තිබෙන විවිධ අර්ථකථන අතරින් වඩාත්ම ජනප‍්‍රිය අර්ථකථනය වී ඇත්තේ දකුණු ඉන්දියාවෙන් එල්ල වූ ආක‍්‍රමණ නිසා එසේ සිදු වූ බවය. එය වර්ග භේදවාදය මුල්කොටගත් යථාර්ථවාදී නොවන අර්ථකථනයක් ලෙස සැලකිය හැකිය.

එම ඓතිහාසික යුගයේදී බලවත් හැම රාජ්‍යයක් ම අසල්වැසි දුබල රාජ්‍යයන් ආක‍්‍රමණය කළේය. එය ඒ කාලයේ රාජ්‍යයක තම බලවත්කම පෙන්නුම් කරන නම්බුකාර දෙයක් ලෙස සැලකුණා මිස වැරදි හෝ නරක දෙයක් ලෙස සැලකුණේ නැත. ඒ කාලයේ ලංකාව කල්පනා කළේ ද ඒ ආකාරයට ය. විදේශ රාජ්‍යයන් ආක‍්‍රමණය කිරීමට ශක්තියක් තිබුණු රජවරුන් සැලකුණේ ‘ශේ්‍්‍රෂ්ඨ රජවරුන්’ ලෙසටය.

රජරට ජනශූන්‍ය කළේ මදුරුවන්

විදේශ ආක‍්‍රමණ, අභ්‍යන්තර යුද්ධ හෝ වෙනත් හේතු නිසා රජරට පැවැති සංකීර්ණ වාරිමාර්ග පද්ධතියේ බිඳ වැටීමක් ඇති වී එම වාරිමාර්ග මැලේරියා මදුරුවන්ගේ රජදහනක් බවට පත්වීම නිසා එම ප‍්‍රදේශ වල ජීවත් වන්නන්ට තෙත් කලාපයට හෝ යාපනයට සංක‍්‍රමණය වීමට සිදුවිය. ඒ නිසා අවුරුදු 700 ක් තරම් කාලයක් එනම්, ඞීඞීටී සොයා ගන්නා තෙක් එම කලාපය ජනශූන්‍ය කලාපයක් වී තිබුණි.

පසු කලක බිහි වූ රජවරුන් හැම කෙනෙකුම පාහේ අනුරාධපුරය හා පොළොන්නරුව ගැන දැන සිටිය ද එහි ඇති ඓතිහාසික වැදගත්කමක් ඇති සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පවා නොගියේ එම කලාපයේ රජ කළ මාරාන්තික මදුරුවා නිසාය.

සමහර විට එම දීර්ඝ කාලය තුළ අත්හරින ලද වාරිමාර්ග ක‍්‍රම ආශ‍්‍රයෙන් භූමියේ ඇති වූ රසායනික වෙනස්කම් වර්තමානයේ රටේ ලොකු ප‍්‍රශ්නයක් බවට පත්ව තිබෙන මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය කෙරෙහි ද බලපා තිබෙනවා විය හැකිය.

දීර්ඝ කාලයක් රජරට ප‍්‍රදේශය මනුෂ්‍ය වාසයට නුසුදුසු කලාපයක් බවට පත්ව තිබීම හේතු කොටගෙන පසු කාලයේ දී එය තෙත් කලාපයේ ලොකු ඉඩම් ප‍්‍රශ්නයක් ඇති කිරීමට හේතු වී තිබුණි. තෙත් කලාපයේ ඉඩම් වලින් විශාල කොටසක් වානිජ වතු වගාවට යට වී ඉතිරි ඉඩම් වලින් ද විශාල කොටසක් වී වගාව සඳහා හා නිවාස සඳහා යොදා ගැනීම නිසා කෘෂිකර්මය ජීවන මාර්ගය කරගත් ගොවීන්ට වගා කිරීමට අවශ්‍ය තරමට ඉඩම් නැතිකමේ ප‍්‍රශ්නයක් ඇති කිරීමට හේතු විය. වියළි කලාපයේ වගා නොකළ සරුසාර ඉඩම් විශාල ප‍්‍රමාණයක් තිබුණ ද මැලේරියා මදුරුවා නිසා තෙත් කලාපයේ ඉඩම් නැති ජනයා වියළි කලාපයට යොමු කළ නොහැකි වී තිබුණි. මැලේරියා මදුරුවා විනාශ කිරීමට ද දේශීය ප‍්‍රතිකර්මයක් නොතිබුණි. මැලේරියා මදුරුවා නසන ‘ඞීඞීටී’ සොයා ගන්නා තෙක්ම වියළි කලාපය සැලකුණේ මනුෂ්‍ය වාසයට නුසුදුසු කලාපයක් වශයෙනි.

