පාසල්වල ආරක්ෂාවේ අවශ්‍යතාවය තක්සේරුකර අවශ්‍ය පරිදි ලංකාවේ සියළුම පාසල් සඳහා ආරක්ෂාව ලබා දීමට කටයුතුකර තිබේ – යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක

”විවිධ කට කතාවලට රැවටී ජාතියක් වශයෙන් සහ රටක් වශයෙන් දුර්වල වෙනවාද, එසේත් නැතිනම් අභියෝග භාර ගනිමින් අවධානයෙන් නිර්භීතව සිට ජීවිත 30 000 ක් පමණ කැපකර ත්‍රස්තවාදය පරාජය කල ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසය තබා ගන්නවාද යන්න ඔබ තීරණය කරන්න” යැයි යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය. වැඩි දුරටත් වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේ ද පැවසීය.

පසුගිය පැය 48 ක කාලය තුල ත්‍රිවිධ හමුදාවන් විශේෂ අවධානය යොමුකර ඇත්තේ පාසල් දරුවන්ගේ ආරක්ෂාවයි. පාසල්වල ආරක්ෂාවේ අවශ්‍යතාවය තක්සේරුකර අවශ්‍ය පරිදි ලංකාවේ සියළුම පාසල් සඳහා ආරක්ෂාව ලබා දීමට කටයුතුකර තිබේ. ආරක්ෂාව පිළිබඳ සැකය දුරුවන තෙක් සහ නිසි ආරක්ෂාව තහවුරු වන තෙක් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලැබේ. තවදුරටත් එම වැඩපිළිවෙල පිළිබඳ යම් යෝජනාවක් හෝ ප්‍රශ්නයක් ඇත්නම් ලගම ඇති යුධ, නාවික, ගුවන් හමුදා කඳවුරට හෝ පොලීසියට දැන්විය හැක.

මේ වන විට ඔබට (මහජනතාවට) විවිධ කටකතා හා තොරතුරු ලැබෙමින් පවතිනවා. ඒවායේ බෝම්බ ලොරි පුපුරවා හැරීම්, කපාකොටා ඝාතනය කිරීම් වැනි දෑ ඔබට ආරංචි වෙනවා. මේවාට බියවී තම ජනජීවිතය අඩාල කරගන්නවාද, ජාතියක් වශයෙන් සහ රටක් වශයෙන් දුර්වල වෙනවාද, එසේත් නැතිනම් අභියෝග භාර ගනිමින් අවධානයෙන් නිර්භීතව සිට ජීවිත 30 000 ක් පමණ කැපකර ත්‍රස්තවාදය පරාජය කල ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසය තබා ගන්නවාද යන්න ඔබ තීරණය කරන්න.

ඔබගේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම ආරක්ෂක හමුදාවන්ගේ වගකීමක්. මේ වන විට නිරායුද අහිංසකයින් ඝාතනය කල නිවට ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සාර්ථකව සිදුවෙනවා.

Recommended For You

About the Author: Editor