මැලේරියා මදුරුවා කළ විනාශය

මැලේරියා මදුරුවාට කළ හැකි විනාශය කොතරම් ද කියනවා නම් 1934-35 යන වසර දෙකේදීම මැලේරියා මදුරුවා තෙක් කලාපයේ සබරගමු කලාපය ආක‍්‍රමණය කිරීම නිසා එම වසර දෙකේදී සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න විය. මිනිසුන් තොග ගණනින් මරණයට පත් කිරීමට හේතු වූ බිහිසුණු සුනාමියෙන් පවා සිදු වූ මරණ සංඛ්‍යාව 50,000කට අඩුය. ප‍්‍රචණ්ඩ කැරලි නිසා සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂයකට අධික වුවත් ඒ සියලූ දෙනා මරණයට පත් වූයේ කෙටි කාලයක් තුළ නොව අවුරුදු 20ක් තරමි කාලයක් තුළය. මදුරුවා පුංචි සතෙකු වුව ද සමහර මදුරු විශේෂයන්ට කළ හැකි විනාශයේ තරම ඉන් තේරුම් ගත හැකිය.

ඞී.ඞී.ටී කළ මෙහෙය

මැලේරියාව පරාජය කළ හැකි වූයේ ඞී.ඞී.ටී නමැති රසායනය නිසාය. එය සොයා නොගත්තේ නම් ලංකාවේ පමණක් නොව මැලේරියාව උවදුරක් වශයෙන් පැවති වෙනත් රටවල ද සිදුවන්නට ඉඩ තිබුණු ජීවිත විනාශය අති විශාලය. අවුරුදු 700ක් පමණ ජනශූන්‍ය තත්්ත්වයේ පැවති වියළි කලාපය නැවත ජනාවාස කිරීමට හැකි වූවේ ද ඞී.ඞී.ටී නිසාය. ඞීඞීටී වලින් ඇති විය හැකි අතුරු අබාධ සැලකිල්ලට ගනිමින් ඞීඞීටී ප‍්‍රයෝජනයට නොගන්නා තැනකට ගියේ නම් විය හැකිව තිබුණු විනාශයේ තරම කොතරම් ද ?

කුමන වර්ගයේ සතෙකු වුවත් උන් කරන හානිය විශාල නම් උන් නසන තැනට යාම ද මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය කොන්දේසියකි.

ඩෙංගු උවදුර

මැලේරියා මදුරුවාගෙන් පසුව දැන් ඩෙංගු මදුරුවා ද ලංකාවට ලොකු අභියෝගයක් වී තිබෙන්නේ යැයි කිව හැකිය. එහෙත් එම අභියෝගය ජයගැනීමට අවශ්‍ය තරමේ ප‍්‍රඥාවක් පෙන්නුම් කිරීමට තවමත් ලංකාව සමත් වී නැත. රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ශක්තිමත් හා ප‍්‍රායෝගික වැඩසටහන් ඇති බවක් පෙනෙන්ට නැත. ලංකාව කුණු වී තිබෙන තරම අනුව බලන විට එසේ වීම පුදුමයට හේතුවක් වන්නේද නැත.

ඩෙංගු ලංකාවට එන්නේ 1964 දීය. එය ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් 2013 වසරේදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 32,063 දක්වා ඉහළ ගියේය. මේ වසරේ පසුගිය මාස 06 තුළ පමණක් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,787 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඒ නිසා ඇති වී තිබෙන මරණ සංඛ්‍යාව ද 200ක් බව වාර්තා වේ.

ඩෙංගු මර්දනය හා රජයේ් වගකීම

ඩෙංගු මර්දන වැඩසටහනේ ඇති ලොකුම දුර්වලකම ලෙස සැලකිය හැක්කේ ඩෙංගු මදුරුවාට බිත්තර දැමීමට තිබෙන ස්ථාන නැතිකරන වැඩසටහනකට එය සීමාකර තිබීමය. එය මෝඩ ප‍්‍රවේශයකි. මහජනයා තම නිවෙස් අවට ඩෙංගු මදුරුවාට බිත්තර දැමීමට තිබෙන අවකාශය මුළුමනින්ම නැති කළ ද මහජනයාට පාලනය කළ නොහැකි තැන්වල උන් බිත්තර දමනු ඇත. පොල්ගස් වැනි සමහර ගස් වල වතුර රැුඳෙන තැන් ඇත්තේය. ඒ සියලූ ගස් කපා විනාශ කරන තැනකට යා නොහැකිය. මෙවැනි උවදුරකට මුහුණ දීමේදී මහජන සහාය අවශ්‍ය වුවත් මහජනයාට පමණක් මෙම උවදුර නැති කළ නොහැකිය. මහජනයාට බලාගත නොහැකි තැන් බලා ගැනීමේ වැඩසටහනක් රජයට තිබිය යුතුය.

මහජනයාට පීඩාවට පත් කිරීම

රජය මහජනයා මත වරද පටවන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් නොනැවතී මහජනයා පීඩාවට පත් කරන ප‍්‍රතිපත්තියක් ද අනුගමනය කරයි. රජයේ සම්පූර්ණ අවධානය යොමු වී තිබෙන්නේ ඩෙංගු මදුරුවා දමන බිත්තර ගැන පමණය. ඊට අතිරේකව මදුරුවන් විනාශ කරන වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැත. බිත්තර වලදී පවා උන් දමන බිත්තර විනාශ කරන වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැත. බිත්තර දමන්නේ මදුරුවන්ය. ඒ නිසා වඩා වැදගත් කොට සැලකිය යුත්තේ මදුරුවන්ය.
එහෙත් මදුරුවන් නසන වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැත. මදුරුවන් නැසීමෙන් උන්ට බිත්තර දැමීමට තිබෙන හැකියාව ද නැති කළ හැකිය. ඩෙංගු මර්දන වැඩසටහනකදී ප‍්‍රධාන ඉලක්කය විය යුත්තේ බිත්තර නොව මදුරුවාය. බිත්තර වැදගත් විය යුත්තේ ඊට පසුවය.

නව සංකල්ප භාවිතය

මහජනයා තමන්ගේ ගෙවතු පිරිසිදුව තබා ගන්නවාට අතිරේකව ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීම සඳහා පිරිසිදු ජලය ඇති තැන් නිර්මාණය කොට දී එම භාජනවල කීටයන් හැදෙන්නට ඉඩ දී එම කීටයන් නසන තැනකට යා යුතු බව මම මීට වසර හයකට පමණ ඉහතදී කීවෙමි. ඒ අනුව හැම නිවසකම ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීම සඳහා පිරිසිදු වතර භාජන කිහිපයක් සිය නිවසේ තැන් කිහිපයක තැබිය යුතුය.

ඉන් පසු එම භාජන කෙරෙහි පරික්ෂාවෙන් සිටිමින් ඒවායෙහි හැදෙන කීටයන් නසන තැනට යා යුතුය. එම කීටයින් නසන සරල ක‍්‍රමයක් කීට විද්‍යාඥයින් විසින් මහජනතාව කියා දිය යුතුය. එහෙත් ඩෙංගු මර්දනයට එවැනි ක‍්‍රමයක් පමණක් සෑහෙන්නේ නැත. ඩෙංගු මදුරුවන් නසන ශක්තිමක් ක‍්‍රමයක් ද තිබිය යුතුය.

කීට විද්‍යාඥයින්ගේ භූමිකාව

මැලේරියාව ජයගත හැකි වූයේ ඞීඞීටී නිසා පමණක් නොව ඒ සඳහා හොඳ මැලේරියා මර්දන වැඩසටහනක් හා එම වැඩසටහන මෙහෙයවීම සඳහා ශක්තිමත් ආයතන ක‍්‍රමයක් ද තිබුණ නිසාය. එම වැඩසටහනේ හදවත ලෙස ක‍්‍රියා කළේ වෛද්‍යවරුන් නොව කීට විද්‍යාඥයින්ය. වෛද්‍යවරුන් මැලේරියා රෝගීන්ට ප‍්‍රතිකාර කරන විට කීට විද්‍යාඥයින් මැලේරියා මදුරුවන් නසන වැඩපිළිවෙළ නොකඩවා ඉදිරියට ගෙන ගියේය. එහෙත් ඩෙංගු මර්දන වැඩසටහනේ හදවත බවට පත්කර ගෙන ඇත්තේ කීට විද්‍යාඥයින් නොව වෛද්‍යවරුන්ය. ලංකාවේ ඇති තරම් කීට විද්‍යාඥයින් නැතිනම් පිටරටින් හෝ ගෙන්වා ගත යුතුය. මැදුරුවන් නැසීම, බිත්තර නැසීම හා කීටයින් නැසීම ඉලක්ක කරගත් ශක්තිමත් හා ප‍්‍රායෝගික වැඩසටහන් කරළියට ගැනීමට අපොහොසත් වෙතොත් ඩෙංගු ප‍්‍රශ්න ආශ‍්‍රයෙන් මහා විනාශයක් ඇතිවනු නොවැළැක්විය හැකිය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතා විසින් 2017 ජූනි 25 වැනිදා ‘රාවය’ පුවත්පතේ 07 වැනි පිටුවට රචනා කළ ‘ලංකාවේ මදුරු උවදුර හා ඉඩම් ප‍්‍රශ්නය’ නම් ලිපිය ඇසුරිණි.

Recommended For You

About the Author: Editor